තම ජීවිතය නොතකා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහි වූ ඊ. ඩබ්ලිව්. පෙරේරා

365

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් ලංකාව නිදහස් කර ගැනීම සඳහා ගෙන ගිය ජාතික අරගලයේදී ඇතැම් නායකයන් ඉංග‍්‍රීසින් වෙනුවෙන් දැක් වූ ඇතැම් ක‍්‍රියාදාමයන් ඉතා ලිහිල් ඒවා විය. නමුත් ඉංග‍්‍රීසින්ගේ මුළු අධිරාජ්‍යයටම මුළු හදින් එරෙහිව සටන් වැදුන මුල් පෙළේ නායකයෙකු වූයේ ”කෝට්ටේ සිංහයා” යැයි විරුදාවලියලත් ඊ.ඩබ්. පෙරේරා මහතාය.

ඔහු වෘත්තියෙන් අධි නීතිඥයෙකු විය. අප රටේ ඉතිහාසය පිළිබඳව විමර්ශන, ගවේෂණ සිදු කළ ඉතිහාසඥයෙකු විය. දේශපාලනඥයන් අතර කෘතහස්ත දේශපාලනඥයෙකු විය. රටට ජාතියට ප‍්‍රතිලාභවලින් තොරව සේවය කිරීමට ඉදිරිපත් වූ සමාජ නායකයකු විය. නමුත් මෙතුමන් වෙත මේ රටේ ජනතාව සාධාරණත්වය ඉටු නොකර අකෘතඥව පිටුපෑ බව සඳහන් නොකරම බැරි කරුණකි. එම නිසා මෙම ජාතික වීරවරයා සිය දිවියේ අවසානය ගත කළේ තම ජාතික සේවාවන්වලින් විශ‍්‍රාමගෙන පොත් පත් අතර ගැවසෙමින් කලකිරීමෙන් යුතුව බව සඳහන් නොකළහොත් එය බලවත් වරදක් ලෙස මා දකිමි.

1875 වසරේ දෙසැම්බර් 12 වෙනි දින ගාල්ලේ උණවටුනේදී උපන් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාගේ පියාණන් වූයේ අධිනීතිඥවරයකු වූ ඊ.ඇස්. පෙරේරා මහතාය. 1873 වසරේදී මිගෙට්ටුවත්තේ ශ‍්‍රී ගුණානන්ද මා හිමියන් සිදුකළ පානදුර වාදය ඉංග‍්‍රීසි බසින් ලියා ලොවට වාර්තා කළේ මෙතුමාණන්ය. පෙරේරා පවුල කතෝලිකයන් වුවද සත්‍යය ලොවට හෙළි කිරීමට මැලිවූයේ නැත.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඊ.ඩබ්ලිව්. පෙරේරා පාසල් අධ්‍යාපනය නිමවූ විගස නීති අධ්‍යාපනය ලබා නීතිඥයකු වශයෙන් දිව්රුම් දුන්නේ විසිපස් වියේ පසුවන යෞවනයකු ලෙස 1900 වසරේදීය. කොළඹ අලූත්කඩේ උසාවියේ සේවයේ නියුතු දක්ෂ අධිනීතිඥවරයකු වූ පෙරේරා මහතා ජනතාව අතර ඉමහත් ගෞරවයට පාත‍්‍ර වූයේ ඔහුගේ මෙහෙවර ඉතා අවංකවත් කාර්යශූරවත් සිදු කරනු ලබන නීතිවේදියකු ලෙස ජනතා සිත් සතන් තුළ මුල් බැසගත් නිසාය. නමුත් පෙරේරා මහතා නීතිඥයකු වශයෙන් සේවය කරනවාට වඩා වැඩි රුචිකත්වයක් දැක්වූයේ ලංකාව අධිරාජ්‍යයෙන් නිදහස් කර ගැනීමේ සටනට එකතු වීමටය.

