තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා යෞවනියෝ ඉන්දියාවට පරදිති

237

19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය

ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගේ නීරස පිතිකරණ විලාසය සහ අපරික්‍ෂාකාරී කඩුලු අතර දිවීම හේතුවෙන් 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යටතේ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා යෞවනියන් අතර පැවැති තරගයෙන් ලකුණු 60 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීය යෞවනියෝ සමත්වූහ.

ඊයේ (23 දා) බෙයිමස් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 118ක් ලබාගැනීමට වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දු වාර 20 අවසානයේ ලබාගැනීමට හැකියාව ලැබුණේ කඩුලු 9ක් දැවී ලකුණු 58ක් වීම හේතුවෙන්, ලකුණු 60ක පහසු ජයක මිහිර අත්විඳීමට ඉන්දීය යෞවනියන්ට අවකාශය ලැබිණි.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ගොන්ගාදි තිෂා සහ ජී. කමලිනීට වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදුන් ප්‍රමුදි මෙත්සරා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 17ක් වනවාත් සමගම ජී. කමලිනීව ලකුණු 5කටද, දෙවැනි කඩුල්ල ලෙස සනිකා චල්කෙ ව ලකුණු නොලබාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත්වූවාය.

අනතුරුව ආරම්භක පිතිකාරිනිය සමග එක්වූ ඉන්දීය කණ්ඩායමේ නායිකා නිකී ප්‍රසාද් ලකුණු 31ක සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූවාය. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 48දී ඉන්දීය කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස නායිකා නිකී ප්‍රසාද් ලකුණු 11 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට අසිනි තලගුණේ සමත්විය. නැවතත් තිෂා සමග එක්වූ භාවිකා අෂීරා සාර්ථක ලකුණු 30ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූවාය.

ලකුණු පුවරුව ලකුණු 78ක් වනවාත් සමගම මෙතෙක් වේලා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් ගෙන දෙමින් පන්දුවට පහරදුන් ගොන්ගාදි තිෂාව ලකුණු 49කට පිටියෙන් ඉවත් කිරීමට මනුදි නානායක්කාර සමත්වූ අතර ඒ වන විට ඇය පන්දු 44කට මුහුණ දෙමින් හයේ පහර 1ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 49ක් ලබාගැනීමට සමත්ව සිටියාය. අනතුරුව ලකුණු 78දීම ඉන්දීය කණ්ඩායමේ 5වන කඩුල්ලද බිඳ දමාගත් ලිමන්සා තිලකරත්න ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්වූවාය.

ඉන් අනතුරුව ලකුණු 88දී 6වන කඩුල්ලද, 102දී 7වන කඩුල්ලද, 114දී 8වන කඩුල්ලද, 117දී 9වන කඩුල්ලද බිඳ දමාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ ලකුණු 118කට සීමා කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී ප්‍රමුදි මෙත්සරා ලකුණු 10කට කඩුලු 2ක්, ලිමන්සා තිලකරත්න ලකුණු 14කට කඩුලු 2ක්, අසිනි තලගුණේ ලකුණු 24කට කඩුලු 2ක් බිඳහෙළීය.

කෙසේ වුවද ලකුණු 118ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ව නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 58ක් වැනි සුළු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්වූ අතර, ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 1දී පළමු කඩුල්ල බිඳ දැමූ ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 12ක් වන විට පිතිකාරිනියන් 5 දෙනකුවම ක්‍රීඩා පිටියෙන් හරවා යැවීමට සමත්ව තිබිණි.

අවසානයේ ශ්‍රී ලංකා යෞවනියන්ට ලකුණු 60ක පරාජයක් අත්හිඳීමට සිදුවූ අතර, ඉන්දීය යෞවනියෝ තරගාවලියේ මුහුණදුන් තරග 3ම ජය ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පළමු තැන තවදුරටත් රැකගැනීමට සමත්ව සිටියේය.

තරගයේ වීරවරියට හිමි සම්මානය ගොන්ගාදි තිෂා විසින් දිනාගැනීමට සමත්වූවාය.

සිසිර ඉන්ද්‍රජිත්

සංස්කරණය – සුසිල් ජයකොඩි


advertistmentadvertistment