තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී

261

පාකිස්තානය සමගින් ගාල්ලේදී ක්‍රියාත්මක වන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (25 වැනිදා) දිනය නිමාවට පත්වනවිටදී තරගයේ වැඩි වාසි තමන් වෙත නතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී සිටියේය. ඒ අනුව රමේෂ් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අඩපණ වූ පාකිස්තාන කණ්ඩායම තරගයේ දෙවැනි දිනට ඊයේ නතර කර දමන විටදී කඩුලු 7ක් දැවී ලකුණු 191ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 187ක් පිටුපසින් සිටිමිනි.

පාකිස්තාන ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එක් වීමට පළමුවෙන් අබ්දුල්ලා සෆීක් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට අසිත ප්‍රනාන්දුට ඊයේ හැකියාව ලැබිණි. ඒ අනුව පළමු තරගයේදී ශ්‍රී ලංකාව පරාජයේ මාවතට තල්ලු කර දැමූ අබ්දුල්ලා ලකුණු නොලබා දැවී යෑම මත ආරම්භයේ සිටම පීඩනය කරපින්නාගෙන ක්‍රීඩා කළ පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල මුළු ලකුණු 35දී බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය සමත්විය. ඒ නායක බාබර් අසාම්ගේ ඉනිම ලකුණු 16කට සීමා කරමිනි.

පාකිස්තාන කඩුලු 2ක් ඉක්මනින් දැවී යෑම හේතුවෙන් වගකීම කරට ගත් ඉමාම් උල්හක් සංයමයෙන් යුතුව පාකිස්තාන ලකුණු පුවරුව ගොඩනංවමින් සිටියදී එම ඉනිමට තිති තැබීමට ධනංජය ද සිල්වා සමත්විය. පාකිස්තාන ලකුණු පුවරුව 65ක් ලෙසින් සටහන් වෙද්දී ධනංජය ද සිල්වා ක්‍රියාත්මක කළ තරගයේ 18 වැනි පන්දු වාරයේ දෙවැනි පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ඉමාම් උල්හක් පිටියෙන් ඉවත් වෙද්දී ලකුණු 32ක් ඔහු ඉදිරියේ සටහන් වී තිබිණි.

එතැන් පටන් සිය කඩුලු දඩයම ඇරැඹූ රමේෂ් මෙන්ඩිස් පාකිස්තාන ඉනිමේ මැදපෙළ කඩුලු 3ක් ඊයේ දිනය තුළදී සිය කඩුලු මල්ලට දමා ගැනීමට සමත්විය. මොහොමඩ් රිස්වාන් ලකුණු 24කටත්, ෆවාද් අලාම් ලකුණු 24කටත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත් රමේෂ් මෙන්ඩිස් මොහොමඩ් නවාස් ලකුණු 12කටත් දවා ගනිමින් පාකිස්තානයට පිලිවෙලින් 4, 5 සහ 6 වැනි කඩුලු අහිමි කර දැමීය.

මුළු ලකුණු 145දී පිටියේ එක් වූ අගා සල්මන් සහ යසීර් ෂා පාකිස්තාන ඉනිමේ වාර්තා වූ වැඩිම ලකුණු සම්බන්ධතාවය වාර්තා කළේ 7 වැනි කඩුල්ලට ලකුණු 46ක සම්බන්ධතාවයක් දියත් කරමිනි. සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අගා සල්මන් කුළුඳුල් ටෙස්ට් අර්ධ ශතකය ඊයේ වාර්තා කළ අතර දිනය නිමා කිරීමට පෙර ප්‍රභාත් ජයසූරිය යැවූ අවසන් පන්දු වාරයේදී ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දී සල්මන් දැවී යන විටදී ලකුණු 62ක් රැස් කර තිබිණි. සල්මන්ට අනගි සහයක් පළ කළ යසීර් ෂා පන්දු 61ක් පුරා කඩුල්ල රැක ගනිමින් ලකුණු 12ක් ලබා අනෙක් අන්තයේ නොදැවී සිටියේය.

දෙවැනි දිනට ඊයේ උදෑසන තරගය ආරම්භ කරන විටදී ප්‍රබල ස්ථානයක පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබා සිටියේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. ඒ අනුව ඊයේ උදෑසන සිය 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය. පසුගිය තරගයේ ඉනිම දෙකේදිම ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ දික්වැල්ල වේගවත් ඉනිමක් දියත් කරමින් තමන් මුහුණ දුන් 50 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත්විය.

නසීම් ෂා ඊයේ දිනයේ ක්‍රියාත්මක කළ දෙවැනි පන්දු වාරයේ පළමු පන්දුවේදී දුනිත් වෙල්ලාලගේ දවා ගැනීමට සමත්වීම මත ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ල මුළු ලකුණු 327දී අහිමි වී ගියේය. වෙල්ලාලගේ ගේ අත් ආවරණයේ වැදුණු පන්දුව බාබර් අසාම් උඩපන්දුවක් ලෙසින් රැක ගැනීමත් සමග වෙල්ලාලගේ ගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේ පළමු ඉනිම නිමාවට පත්වෙද්දී ලකුණු 11ක් රැස්කරගෙන සිටියේ පන්දු 20කට මුහුණ දී හතරේ පහරවල් දෙකක්ද එල්ල කරමිනි.

තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී

නසීම් ක්‍රියාත්මක කළ ඊළඟ පන්දු වාරයේ පස්වැනි පන්දුවේදී නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම නිමා කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවට මුළු ලකුණු 333දී 8 වැනි කඩුල්ල අහිමි කරමිනි. දික්වැල්ල පන්දු 54කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 51ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම 378 සීමාවට රැගෙන ආ රමේෂ් මෙන්ඩිස් ඊයේ දිනයේදී සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු වාර්තාව අලුත් කළේය. ප්‍රභාත් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු අනෙක් අන්තයේ තබා ගනිමින් පන්දු 52ක් ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් එල්ල කරමින් ලකුණු 35ක් රැස් කළේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment