තමිල්නාඩුවේ ඡන්ද වෙනුවෙන් කච්චතිව් දූපත රත්කිරීම

409

නැවත කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීම පහසු කටයුත්තක් නොවන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ. Indian Express වෙබ් අඩවිය මාර්තු 31වැනිදා පළ කර ඇති ලිපියක, 2014 වසරේදී එවකට ඉන්දියාවේ නීතිපතිවරයාව සිටි මුකුල් රෝතාගි විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වා ඇත්තේ මෙසේ ය. “කච්චතිව් ශ්‍රී ලංකාවට පැවරුණේ, 1974 වසරේදී ගිවිසුමක් මගින්. අද කොහොම ද ඒක ආපහු ගන්නේ? කච්චතිව් ආපහු ගන්න ඕන නම් යුද්ධයකින් තමයි ඒක ගන්න වෙන්නේ.”

කච්චතිව් අයිතිය ගැන 1947 සිට පැවැති ජාත්‍යන්තර අර්බුදයට තිත තැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හා ඉන්දිරා ගාන්ධි අගමැතිනිය අතර 1974 ජූනි 26දා අත්සන් කළ ගිවිසුම තුළිනි. ”කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට” මවුබිමේ අයිතිය මැතිනිය දිනාගනී, ඉන්දියන් යෝධයෝ දණ ගසති. මැයෙන් ඒ දිනවල මෙරට පුවත්පත්වල මුල් පිටු අලංකාර වී තිබිණ. ශ්‍රී ලංකාවේ සැබෑ උරුමය පිළිගෙන කච්චතිව් දූපත ඉන්දියානු ග්‍රහණයෙන් මුදාගත් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සියලු ශ්‍රී ලාංකිකයින් එදා මෙන්ම අදත් අනාගතයේත් උපහාර දැක්විය යුතුය. ලොව ප්‍රථම අගමැතිනියගේ සමීපතම යෙහෙළිය වූ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග පැවැති සුහද එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලය ලෙස කච්චතිව්හි අයිතිය මෙරටට දිනාගත හැකිවිය. කච්චතිව් දූපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ කොටසක් වන බවත් ගිවිසුමේ සඳහන් වෙයි. එසේම 1976 වසරේ ඉන්දු – ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමි කෙරිණි.

ඇත්තෙන්ම අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත කච්චතිව් වේ. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටා ඇති අතර ජන ශූන්‍ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න අවසර ලැබෙන්නේ වසරකට එක් වරක් පමණි. ඒ කච්චතිව් වාර්ෂික මංගල්‍යයට පමණි. යාපනයේ සිට නම් මුහුදු සැතපුම් හතළිස් දෙකක් පමණ දුරින් පිහිටි කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ මංගල්‍යයට වැඩි වශයෙන්ම සහභාගි වන්නේ ධීවර ජනතාවය. 30 වසරක කුරිරු යුද්ධයේ සාපය නිසා 1982 වසරේ සිට වසර 27 ක් පුරා කච්චතිව් දූපත තහනම් ප්‍රදේශයක් විය. 2009 යුද්ධය නිමාවත් සමග 2010 වසරේ සිට කච්චතිව් දූපතේ පෙර පරිදි ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ මංගල්‍යය පැවැත්වීම ඇරඹුණේ නාවික හමුදාවේ අනුග්‍රහය ඇතිවය. ලංකා මුහුදු සීමාවේ පිහිටි කච්චතිව් දූපතට වඩාත් සමීප වන්නේ ඊට කිලෝමීටර් 14 ක් දුරින් පිහිටි ඉන්දියාවේ රාමේශ්වරම් ප්‍රදේශයටයි.

ලබන අප්‍රේල් මස 19 වන දා ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීම ආරම්භ වන අතර එය අදියර 7ක් යටතේ ජූනි 01 වන දා තෙක් පැවැත්වේ. මේ වන විට ශ්‍රී ලංකාවට අයත්ව තිබෙන කච්චතිව් දූපත ඉන්දියාවේ මැතිවරණය ඉලක්ක කර ගත් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ. භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරුන් වන එස්. ජයිශංකර් සහ නිර්මලා සීතාරාමන් කච්චතිව් දූපතේ ප්‍රශ්නය මතුකරමින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටි බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක පෙරියසාමි චිදම්බරම් පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කර තිබිණි. කරයිකුඩි හි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ කච්චතිව් දූපත ගැන නැවත කතා කිරීම මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා කෙරෙහි වත්මන් දිල්ලි ආණ්ඩුවේ අවම සැලකිල්ල පෙන්නුම් කරන බවයි. මෝදි ආණ්ඩුවේ බලවත් ඇමැතිවරුන් වන එස්. ජයිශංකර් සහ නිර්මලා සීතාරාමන් දෙමළ ජාතිකයෝ වෙති. මැතිවරණය ඉලක්ක කර කච්චතිව් තැටිය රත් කරන්නේ තමිල්නාඩුවේ දෙමළ ඡන්ද ගොඩ විශේෂයෙන් ධීවර මනාපය තමන් වෙත ආකර්ෂණය සඳහාය. මන්ද තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂයට ප්‍රබල වාසියක් නැත. ඇත්තෙන්ම මෝදි ආණ්ඩුව වඩා ජනප්‍රිය හින්දි ප්‍රාන්තවල මිස දකුණු ඉන්දීය හින්දි නොවන දෙමළ භාෂා කුලකයින් කතා කරන ප්‍රාන්තවල නොවේ. මැතිවරණයට සති කිහිපයක් තිබියදී කච්චතිව් මතක් වන්නේ ඒ හරහා කොන්ග්‍රස් පක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණිනි. පසුගිය මාර්තු 31දා අගමැති නරේන්ද්‍ර මෝදි එක්ස් සමාජ මාධ්‍ය වේදිකාවේ කච්චතිව් දූපත ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මියට දොස් පැවරීම මගින් මේ විවාදය මතුව තිබිණි. එහි සඳහන්ව තිබුණේ “ඉන්දීය ජනතාව ගැන නොසිතා කොංග්‍රස් පක්ෂය කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පිරිනැමීම සම්බන්ධයෙන් නව කරුණු අනාවරණය වී ඇති,” බව ය. කෙසේ නමුත් මෙරට රූපවාහිනී ජාලයකට ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍ය අලි සබ්රි අවධාරණය කර තිබුණේ අඩ සියවසකට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පවරා දුන් දූපතක් වන කච්චතිව් පිළිබඳ නැවත කතා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැති බවයි. “ඇත්තටම මීට වසර 50 කට පෙර සාකච්ඡා කර විසඳා ගත් කාරණයක් මෙම ප්‍රශ්නය පිළිබඳව වැඩිදුර සාකච්ඡා අවශ්‍ය නැහැ අලි සබ්රි කියයි. ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු පැවසුවේ භාරතීය ජනතා පක්ෂය මෙය කරලියට ගෙන ඇත්තේ ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගෙන බවයි. ඒ තමිල්නාඩුවේ ඡන්ද සටන වෙනුවෙන් බව හිටපු මහකොමසාරිස්වරයා අවධාරණය කර තිබිණි.

නැවත කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීම පහසු කටයුත්තක් නොවන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ. Indian Express වෙබ් අඩවිය මාර්තු 31වැනිදා පළ කර ඇති ලිපියක, 2014 වසරේදී එවකට ඉන්දියාවේ නීතිපතිවරයාව සිටි මුකුල් රෝතාගි විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වා ඇත්තේ මෙසේ ය. “කච්චතිව් ශ්‍රී ලංකාවට පැවරුණේ, 1974 වසරේදී ගිවිසුමක් මගින්. අද කොහොම ද ඒක ආපහු ගන්නේ? කච්චතිව් ආපහු ගන්න ඕන නම් යුද්ධයකින් තමයි ඒක ගන්න වෙන්නේ.” පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඉන්දීය පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග යෝජනා විවාදයකදී වත්මන් අගමැතිවරයා කච්චතිව් ප්‍රශ්නය නැවත මතුකර තිබුණේ විපක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය. ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය 1974 වසරේ දී ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් බවත් ඉන්දියාව තුළ බෙදීමක් ඇතිවූයේ ද ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය පැවති කාලයේ බව මෝදි පවසා තිබිණි. අඛණ්ඩ භාරත් මතයේ සිටින භාරතීය ජනතා පක්ෂ නායකයාට අවශ්‍ය කලාපයම තමන් සතුකර ගැනීමටය. එය ප්‍රකට රහසකි. ඉන්දියානු නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කරනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලන කාලයට වසර 09 ක් සම්පූර්ණවීම හා සමගාමීවය. මේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ සවිකර ඇති සිතියමක් හේතුවෙන් පසුගිය මාසවල දකුණු ආසියාව පුරාම යම් ආන්දෝලනයක් ඇතිව තිබිණි. මේ සිතියම ස්ථාපනය කිරීම බංග්ලාදේශය, නේපාලය සහ පකිස්තානය ඇතුළු දකුණු ආසියානු අසල්වැසියන් කෝපයට පත් කර තිබිණි. සිතියමට ඇෆ්ගනිස්ථානයේ කොටස් සහ සමස්ත පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය ඇතුළත් වේ. මෙම සිතියම මගින් පණ පොවා ඇත්තේ අගමැති මෝදි අයත් භාරත් ජනතා පක්ෂයේ අන්ත ජාතිකවාදී දක්ෂිණ සංකල්පයක් වන ”Akhand Bharat˜ හෙවත් අඛණ්ඩ භාරතය යන සංකල්පය බවට චෝදනා එල්ල විය. මෙම සිතියම ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු මෙන්ම ගල් අඟුරු සහ පතල් පිළිබඳ අමාත්‍ය ප්‍රහද් ජෝෂි මෙය විස්තර කර තිබුණේ උග්‍ර හින්දු ජාතිකවාදී අදහසක් වන අඛන්ඩ් භාරත් ලෙසයි. එය ඉන්දීය උපමහාද්වීපයේ ජනවාර්ගික හින්දු ජාතියක් කලාපයක් ලෙස පරිකල්පනය කරයි. “අධිෂ්ඨානය පැහැදිලියි – අඛන්ඩ් භාරත්” ජෝෂිගේ ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි. එසේම කච්චතිව් නැවත ඉල්ලන්නේද මේ මතය පසක් කිරීමටද යන්න ගැනත් ලක්වැසියන්ට ප්‍රශ්නයක් මතුවේ.

ඉන්දියාව හා ලංකාව අතර පාලම ගැන නිරන්තරව කතා බහට ලක්වේ. ඒ ගැන කතා කිරීමට මෙරට නියෝජිත පිරිසක් පසුගියදා දිල්ලියට ගොස් තිබිණි. එහෙත් මේ පාලම අපට වාසියක් නම් නොවේ. එය ලක් දූපතේ අවසානය බව අප නොයෙක්විට අවධාරණය කර ඇත. මේ හරහා සිදු කරන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදය තවදුරටත් තහවුරු කිරීම පමණි. ඒ ගැන කතා කරන ඊනියා සමාජවාදීන්ගේද කටවල් වසා ඇත. නරේන්ද්‍ර මෝදිගේ විදෙස් ප්‍රතිපත්තිය අනුව ‘පළමුව අසල්වැසියා’ යන සංකල්පය මත ඉන්දියාව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූ අවස්ථා රැසක් තිබේ. එසේම චීනයද අපට විශාල සහයක් ලබා දුන් බව අමතක කළ යුතු නැත. කවරක් වෙතත් ඉන්දීය සහයට ස්තුතිවන්ත වන නමුත් අප බ්‍රාහ්මණ උගුලට හසුවිය යුතු නැත. පාලමද ඒ උගුලේම කොටසකි. වසර 2500ක කාලයක සිට සිංහල ශිෂ්ටාචාරය අඛණ්ඩව රැකගැනීමට අපට හැකිවිය. මහා චෝල අධිරාජ්‍ය පරාජය කළ හැකි විය. එසේම ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදය විනාශ කරනු ලැබුවේ ලංකා හමුදාව විසින්ම පමණකි. මේ දූපත රැකෙන්නේ භාරතය සමග එක්වීමෙන් නොව එයින් වෙන්ව තමන්ගේම ස්වාධීනත්වය රැකගෙන ඉදිරියට යෑම තුළින්ම පමණකි. කච්චතිව් ගැන කතා කිරීමද බ්‍රාහ්මණ උගුලේම කොටසකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment