තණමල්විල තවත් පාසල් දැරියක එම පාසලේම සිසුවකු අපයෝජනය කරලා

902

සිසුවා අත්අඩංගුවට – සිසුවිය රෝහලට

තණමල්විල පාසලක 08 වසරේ ඉගෙනුම ලබන සිසුවියක අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව එම පාසලේම 11 වසරේ සිසුවෙකු තණමල්විල පොලිසිය මගින් 07 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 08 වසරේ ඉගෙනුම ලබන සිසුවියක එම පාසලේම සිසුවෙකු විසින් අපයෝජනය කර ඇති බවට 07 වන දින පෙරවරුවේ තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දුරකතන ඇමතුමක් ලැබී තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ සිදුවීම පිළිබදව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. එහිදී අනාවරණය වූ තොරතුරු මත අපයෝජනයට ලක් වූ බව කියන සිසුවිය පොලිස් ස්ථානයට ගෙන්වා සිදු කළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ මීට මාසයකට පමණ පෙර දැරිය සිය ආච්චිගේ නිවසට ගිය අවස්ථාවේදී අදාළ සිසුවා විසින් දැරියව අපයෝජනය කර ඇති බවයි. දැරියගේ ප්‍රකාශ මත තණමල්විල පොලිසිය විසින් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සිසුවාගෙන්ද මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සැකකාර සිසුවා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අපයෝජනයට පත් වූ බව කියන සිසුවිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා රෝහල් ගත කර තිබේ.

මීට පෙරද සිසුන් 22ක් විසින් සිසුවියක වසරක් තිස්සේ සමූහ දූෂණයට ලක් කිරීමේ සිදුවීම වාර්තා වුයේද මෙම පාසලෙන්ම වන අතර එම සිදුවීමට අදාළව පාසලේ විදුහල්පතිවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරියන් දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත් වුහ. මෙම සිදුවීම සම්බන්ධයෙන්ද මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment