නිල මැදිරියේදී පැයක රහස් ප්‍රකාශයක් ලබාදෙයි
ලංකා T10 තරගාවලිය
තරග පාවාදීමට සිය කණ්ඩායමේ ක්‍රීඩකයකු පෙලඹවීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ඉන්දියානු ජාතික ප්‍රේම් ටකාර් නමැත්තාගෙන් පුරා පැයකට ආසන්න රහස් ප්‍රකාශයක් සටහන් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18දා) පස්වරුවේ නියෝග කළේය.
අධිකරණයේ නියෝගය පරිදි ඊයේ (19දා) පස්වරු 2.10 ට පමණ මහෙස්ත්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කරනු ලැබූ ලංකා ටී-10 සුපර් ලීග් තරගාවලියට එක්ව සිටින “ගෝල් මාවල්ස්” හිමිකරු වන එම සැකකරු භාෂා පරිවර්තකවරයකුගේ සහයෙන් සිය රහස් ප්‍රකාශය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ දී ලබා දුන්නේය. අනතුරුව එම සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගෙන් මහෙස්ත්‍රාත් නිල මැදිරියේ දී ඉල්ලා තිබූ අතර විමර්ශන සිදු කරන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ද එම ඉල්ලීමට පිළිතුරු දෙමින් කරුණු දක්වා තිබිණි. අනතුරුව එම ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 20 වැනිදා දක්වා කල් තැබීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනම එම සැකකරු යළි තම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කොට තිබිණි. එම තරග පාවාදීමට සිය කණ්ඩායමේ ක්‍රීඩකයකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩෲ ෆෙචර් නමැති ක්‍රීඩකයා පෙලඹවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය වැඩිදුර ප්‍රකාශ, සැකකාර ඉන්දියානු ජාතිකයාගෙන් බන්ධනාගාරය තුළදී සටහන් කිරීමට අවශ්‍ය අවසරය හා පහසුකම් විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.
නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන්, හරින් සද්ධාසේන, නිරංජන් ඊරියගොල්ල, රශ්මිණි ඉන්දතිස්ස, රසානා ශලි, කූජනා වගාගොඩ, උදාරි වික්‍රමසිංහ, අජිත් වික්‍රමසිංහ හා නිතිඥ තිළිණ පැළැන්දාව යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා හා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයේ නිලධාරීන් කීපදෙනෙක් අධිකරණයට පැමිණ සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක