තණමල්විල විද්‍යාලයක සිසුවියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය වසන් කිරීමේ චෝදනා මත තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම පාසලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ගුරුවරුන් සිව්දෙනා රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස වැල්ලවාය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුර ඒ. දිසානායක මහතා ඊයේ (14දා) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ තණමල්විල ජාතික පාසලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, විනය කමිටුව භාර ගුරුවරියක හා උපදේශන ගුරුවරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇත. එහිදී ද අනාවරණය වී ඇත්තේ සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙසට විදුහල්පති ඇතුළු පිරිසට කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් උපදෙස් ලබා දී තිබියදීත් එය පැහැර හැර ඇති බවයි. ඒ අනුව මෙම සිද්ධියට අදාළව තණමල්විල පොලිසිය විසින් පෙරේදා (13දා) එම විද්‍යාලයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා ගුරුවරියන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අධිකරණයට ඉදිරිපත් කෙරුණු සිව්දෙනා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි අතර යළි මේ මස 22 දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙසට මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට නියෝග කර තිබේ.
මෙම දැරියට අතවර කළ බවට සැක පිට සිසුන් 17 දෙනකු හා 49 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාන්තාව හා සිසුන් තිදෙනකු මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙකුත් සිසුන් 14 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස නියෝග කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.
මත්තල දිලීප් එන්. ජයසේකර