තනි අලියා නැවතත්

1650

හය වතාවක් අගමැති පදවියටත් තුන් වතාවක් ජනාධිපති පදවියටත් පත්වූ මේ මොහොතේ මෙලොව සිටින එකම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ විය යුතුය. 1949 ඉපිද 1970 දී යූඑන්පී ය හරහා දේශපාලනයට පිවිසි ඔහු මේ අවුරුද්දට වෘත්තීය දේශපාලනඥයකු ලෙස හතළිස් දෑවුරුද්දක් සම්පූර්ණ කර ඇත. ස්වකීය සමස්ත පාඨශාලා අධ්‍යාපනය මෙන්ම නීති විද්‍යාල අධ්‍යාපනය ද සිංහලෙන් ලැබූ රනිල් ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපති ලෙස ඊයේ දිව්රුම් දීම එක්තරා ආකාරයක විශ්මයකි. ගෝඨාභය රාජපක්ෂගෙන් හිස්වූ මෙරට ජනාධිපති ධුරය සඳහා තරඟ කරනු පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ තිදෙනා අතුරින් වැඩිම විවේචනයට ලක්වූ පුද්ගලයා ඔහුය. ඔහු පසුගිය මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට එන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙනි. වාමාංශිකයන් අතර ධනවාදියකු ලෙසත් එසේ නොවන අය අතර ලිබරල්වාදියකු ලෙසත් ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු මීට ස්වල්ප කලකට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මාලදිවයිනට ගිය අවස්ථාවේදී ජනාධිපති තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා පත්කරන ලද්දේය. ඉන්පසු ජනාධිපති ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේදී වැඩබලන ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේ රනිල් ය. ඊයේ ඔහු වැඩබලන කෑල්ල පැත්තකට දමා තනිකරම මේ රටේ ජනාධිපති පදවියට පත්විය. මෙතැන් සිට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ අපේක්ෂාව වූ අන්තර්වාර ආණ්ඩුව, තාවකාලික ආණ්ඩුව වැනි ඔැපචදර්රහ රාජ්‍ය පාලන ීදකමඑසදබ සියල්ලම වාෂ්ප වී යනවා ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි රාජ්‍ය පාලන කාලය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තවත් අවුරුදු දෙකකට වැඩි කලක් ඇදගෙන යනවා ඇත. ශ්‍රී ලංකා දේශපාලනය යනු මාරම මඩ වළකි. මේ මඩ වළ තුළ ශක්තිමත් දැව කඳන් තිබේ. රනිල් වික්‍රමසිංහ යනු එවැනි ශක්තිමත් දැව කඳකට ගැසූ විට කිසිසේත්ම ගැලවීමට අපහසු ශක්තිමත් දේශපාලන යකඩ ඇණයකි. ඔහු ඒ බව පසුගිය මාස දෙකක කාලයකදී ඔප්පු කළේය. රනිල් පිළිබඳ වර්ණනාව මෙතනින් අවසන්ය. මෙතැන් සිට අප සාකච්ඡා කරන්නේ මේ රටේ රාජ්‍ය නායකයා ලෙස ඉදිරි කාලය තුළදී රනිල් වික්‍රමසිංහට කන්නට සිදුවන පරිප්පුව ගැනය.

 ශ්‍රී ලංකාව මීට අවුරුදු 74 ට පෙර බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් විය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදියා ශ්‍රී ලංකාවට නිදහස දෙන්නේ ඉතාම කැමැත්තෙනි. එයට හේතුව බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් මේ රට එක පැත්තකින් සූරාකන අතර අනෙක් පැත්තෙන් බි්‍රතාන්‍යය සූරාකන සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ධනපති අනුප්‍රාප්තිකයන් පිරිසක් ද බිහිවී සිටීමය. සුද්දන්ගේ ඇඳුම් අඳින, සුද්දන්ටත් වඩා හොඳින් ඉංග්‍රීසි කතා කරන, සුද්දන්ටත් වඩා හොඳින් සුදු මතවාදය දරන, සුද්දන්ටත් වඩා දක්ෂ ලෙස ටයි ගැටය දමන මේ නාස්තිකාර සුදු සිංහල පරම්පරාව හැමදාමත් කළේ රට පාලනය කිරීම සහ දේශපාලනය කිරීම පමණි. ඔවුහු එක උදලු පහරක් පොළවට ගසා එක පැළයක්වත් වගා නොකළහ. ඔවුන් වැඩ කළේ ආණ්ඩුවේ කන්තෝරුවල ලොකු තනතුරුවලය. මේ සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික මළ කරදරකාරයන් විසින් ස්වකීය ධනය නිදහසේ කාබාසිනියා කරනු දුටු සුදු පාලකයෝ විසිවන ශතවර්ෂය මුලදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙකම තනි ගිණුමක් යටතේ පාලනය කිරීමට පටන් ගත්හ. එතැන් සිට සිංහල සුද්දන්ගේ වැය පාර්ශ්වය නමැති කට්ට කන ලද්දේ ඉන්දියාව විසින් දුකසේ උපයන ලද මුදලිනි. 1947 දී ඉන්දියාවට නිදහස දුන් බි්‍රතාන්‍ය ජාතිකයෝ ඊළඟ අවුරුද්දේදී මහත් සතුටින් ශ්‍රී ලංකාවට ද නිදහස දී ඉන්දියන් සාගරය දිගේ නැවකින් ගමනක් යනවිට ශ්‍රී ලංකාව පැත්ත පළාතවත් නොබලමු යැයි සිතින් ගිවිස ගනිමින් මව් රටට ගියහ. එදා සිටම ලංකාවේ ආදායම වියදමට වඩා බෙහෙවින් අඩුය. එබැවින් නිතරම කාගෙන් හෝ ණයට ගැනීමට අපි පුරුදු වීමු. ශ්‍රී ලංකාව පහුගිය අවුරුදු 74 ම එන්නේ මේ ගමනය. මේ ගමන තවදුරටත් කුණු කිරීම සඳහාත් වර්චස් කිරීම සඳහාත් මේ රටේ ස්වදේශික දේශපාලන හරක් ගාල මහත් සේ දායක වූහ. මේ දේශපාලනඥයන්ගෙන් වැඩිදෙනා ඇන්දේ ජාතික ඇඳුමය. ස්වකීය සිංහල ඊර්බා එක තවදුරටත් අලෙවි කරනු සඳහා යටට අඳින අමුඩ ලේන්සුව හිසේ ජටාවක් ලෙසත් ගෙල වටා සාටකයක් ලෙසත් බැඳගෙන යෑමට ඔවුහු යුහුසුළු වූහ. මේ කපටි රැළ විසින් දිනෙන් දින කා දමන ලද ශ්‍රී ලංකාව මේ වන විට පවතින්නේ තඹ තුට්ටුවක වටිනාකමක් නැති හපයක් ලෙසය. පෙරේදා මේ හපය මෛත්‍රීපාල සිරිසේනගේ ඔඩොක්කුවේ විය. ඊයේ එම හපය ගෝඨාභය රාජපක්ෂගේ සාක්කුවේ තිබිණ. අද ඩලස් අලහප්පෙරුම මේ හපය ඉල්ලන ලද නමුදු ඔහුට එය ලැබුණේ නැත. අද මේ හපය ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ හිස මතය. හපයක් යනු පුළුන් කැබැල්ලකටත් වඩා සැහැල්ලු ද්‍රව්‍යයකි. එහෙත් රනිල්ගේ හිස මත ඇති හපය අවුරුදු 74 ක් තිස්සේ දේශපාලනඥයන් විසින් කා දමන ලද හපයකි. මේ හපය විශාල ගුරුත්වයක් ඇති සුවිශාල බරක් ඇති හපයකි. ඒ නිසා රනිල් වික්‍රමසිංහට ලැබුණේ තෑග්ගක් නෙවෙයි. හතුරකුටවත් නොලැබිය යුතු කුණු ගොඩකි.

 ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ නරකම කාල පරිච්ඡේදය පසුකරමින් සිටී. 1970 දී බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වූ විට ශ්‍රී ලංකාවේ නරක කාලය පටන් ගත් බව එකල සිටි ධනවාදීන්ගේ මතය විය. හාල් පොලු, මිරිස් පොලු සහ පාන් පෝලිම් ද බතල මඤ්ඤොක්කා ආහාර සම්ප්‍රදාය නිසා ද ඔවුන්ට ජීවිතය එපාවී තිබිණ. 1977 දී ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වූ පසු ලංකාවේ ආර්ථිකය බටහිරට ගැති සූරාකෑම මූලික කරගත් දේහයක් බවට පත්වන බවත් එබැවින් ශ්‍රී ලංකාවේ නරකම කාලය 1977 දී ලැබූ බවත් එකල සිටි ප්‍රගතිශීලීහු කල්පනා කළහ. ප්‍රේමදාස ආණ්ඩුවද ජේ. ආර්. ගේ ම යූඑන්පී දිගුවක් බැවින් ඒ ගැන කතා නොකරමු. 1994 දී චන්ද්‍රිකා බලයට පත්වූ විට ධනවාදී කඳවුරෙන් භාගයක්ද ප්‍රගතිශීලී කඳවුරෙන් භාගයක්ද ඇය රට කනු ඇතැයි කියා දුක්වූහ. චන්ද්‍රිකා ද ඒ අනාවැකියෙන් භාගයක් පමණ සත්‍ය කළාය. 2005 දී මහින්ද රාජපක්ෂ බලයට එන්නේ යුද්ධය පරදවනු පිණිසය. 2010 දී රාජපක්ෂලා නැවත බලයට එන්නේ රට කනු පිණිසය. 2015 දී රාජපක්ෂලා කා දමනු පිණිස මෛත්‍රී රනිල් ප්‍රමුඛ යහපාලන කට්ටිය බලයට ආහ. ඉන්පසු යහපාලන කට්ටිය එළවනු පිණිස ගෝඨාභය පැමිණියේය. මේ සෑම ආණ්ඩු වාරයකදීම මේ රට එය තිබුණු තැනින් තවත් පහළට තල්ලු වූ බව කිව යුතුව තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති හැටියට වැඩ භාරගන්නා මේ මොහොතේදී මේ රට ලංකා ඉතිහාසයේ නරකම කාලය හරහා ගමන් කරමින් සිටී. අද මේ රටේ මිනිස්සුන්ට කන්න නැත. තෙල් නැත. විදුලිය නැත. බෙහෙත් නැත. සල්ලි නැත. ළඟ එන ඡන්දයකුත් නැත. අඩු ගණනේ නව ජනපති රනිල්ට දිව්රුම් දීමටවත් තැනක් තිබුණේ නැත. වෙනදා ජනාධිපති දිව්රුම් දෙන ජනාධිපති ලේකම් කාර්යාලය මේ මොහොතේදී අරගලකරුවන් අත තිබේ. ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් ඩැමේජ් කර තිබේ. අරලියගහ මන්දිරය හිල් පෙනේරයකි. එහි බිත්ති අස්සේ සඟවා තබන ලදැයි සැක කෙරෙන සල්ලි ගැනීම සඳහා අරගලකරුවෝ එම මන්දිරයේ බිත්ති හිල්කර ඇත්තාහ. රනිල්ගේ ගෙට ද ගිනි තබලාය. එම ගින්නෙන් ඉතිරි වූ සුන්බුන්වල අවසන් කොටස පෙරේදාත් පළමුදාත් ඉවත් කරන ලදි. හරිආකාරව දිව්රුම් දීමට තැනක් නැති නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වශයෙන් දිව්රුම් දෙන්නේ පාර්ලිමේන්තුවේදී ය. ඒ සඳහා කිසිම අලංකාර උත්සවයක් නැත. ඒ අතින් බලන විට ලංකා ඉතිහාසයේ නරකම කාලයේදී රාජ්‍ය නායකත්වයට පත් අවාසනාවන්තම දේශපාලනඥයා ඔහුය. හැබැයි මේ කුණුගොඩ පිරිසිදු කර රටේ බඩු මිල පහත දමා, තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් නැතිකර ගැනීමට තරම් රනිල් දක්ෂ වුණොත් 2025 ඡන්දයේදීත් ජනාධිපති වන්නේ ඔහු ය.

advertistmentadvertistment
advertistmentadvertistment