මේ අනුව එම යුගයේ අප රටේ දේශ හිතෛෂී නායකයන් සමග එකතු වූ පෙරේරා මහතා සිය ශක්තිය හා කුසලතාවය පෙන්නුම් කළේ 1915 වසරේ ඇති වූ ජාතිවාදී අරගලයේදී එම යුගයේ මෙරට පාලනය කළ ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා සහ පොලිස්පතිවරයා සිංහලයන්ට එරෙහිව ගෙනගිය ඉතා බිහිසුණු මෙහෙයුම හමුවේය. සිංහලයන් දුටු තැන වෙඩි තැබීමට ආණ්ඩුකාරවරයා සිදු කළ නියෝගය ඔවුන්ගේ පොලිස්පතිවරයා විසින් අකුරට ඉටුකළ අයුරු ඉතා ශෝචනීය විය.

මේ තත්ත්වය හමුවේ අත්අඩංගුවේ සිටින සිංහල නායකයන් බේරා ගැනීම සඳහා සිදු කළ මහ මෙහෙයුමේ සුවිශේෂී සටන්කරුවා වූයේ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාය. ලංකාවේ සැබෑ තත්ත්වයත් ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික ක‍්‍රියා පිළිවෙතත් සඳහන් කර සැකසූ රහසිගත පෙත්සම එංගලන්තයට ගෙන යෑමට ඉදිරිපත් වූයේ මෙතුමාය. විශේෂයෙන් සකස් කළ සපත්තුවක් තුළ සඟවා පෙත්සම එංගලන්තයට ගෙන යෑම අසු වුවහොත් මරණයට පත්වීමට තරම් තුඩුදෙන ක‍්‍රියාවක් විය. නමුත් බිය සැක නොහඳුනන පෙරේරා මහතා එම පෙත්සම සහිත සපත්තුව පයෙහිලා එංගලන්තයට ගොස් එරට ඉංග‍්‍රීසි පාලකයන්ට ඉදිරිපත් කළේ රටක් රාජ්‍යයක් දිනාගත් වීරයකු ලෙසිනි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ ආණ්ඩුකාරවරයාට සහ පොලිස්පතිවරයාට සිය තනතුරු අහිමි වූ අතර, සිරගෙවල් තුළ දුක් විඳි සර් ඩී.බී. ජයතිලක, ඇෆ්.ආර්. සේනානායක, ඩී.ඇස්. සේනානායක, ආතර් වී. දියෙස්, පියදාස සිරිසේන ආදී නායකයන් හට නිදහස ලැබී ආපසු සිය නිවෙස්වලට පැමිණීමට හැකියාව ලැබිණි.

මෙම කාර්යයට මුල පිරූ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා 1915 සිට 1919 දක්වා වසර හතරක් එංගලන්තයේ ගත කරමින් එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හමුවෙමින් ලංකාවේ සැබෑ තත්ත්වය හෙළි කරමින් සිදු කළ මෙහෙවර නිසා ලංකාවටම නව ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් පිරිනැමීමට එංගලන්තය එකඟ විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 1920 වසරේ අගෝස්තු මස 13 වෙනි දින රාජාඥාවක් මගින් අප රටට යළි ස්ථාවර ව්‍යවස්ථාදායක සභාවක් හිමිවිය. මෙම ව්‍යවස්ථාදායක සභාවේ මන්ත‍්‍රීවරයකු වශයෙන් 1921 අපේ‍්‍රල් 21 වෙනිදා, එනම් මීට වසර සියයකට පෙර ඊ.ඩබ්.පෙරේරා මහතා මන්ත‍්‍රීවරයකු වශයෙන් ජයග‍්‍රාහී ලෙස පත්වූයේ කොළඹ දිස්ත‍්‍රික්කය සඳහාය.

ඔහුගේ එංගලන්ත ගමනේදී සිදු වූ තවත් සුවිශේෂී සිද්ධියක් වූයේ 1815 මාර්තු 02 වෙනිදා මහනුවර මඟුල් මඩුව අසලදී පහතට දැමූ අප රටේ ජාතික කොඩිය ඉංග‍්‍රීසින් විසින් එංගලන්තයට ගෙන ගියේ ඔවුන්ගේ කතිර කොඩිය අප රටේ ජාතික කොඩිය බවට පත් කරමිනි. අප රටෙන් ගෙනා ජාතික කොඩිය එංගලන්තයේ කෞතුකාගාරයේ තිබෙන බව ඇසූ පෙරේරා මහතා එය එහි තිබේදැයි සොයා බැලූවත් කොඩිය එහි නොවීය. උත්සාහය අත් නොහැරියේය. ”සොයන්නාට සම්භ වේ” යන වදනට අනුව අපේ ජාතික කොඩිය පෙරේරා මහතා සොයාගන්නා ලදී.

ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ලියා පළ කළ ”ලංකාවේ ධජ හා පතාක” නම් ග‍්‍රන්ථයේ අප රටේ ජාතික කොඩිය එංගලන්තයේදී සොයා ගැනීම පිළිබඳව එහි සඳහන් වනුයේ මෙසේය.

”මහනුවර අවසාන රජුගේ කොඩිය නැපෝලියන්ගේ රාජාලි සලකුණ සහිත කොඩියත් සමග ”වයිට් හෝල්” නම් මන්දිරයේ තැන්පත් කරන ලද බවට බෙනට් නම් ඉංග‍්‍රීසි ජාතික විචාරකයා විසින් කරන ලද පැවසුමක් මත සිංහල රාජකීයන්ගේ පරම්පරාණුගත වූ ධජය සොයා ගැනීමට මම වෑයම් දැරුවෙමි. ඒ ගැන ”යුනයිටඩ් සර්විස් මියුසියම්” නම් කටුගෙහිදී කරන ලද සෝදිසිවලිනුත් පලක් නොවිණි. වෙල්සි රෝහලෙන් ද අභිමතාර්ථය ඉටු නොවිණි.

මහනුවර රාජධානියේ ඇද වැටීමත් සමගම සර් රොබට් බ‍්‍රවුන්රිග් ලකිසුරු තුමාණන්ට හිමි කරන ලද ඇඳුම් ආයිත්තම් සෙවීම ඊළඟට අප අරමුණ විය. පැරන් බර්ක්, සමර්සෙට්, හැරල්ඩ් හා තවත් ඉංග‍්‍රීසි ජාතිකයෙකුගේද උපකාරය ඇතිව යුද ඇඳුම් තැන්පත් කර ඇති ශාලාවේ ද සිංහල කොඩිය පිළිබඳව වූ මුල් ලිපි සොයාගෙන කොළඹ කටු ගෙයට ද එයින් ඉක්බිතිව රාජකීය සිංහ ධජය මා විසින් සොයා ගන්නා ලද්දේ වෙල්සි රෝහලේ ශාලාවක් තුළ තිබියදී අහම්බෙනි.”

අද අප රටේ ජාතික කොඩිය පිළිබඳව ලොකු ගෞරවයක් අභිමානයක් තිබුණ ද මේ කොඩිය සොයාගෙන අවුත් අප රටට යළි හිමිකර දුන් නායකයා පිළිබඳව දැනීමක් නොමැතිවීම සමාජයේ සමස්ත පිරිහීමකි. ලංකා ජාතික සංගමයේ ආරම්භයේ සිටම ක‍්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් කටයුතු කළ පෙරේරා මහතාට 1926 වසරේදී එහි සභාපති පදවිය හිමි විය. එතුමාගේ සභාපති පදවිය දරන කාලය තුළ මෙරටට පැමිණි ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් පෙරේරා මහතා කියා සිටියේ ලංකාවට අවශ්‍ය පූර්ණ නිදහස මිස ඩොමීනියන් තත්ත්වයක් නොවන බවය. නමුත් සංගමයේ අනෙක් නායකයෝ ඩොමිනියන් තත්ත්වය භාර ගැනීමට එකඟ විය. මේ නිසා තමාට සිතට එකඟව ලංකා ජාතික සංගමයේ තවදුරටත් සිටිය නොහැකි බව පැවසූ ඊ.ඩබ්ලිව්. පෙරේරා රාජ නීතිඥ ප‍්‍රැන්සිස් ද සොයිසා, රාජ නීතිඥ ඇම්.ටී. ද ඇස්. අමරසේකර, ආර්. ඇල්. පෙරේරා යන අය ජාතික සංගමයෙන් ඉවත් වී නව සංවිධානයක් පිහිටුවා ගත්තේ ”නිදහස් සංගමය” ලෙසිනි. එහි සභාපති ධුරය රාජනීතිඥ ප‍්‍රැන්සිස් ද සොයිසා මහතා දැරූ අතර ලේකම්වරයා ලෙස ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා කටයුතු කළේය.

1931 පැවැති රාජ්‍ය මන්ත‍්‍රණ සභා ඡන්දයට ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් ඉදිරිපත් වූයේ නිදහස් සංගමයේ නියෝජිතයන් ලෙසය. මෙම මැතිවරණයට පක්ෂ වලින් ඉදිරිපත් නොවුණත් එම අයගේ සංවිධාන හා සංගම් දේශපාලන දර්ශනයන්ට එකඟව කටයුතු කරන අය සමූහයක් ලෙස පෙළ ගැසී තිබුණි. ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා තරග කළේ කළුතර දිස්ත‍්‍රික්කයේ හොරණ කොට්ඨාසයටය. ඔහු තම ප‍්‍රතිවාදියා වැඩි ඡන්ද 12,432 කින් පරාජය කර මැති සබයට පැමිණියේ ඡන්ද 17,933 ක් ලබා ගනිමිනි. නමුත් 1936 වසරේ පැවැති රාජ්‍ය මන්ත‍්‍රණ සභා ඡන්දයේදී ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාට හිමිවූයේ නොසිතූ විරූ පරාජයකි. එම පරාජයෙන් පසු 1943 වසරේ පැවැති රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ කැලණිය අතුරු මැතිවරණයට ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ඉදිරිපත් විය. ප‍්‍රතිවාදියා වූයේ දේශපාලනයට නවකයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතාය. ජේ.ආර්. ජයවර්ධනයන්ගේ මාමා වූ ලේක් හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතාට අවශ්‍ය වූයේ තම හිත මිත‍්‍ර නිදහස් අරගලයේදී දිවි පරදුවට තබා සටන් කළ ඊ.ඩබ්ලිව්. පෙරේරා මැති සබයට ගෙන ඒමටය.

ඒ නිසා විජයවර්ධන මහතා ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාට අවස්ථාව දී තරඟයෙන් ඉවත්වන ලෙසය. ඒ වන විට ජේ.ආර්. ලංකා ජාතික සංගමයේ ප‍්‍රබලයෙකුව සිටි නිසා අනෙක් අය ඔහුට ඉවත් වීමට ඉඩ දුන්නේ නැත. නමුත් ලේක් හවුස් පුවත්පත් උදව් කළේ ඊ.ඩබ්ලිව්. පෙරේරාටය. ආගම්වාදය, කුල වාදය රැව් පිළි රැව් දුන් මෙම මැතිවරණයෙන් ඊ.ඩබ්ලිව්. පෙරේරා දෙවන වරටත් පරාජය විය.

ඔහු දේශපාලනයෙන් සමුගත්තේ කඳුළු පිරි දෙනෙතිනි. ජීවිතය ශාස්ත‍්‍රීය කටයුතුවලට කැප කළේය. වසර 84 ක් ජීවත් වූ මෙම ශ්‍රේෂ්ඨ නායකයා මීට වසර 69 කට පෙර, පෙබරවාරි 17 වැනි දිනක දැයෙන් සමුගත්තේ සිය යුග මෙහෙවර අවසන් කරමිනි. ඒ සමග දේශපාලනයේ යෙදෙන ජාති හිතෛෂී, දේශ හිතෛෂී අවංක නායකයෙක් රටට අහිමි විය. අද මෙවැනි උත්තමයින් දේශපාලනය තුළ නොමැති බව පෙනී යයි. එය දේශයේත් ජාතියේත් අභාග්‍යයකි.

  • අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා
advertistmentadvertistment
advertistmentadvertistment