තත්ත්වය බේරාගැනීමට බොරුකීම

60

ඕනෑම පළාතක නිල නොවන පුවත් බෙදාහරින ප්‍රවෘත්ති සේවයක් ක්‍රියාත්මක වෙයි. අපේ පළාතේ ද ‘ඇසිලියා’ ඕපාදූප සේවාව මගින් ගෙයින් ගෙට ඕපාදූප බෙදාහැරීම තුළින් ඇය සතුටක් ලැබුවාය.

ඇය අපේ නිවසට ද පැමිණෙන බව දැනගැනීමට ලැබුණි.

“මේ ඇහණද, ඔය ගෑනි මෙහේ ආවොත් අර රජයේ සේවකයො වගේ නැහැ නැහැ කියලා නාහෙන් අඬන්න එපා තේරුණාද?”

“නැතිනම් ඔය ගෑනි මෙහෙ හතරවටේට කියයි අපිත් දැන් අසරණ වෙලා කියලා, තේරුණා ද?” ඔය බැඳපු නැති ගෑනිත් එක්ක ඔයා කතාවට යන්න එපා යැයි බිරිඳ දැනුම් දුන්නාය. මම කාමරයට රිංගුවෙමි.

සිල්වාගේ ගෙදර ප්‍රවෘත්ති බෙදාහැර ඇසිලියා අපේ ගෙදරට ආවාය. නෝනේ… හරි වැඩේ ඊයේ සිල්වා මහත්තයලගේ ගෙදර ලයිට් කපලා. විදුලිබල මණ්ඩලයේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැහැ. කෝ නෝමන් මහත්තයා පේන්න නැහැ කියමින් ඇය කාමරේ දොර රෙද්ද මෑත්කර එබී බැලුවාය.

නොනේ… අපි තේ ටිකක් බොමු ද? ඉන්න. මම තේ ටිකක් හදල දෙන්නම්. දැන් අපි පිටිකිරි බොන්නේ නැහැ. ඒවා බිව්වොත් කොලෙස්ටරෝල් හැදෙනවා. ගෙදර කිරිපිටි ටික පිරිමහගැනීමට බිරිඳ අලි පචයක් කීවාය.

නොනේ… එහෙනම් හොඳට සීනි දාල නිකම් තේ එකක් හදන්නකෝ.. ඇසිලියා යළි කී කතාවට මගේ බිරිඳ අපූරු උත්තරයක් දුන්නාය. ගෙදර සීනි බෝතලයේ අඩියටම ගොස් තිබෙන සීනි හැඳි දෙක තුන බේරාගැනීමට ඇය මෙසේ කීවාය.

සීනි හොඳ නැහැ ඇසිලින් දියවැඩියාවෙන් බේරන්න ඕනෑ. අපිනම් බොන්නෙ කහට තේ විතරයි. කමක් නැහැ නෝනේ සිල්වා මහත්තයලාගේ ගෙදරදිත් බිව්වේ කහට තේ කෝප්පයක්. ඒ මිනිස්සුන්ටත් හරි හිඟයි.

බිරිඳ වැටී තිබෙන ප්‍රශ්නයෙන් ගලවා ගැනීමට මමත් කුස්සියට ගියෙමි. ඇය සීනි බෝතලයේ අන්තිම සීනි හැඳි දෙක දමා තේ කෝප්පය පිළියෙල කළාය.

හරි වැඩේ කවුරු හරි අමුත්තෙක් ගෙදරට ආවොත්……. බිරිඳ රහසින් කෙඳිරුවාය. කමක් නැහැ සුනිල්ලාගේ කඩයට ගිහිල්ලා සීනි ටිකක් මට අරගෙන එන්න පුළුවන් යැයි මම කීවෙමි. නෝනේ බිස්කට් එකක් කෑවොත් හොඳයි නේද? ඇසිලියා තවත් ප්‍රශ්නයක් මතු කළාය.

කොහිලවත්තේ සිරා නංගි අපිට ගෙනා බිස්කට් පැකට් එක කඩා ඉන් දෙක තුනක් ඇය ඇසිලියාට කෑමට දුන්නාය. මේ ගෑනි දවල් කෑමත් කන්න ලෑස්තිවෙලා වගේ.. මගේ බිරිඳ රහසින් කීවාය.

ඇසිලින්, අහස ටිකක් කළු කළා වගේ නේද? තව ටිකකින් වහින්න එනවා.

“නෝනේ කාලගුණ විiා දෙපාර්තමේන්තුවේද දැන් වැඩ කරන්නේ” මම හිතුවා නෝනේ දිගටම ගෙදර ඉන්නකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ කියලා. කාලගුණ කට්ටිය වහිනවා කිව්වොත් වහින්නේ නැහැ. වහිනවා කිව්වොත් පායනවා. මොකද හුඟක් ලෙඩ නිවාඩු ගන්නේ ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ කට්ටිය නේ….

අපොයි මම කොහේවත් වැඩ කරන්නේ නැහැ. අපිට බිස්නස්වලින් ලොකු ආදායමක් තියෙනවා. ළඟදි අපි සංචාරක හෝටලයක් හදනවා. අපේ මහත්තයට බාර් එකක් තියෙනවා. එයා ළඟදි නොඑන ෆිල්ම්ස් අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. බිරිඳ තවත් පචයක් කීවාය.

යෝදියේ ඔහොම බොරු කියන්න එපා… මම ඇයට රහසින් කිවෙමි. ඔයාට විකාර ඔය ගෙවල්වල හැම ගෑනු කෙනෙක්ම තමන්ගේ නැතිබැරිකම කියන්නේ නැහැ. මේ වගේ ටොන් පචමයි කියන්නේ. එතකොට ඔය දේශපාලන කෙරුමෝ ගොතන මහා ටොන් පච අපි මේ අපේ තත්ත්වය බේරා ගන්න අහිංසක බොරුවක් කිව්වට පව් නැහැ. නෝනේ…සමහර වෘත්තීය සමිති මහත්වරු ඉල්ලීම් දිනා ගන්න වර්ජන කරනවා, උද්ඝෝෂණ කරනවා.

ඔය දේශපාලනඥයො ජීවත්වෙන්නේ වෙළෙඳ මාෆියාවේ උදව්වලින්. ඒකනේ ඔය වෙළෙඳ මාෆියාවට විරුද්ධව මේගොල්ලෝ කවුරුත් කට අරින්නේ නැත්තේ. ඔය ඡන්දවලට පෝස්ටර් ගහන්න සල්ලි ඕනෑ. රැස්වීම් තියන්න සල්ලි ඕනෑ. ඉතින් ඔය වෙළෙඳ මහත්වරු එයාලට උදව් කරනවා. නෝනේ… මහත්තයා අද ගෙදර ඉන්න දවසේ තාම දවල් කෑම හදන්නේ නැද්ද? ඇසිලියා ප්‍රශ්නයක් මතු කළාය. දෙවියනේ මේ ගෑනි අපිව නැති කරන්න යන්නේ.

බිරිඳ කෙඳිරුවාය.

ඉන් පසු බිරිඳ තවත් අපූරු පිළිතුරක් ඇසිලින්ට දුන්නාය. අපේ නෝමන් මහත්තයා සාලයෝ කන්න ආස හින්දා, සාලයෝ ටිකක් කලින්ම මිරිසට හැදුවා. එළවළු ගණන් කියලා කන්නේ නැතිව ඉන්න පුළුවන් ද? බීට් ගෙඩියක් උයලා පරිප්පු ටිකක් හැදුවා.

ෂා හරිම ෂෝක්නේ. මම කැමතිම කෑම. ලොකු මාළු කාලෙකින් කෑවේ නැහැ. සාලයො මාළු පංකාදුයි. ඒකට පරිප්පු, බීට් හොඳට ගැළපෙනවා.

බිරිඳ අසරණ වූවාය. දෙයියනේ සාලයො මාළු කූරි පස්දෙන්නයි හැදුවේ. අනේ නෝනේ.. මගේ දුවටත් ඔය එකක් ඔතලා දෙන්න. මට නම් සාලයෝ දෙන්නෙක් කෑවාම ඇති යැයි ඇසිලින් කීවාය.

එදින දහවල් බිරිඳ ඇයට බත් පිඟානක් කෑමට දුන්නාය. බත් පාර්සලය ද පිළියෙල කර දුන්නාය.

පංකාදු පහයි… ඇසලින් කීවාය. බත් පාර්සලය අතට ගත්තත් ඇය යන පාටක් නැත. මම කාමරයේ සිට දිගින් දිගටම කහින්න පටන් ගත්තෙමි.

නෝමන් මහත්තයාට වෛරස් උණක් වගේ යැයි කියමින් ඇසිලින් නිවසින් පිටත්ව ගියාය.

මනුස්සයෙක්ට යමක් තිබෙනවා නම් කෑමට බීමට දීම ඉතා වැදගත් පුණ්‍ය ක්‍රියාවකි. එහෙත් තත්ත්වය බේරාගැනීමට බොරු කීමෙන් අමාරුවේ වැටෙන්නේ අපිමය.


advertistmentadvertistment