තරංග තරගාවලියේ වීරයා වෙමින් ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් කිරුළ ඒෂියා ලයන්ස්ට

375

තෙවැනි වරට පැවැති ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් මාස්ටර්ස් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඒෂියා ලයන්ස් කණ්ඩායම පෙරේදා (20 වැනිදා) සමත් විය.

ඒෂියා ලයන්ස් කිරුළු පැළඳූ පළමු අවස්ථාව මෙය විය.

කටාර් රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පැවැති මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදි වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින් ඒෂියා ලයන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලිය ගෞතම් ගාම්භීර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියා මහරාජාස්, ෂහිඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් ඒෂියා ලයන්ස් හා ඒරන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් වර්ල්ඩ් ජයන්ට්ස් යන කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 147 ක් රැස් කළ අතර එහිදී ජැක් කාලිස් නොදැවී ලකුණු 78(54, 4×5, 6×1)ක් රොස් ටේලර් ලකුණු 32(33, 4×3)ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී අබ්දුල් රසාක් (2/14) හා තිසර පෙරේරා (1/22) දක්ෂතා දැක්වූ අතර ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 16.1කදී පසුකර යෑමට ඒෂියා ලයන්ස් කණ්ඩායම සමත් විය. කණ්ඩායමට සාර්ථක ආරම්භයක් උපුල් තරංග හා තිලකරත්න ඩිල්ෂාන් ලබාදුන් අතර, ඔවුන් දෙදෙනා පන්දුවාර 10ක් කඩුල්ලේ රැඳී සිටිමින් පළමු කඩුල්ලට ලකුණු 115ක් රැස් කිරීමට සමත් විය. මෙහිදී ඔවුන් දෙදෙනාම අර්ධ ශතක වාර්තා කළ අතර, ඉන් තරංග ලකුණු 57 (28, 4×5, 6×3)ක් හා ඩිල්ෂාන් ලකුණු 58 (42, 4×8)ක් රැස් කිරීමට සමත් විය.

තරගාවලියේ වීරයා ලෙස උපුල් තරංග සම්මාන දිනාගත් අතර ඔහු අර්ධශතක 03ක් සමගින් ලකුණු 221ක් රැස් කිරීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment