තර්ජනවලට මම බය නැහැ විදුලි පනත ගේනවා – ඇමැති කියයි

474

රට සම්පූර්ණයෙන්ම බ්ලැකවුට් (අඳුරු කරන බව) කරන බවට තර්ජනය කරන විදුලි ඉංජිනේරුවන් කිහිපදෙනකු කරන තර්ජනයට බිය වී පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩපිළිවෙළ නතර නොකොට විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.

විදුලිබල සංශෝධන පනත පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට අකමැති පිරිස් විපක්ෂ නායකතුමාට මෙම වැරදි තොරතුරු ලබා දීලා තිබෙනවා. අපේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ඔවුන්ට කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය බලයක් මේ නව සංශෝධනයෙන් ලබා දෙනවා. මේ සංශෝධනය කළත් මිල ගණන් කැඳවීමේ බලය සහ අවශ්‍ය මිලදී ගැනීම් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය මගින්. ඒක එහෙම නොවන අයුරින් යම්කිසි පිරිසක් කටයුතු කරනවා. අපි මේ ගැන සාකච්ඡා කරන්න කැමතියි. මේ පුනර්ජනනීය බලශක්තිය ගැන කතාවෙන්නේ 2013 අගෝස්තු මාසයේ 06දා සිට. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් කිහිපදෙනෙක් පමණක් මේ පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ වෙනවා. ඔබතුමාලාගේ කාලයේදීත් මේ අයම තමයි මේකට විරුද්ධ වුණේ.

අපි මේ පනත අනිවාර්යයෙන්ම ගේනවා. විදුලිබල මණ්ඩලය මගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කළා විදුලි බිල සියයට 300 කින් වැඩි කරන්න කියලා. නමුත් මම එකඟ වුණේ නෑ. විදුලි බලය උත්පාදනය කරන්න වියදම වැඩියි. අපිට උත්පාදනය සඳහා රුපියල් බිලියන 756 ක් වැය වෙනවා. නමුත් ආදායම ලැබෙන්නේ බිලියන 250 යි. පාඩුව බිලියන 500ක්. විදුලිබල මණ්ඩලයේ පාඩුවට හේතුව වෙන්නේ මොකක්ද? ඩීසල් බලාගාර සඳහා ඉන්ධන මිලදී ගැනීමට මුදල් වැයවීම සහ විදුලි බල මණ්ඩලයේ මේ නිලධාරීන්ගේ වැටුප හැම අවුරුදු 03කටම වරක් සියයට 25කින් වැඩි වෙනවා. මේවාට වගකියන්න ඕනේ ජනතාවද? තමන්ගේ වැටුප වැඩි කර ගැනීම වෙනුවෙන් ජනතාව මත බර පටවන්න මම නම් ඉඩ දෙන්නේ නෑ. විපක්ෂය හෙට මේ සංශෝධනයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒකට කමක් නෑ.

ඉන්ධන බලාගාරවලින් විදුලිය උත්පාදනය කිරීමට එක ඒකකයට රුපියල් 100කට වඩා වැඩි මුදලක් වැය වෙනවා. නමුත් පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා ඒකකයක් සඳහා වැය වෙන්නේ රුපියල් 16.80යි. සෝලා ඒකකය 22.50යි. හයිඩ්‍රෝ බලය සඳහා 04.35යි. මේකද කරන්න එපා කියන්නේ? අපි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තිබෙන පනත මග හැරලා කිසි දෙයක් කරන්න යන්නේ නෑ. මේකට බාධා කරන්න එපා. මිල ගණන් තීරණය කරන්න ඇමැතිවරයාට දෙන්නේ නෑ. පසුගිය කාලයේ මිල ගණන් තීරණය කරපු අයම තමයි මේකේදීත් මිල තීරණය කරන්නේ. මම ඊයේ කිව්වා අපේ රටේ විදුලිය බිඳ වැට්ටවීමට කටයුතු කළ අයම තමයි අද පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ වෙන්නේ. ගම්මන්පිල ඇමැතිවරයාගේ නිවසට සෝලා බලය දෙන්න මාස 06 කට වඩා ගිහින් තිබෙනවා. නමුත් එතුමන්ලාත් මේ සංශෝධනයට විරුද්ධ වෙනවාලු. මම දන්නේ නෑ අපේ මුදල් පිටට යනවට කැමති වෙන්නේ ඇයි කියලා. අපි අනිවාර්යයෙන් මේ අපේ ධාරාව ඉන්දියාවට සම්බන්ධ කළ යුතුයි. නැතුව විසඳුමක් නෑ.

අද නිලධාරීන් කිහිප දෙනකු කියා තියෙනවා රට බ්ලැකවුට් කරනවා කියලා. අපි ඒවාට ඉඩ තියන්නේ නෑ. මේවා අවශ්‍ය නැත්නම් සුනිත්‍ය බලශක්ති අධිකාරියත් වහලා දාන්න.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා- අපි පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ නෑ. මෙතන ලොකු විකෘතියක් කළා. මේ සංශෝධනයෙන් වෙන්නේ තරගකාරීත්වය නැති වෙනවා. එවිට යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මිල ගණන් තීරණය කරන්න බලය ලැබෙනවා. අපේ රටේ සුළං බලය තුට්ටු දෙකට දෙනවාට අපි විරුද්ධයි. එවිට අපිට වැඩි මිලට සුළං බලය ගන්න වෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 


advertistmentadvertistment