තම බිරිඳට රැකවරණය දුන් කාන්තාවට වෙඩි තැබූ සාහසිකයාට ඇසිඩ් ප්‍රහාරයක්

143

අත්තනගල්ල අලවල සමගි මාවතේ කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු 29 දා අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෞද්ගලික කෝන්තරයක් මත සැකකරු අදාළ කාන්තාවගේ නිවසට පෙරේදා (29 දා) අලුයම 5.00 ට පමණ ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි. වෙඩි වැදුණු කාන්තාව දෙදරු මවකි. වෙඩි තැබීමෙන් කාන්තාවගේ එක් අතකට තුවාල සිදුවී ඇති අතර නිවසේ ඉදිරිපස දොරට සහ බිත්තියකට හානි සිදුව ඇත.

වෙඩි වැදීමට ලක්වූ කාන්තාව විවාහ වී දැනට හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි වී සිටින්නියකි. සැකකරුගේ බිරිඳ සැකකරු සමග අමනාප වී එම කාන්තාවගේ හෙට්ටිපොළ නිවසේ දින කිහිපයක් නතර වී සිට ඇත. මේ පිළිබඳව දැන ගත් සැකකරු ඊට උරණ වී අදාළ කාන්තාව ඇගේ මුල් පදිංචි නිවස වූ අලවල සමගි මාවතේ නිවසට පැමිණි අවස්ථාවේ එම නිවසට ගොස් තමාගේ බිරිඳ හෙට්ටිපොළ ප්‍රදේශයේ නිවසේ තබාගත් බවට බැන වදිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වේ.

සැකකරු වෙඩි තබා පලායෑමට උත්සාහ කළ අවස්ථාවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවගේ මව ක්‍ෂණිකව ක්‍රියාත්මක වී ඔහුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එහිදී සහකරුගේ පිට ප්‍රදේශය පිච්චී ඇති බවත් පොලිසිය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව සහ ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසස් නාලක මහතාගේ උපදෙස් මත උ. පො. ප. ධර්මසිරි ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment