තඹුත්තේගම මූලික රෝහලේ මෘත ශරීරාගාර සේවකයෝ පශ්චාත් මරණ පරීක්‍ෂණ කට්ටලවලිනුත් ගසාකති

27

පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා තැන්පත් කෙරෙන මළ සිරුරු කැපීමට පෙර එහි සේවකයන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කට්ටලයක් (Postmodam Kit) පෞද්ගලික ඔසුසැලකින් රැගෙන එන ලෙසට කරනු ලබන දැනුම් දීම නිසා තඹුත්තේගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ ඥාතීන් දැඩි දුෂ්කරතාවනට මුහුණ පා සිටිති.

ඒ අනුව රෝහල් මෘත ශරීරාගාරයේ සේවයෙහි නියුතු සේවකයින් විසින් නම් කරන තඹුත්තේගම නගරයේ පිහිටි පෞද්ගලික ඔසු සැල් දොළහෙන් එක ඔසු සැලකින් පමණක් එම පශ්චාත් මරණ පරීක්ෂණ කට්ටලය මිලදී රැගෙන එන ලෙසට තමන්ට දැනුම් දෙන බවත් මියගිය පුද්ගලයන්ගේ ඥාතීහු පවසති.

එම රෝහලේ ඇතැම් සේවකයින් සහ ඔවුන්ගේ තැරැව්කරුවන් විසින් කලක සිට මෙම ජාවාරම සිදු කර ගෙන යන බවත් ඔවුහු කියා සිටිති.

කුඩා කතුරක්, කුඩා තල දෙකක්, මළ සිරුරු කැපීමේදී බැහැර කරන අප ද්‍රව්‍ය දැමීමට භාවිතා කරන පොලිතින් බෑග් දෙකක්,ගෝස් කැබලි හතරක් සහ මළ සිරුරු කැපීමේදී අඳින පොලිතින් ආවරණයකින් සමන්විත එම පශ්චාත් මරණ පරීක්ෂණ කට්ටලයක මිල රුපියල් එක්දහස් හත්සිය පනහක් පමණ වන බව එම රෝහලේ ප්‍රකාශකයකු පැවැසීය.

ඇතැම් අවස්ථාවල එහි සේවකයන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට කරනු ලබන දැනුම්දීම අනුව ඔවුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කට්ටලයක් අදාළ පෞද්ගලික ඔසුසැලෙන් මිලදී ගෙන ඒමට පෙර මළ සිරුරු කැපීමේ නිරත වන සේවකයා ‘මා ළග කලින් රැගෙන ආ පශ්චාත් මරණ පරීක්ෂණ කට්ටලයක් තිබෙනවා. ඔයා එම කට්ටලයක් රැගෙන එනතුරු මා ළග තියෙන එකෙන් මිනිය කපන්නම් කියා මළ සිරුරු කපන’ අවස්ථාද තිබෙන බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති.

මේ පිළිබඳව තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සැපයුම් අංශයෙන් අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළු සියලුදේ ඉල්ලුම් කළ විට අපේ රෝහලට සපයන බවයි.

සැපයුම නිසි වෙලාවට සිදු නොවන අවස්ථාවල ඖෂධ වැනි දෑ රෝගීන්ට දැනුම් දී බාහිර ඔසුසැල්වලින් ගෙන්වා ගන්නා අවස්ථා තියෙන තිබෙන බවත් තමන් වහා ක්‍රියාත්මක වී ඒ පිළිබඳව සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පැවැසීය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment