තර්ස්ටන් විදුහලෙන් අල්ලපු වත්තට

549

තර්ස්ටන් විදුහලේ පස්වැනි පන්තියේ ඉගෙනුම ලබද්දී මා රාජකිය විදුහල් ප්‍රවේශ පරීක්ෂණයට පෙනී හිටියා. එකල රාජකීය විදුහලට පහේ ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් සිසුන් බඳවා ගත්තේ නැහැ. රාජකීය විදුහලේ හයවැනි පන්තියට බඳවා ගැනීමේ පරීක්ෂණයට වැඩි වශයෙන් පෙනී හිටියේ රාජකීය ප්‍රාථමික පාසලේ සිසුන්. මා හිතන්නේ ඒ පාසලේ සිසුන් සියලු දෙනාම ප්‍රවේශ පරීක්ෂණයට පෙනී හිටියා කියා. එයට අමතර ව වෙනත් පාසල්වලින් ද සිසුන් පරීක්ෂණයට පෙනී හිටියා.

පරීක්ෂණයට මට මතක හැටියට ප්‍රශ්න පත්තර හතරක් තිබුණා. සිංහල, අංක ගණිතය, ඉංගිරිසි හා සාමාන්‍ය බුද්ධිය. මට ඉංගිරිසි ප්‍රශ්න පත්‍රය අමාරු වුණා. පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රශ්න පත්‍රයෙන් පත්‍රයට දෙන්නේ නැහැ. එහෙත් මා හිතන්නේ මා ඒ ප්‍රශ්න පත්‍රයෙන් අසමත් කියා. සමස්ත පරීක්ෂණයෙන් ම මා සමත් වෙලා තිබුණා. ඒ අනුව මා රාජකීය විදුහලට ඇතුල් වීමට සුදුසුකම් ලැබුවා. මගේ දෙමවුපියන් මෙන් ම මාමා ද ඉතා සතුටට පත් වුණා. දෙවැනි පන්තියේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා මට පොත් අරන් දුන්නේ මාමා.

රාජකීය විදුහලට ඇතුළත් කෙරුණු සිසුන්ගෙන් විශාල බහුතරය රාජකීය ප්‍රාථමික පාඨශාලාවෙන් පැමිණි අය. මා හිතන්නේ ඔවුන්ට පරීක්ෂණයේ දී විශේෂ සැලකිල්ලක් ලැබුණා කියා. නැත්නම් එතරම් ප්‍රමාණයක් සිසුන් සුදුසුකම් ලබන්න විධියක් නැහැ. තර්ස්ටන් විදුහලේ සිංහල මාධ්‍ය සිසුන් හා දෙමළ මාධ්‍ය සිසුන් වෙන ම පංතිවල ඉගෙන ගත්තත් රාජකීය විදුහලේ සිංහල, දෙමළ, ඉංගිරිසි මාධ්‍ය සිසුන් සියලු දෙනා පංති හතරක එකට ඉගෙන ගත්තා. එහෙත් ඒ ඉංගිරිසි චිත්‍රකර්මය සංගීතය ලතින් වැනි විෂය සඳහා. අනෙක් විෂය ඉගෙන ගත්තේ ඒ ඒ මාධ්‍යවලින්. ඒ සඳහා සිසුන් වෙන පංතිවලට ගියා.

සිංහල මාධ්‍යය සඳහා පන්ති දෙකකුත් දෙමළ මාධ්‍යය සඳහා එක් පන්තියකුත් ඉංගිරිසි මාධ්‍යය සඳහා එක් පන්තියකුත් යනුවෙන් පන්ති හතරකට වෙන් කෙරුණා. ඉංගිරිසි මාධ්‍ය පන්තියේ බර්ගර් හා මුස්ලිම් ජනවර්ගවලට අයත් සිසුන් ඉගෙන ගත්තා. මෙහි අසාධාරණයක් එකල තිබුණා. රාජකීය විදුහල මහජන මුදලින් නඩත්තු වෙන පාසලක්. ඒ අනුව සිසුන් සිටිය යුතුව තිබුණේ ජන අනුපාතය අනුව. එහෙත් සිංහල සිසුන් සිටියේ සියයට පනහක් මිස හැත්තැපහක් නොවෙයි. මා හිතන්නේ අප විදුහලෙන් අස්වී බොහෝ කලකට පසු එය නිවැරදි කළා කියා. අපේ දෙමවුපියන්ට ඕනෑ කෙළේ අපට ඉහළ ම අධ්‍යාපනයක් ලබා දීමට. අපට ඉංගිරිසි ඉගැන්වීමටත් අම්මටත් තාත්තාටත් ලොකු වුවමනාවක් තිබුණ. මාමාට ඉංගිරිසි කතා කරන්න පුළුවන් වුණත් අම්මාත් තත්තාත් දැන සිටියේ ඉංගිරිසි වචන කිහිපයක් පමණයි. ගෙදරදී අපට එක ඉංගිරිසි වචනයක් ඇහුණේ නැහැ. දැන් මෙන් සිංහල කතා කිරීමේ දී ඉංගිරිසි වචන ද තොග පිටින් යොදා ගැනීමේ සිරිතක් එකල තිබුණේ නැහැ. මට ඉංගිරිසි මුල සිට ම අමාරු විෂයක් වුණා.

එකල මහරගම ගුරු පුහුණු විදුහලේ ඉගෙන ගත් අය සති දෙකක් රාජකීය විදුහලේ උගන්වා ප්‍රායෝගික පුහුණුවක් ලැබුවා. එසේ පැමිණි ශිෂ්‍ය ගුරුවරියක් හත්වැනි පංතියේ සිටි අපෙන් මෙපමණ දිගක් හා පළලක් ඇති කඩදාසියක මෙපමණ දිගක් හා පළලක් ඇති මුද්දර කීයක් අලවන්න පුළුවන් ද යන ප්‍රශ්නය අසා තිබුණා. සාමාන්‍යයෙන් ඒ ගණන හදන්නේ කඩදාසියේ වර්ගඵලය සොයා මුද්දරයක වර්ගඵලයෙන් බෙදීමෙන්. එහෙත් එසේ කළ විට සම්පූර්ණ මුද්දර නොව මුද්දර කෑලි ද අලවන්න සිදුවන බව මට වැටහුණා. එබැවින් කඩදාසියේ දිග පළල වෙන වෙන ම ගෙන එක් එක් පැත්තට ඇළවිය හැකි උපරිම මුද්දර ප්‍රමාණය ගණන් බලා එහි ගුණිතය පිළිතුර ලෙස මා සඳහන් කළා. ගුරුතුමිය එය වැරදි බව කියා සිටියා. මා ඇය සමග තර්ක කළ නමුත් ඇය ඒ පිළිගත්තේ නැහැ. එහෙත් පසුව ඒ පංතියේ නිත්‍ය ගුරුතුමා පැමිණි පසු මා ඔහුට මගේ ක්‍රමය කිවුවා. ඔහු ඉතා නිහතමානී ව එය පිළිගත්තා.

අටවැනි පංතියේ සිටින විට දිනක් මගේ කකුලේ ඇඟිල්ලක් කැපී මට පාවහන් පැළඳීමට නොහැකි වුණා. එවැනි අවස්ථාවල සිසුන් කරන්නෙ එක් පාදයකට සපත්තුවකුත් අනෙක් පාදයට සෙරෙප්පුවකුත් පැළඳ පාසල් ඒම. එහෙත් අප ගෙදරට සෙරෙප්පු පැළඳුවේ නැහැ. අපට තිබුණේ පාසලට පැළඳීම සඳහා පාවහන් යුගලයක් පමණයි. මට සෙරෙප්පු නැති නිසා මා පාවහන් නොපැළඳ දින දෙකක් පාසල් ගියා. සමහර විට රාජකීය විදුහල් ඉතිහාසයේ පාවහන් නොපැළඳ පාසලට ගිය එක ම ශිෂ්‍යයා මා වෙන්න පුළුවන්. අපට අටේ පංතියේ ගණිතය ඉගැන්වූ ගුරුතුමා පමණක් කෝ සපත්තු කියා මගෙන් ඇහුවා. මා එතුමාට කතාව කිවුවා. ඔහු සිනහසුණා පමණයි. රාජකීය විදුහලේ දී මගේ ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය වර්ධනය වුණා.

මහාචාර්ය නලින් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment