තරුවලට අභියෝග කළ නිළිය පුණ්‍යා හීන්දෙණිය

644

1961 වසරේ තිරගත වූ කුරුළු බැද්ද නම් චිත්‍රපටයට එහි කථා රචක හග්ගල්ලේ පී.කේ.ඩී. සෙනවිරත්න රචනා කළ ධර්මදාස වල්පොල හා හෙන්රි පෙරේරා ගැයූ කවි පෙළක පළමු කවිය වූයේ “වත්තේ වැටුණු පොල් අතු ටික නවම් මහේ” කවියය. මෙය පී-කේ-ඩී- සෙනවිරත්න විසින් බොහෝ කලකට පෙර ලියූ “ඈ කොහිද නම්” කවි පන්තියක කවි හතරක් ගෙන කුරුළු බැද්ද නම් චිත්‍රපටයට ගැළපෙන ලෙස ඇතුළත් කරන ලද්දකි.

රන් මැණිකා නම් අව්‍යාජ ගැමි ළඳ සිය පෙම්වතා වූ බණ්ඩාර, දෙමව්පියන් හා ඇයට ආදරය කළ ගම් වැසියන් හැර දෙමව්පියන් යෝජනා කළ අයකු සමඟ දීග යන සොඳුරු මොහොතේ චිත්‍රපටයේ පසුබිමින් ඇසුණේ මෙම කවි පන්තියය. එයින් කියවූයේ ඇය

ගැමියන් හා ජීවත් වූ අයුරුත් ඇය දීග ගියද ඇගේ සිනහාව තවමත් ගම තුළ ප්‍රතිරාව නංවන බවය. එදා කුරුළු බැද්දේ ප්‍රධාන චරිතය වූ රන් මැණිකාගේ චරිතය රඟපෑවේ මෙම වසරේ ජුලි මස සිය 84 වන ජන්ම දිනය සමරණ පුණ්‍යා හීන්දෙණියය. ඇය සිනමාවෙන් ඉවත්ව සිටියද “ඇය දුන් සිනා කිංකිණි හඬ” තවමත් රසිකයන් තුළ පිළිරැව් දෙයි. 1955 සිනමාවට පැමිණ 1968 දී සිනමාවට සමුදුන් පුණ්‍යා 1987 දී කලියුගය චිත්‍රපටයේ රඟපෑවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දැඩි ඉල්ලීම මතය. වසර 10 ක් වැනි කෙටි කාලයකදී චිත්‍රපට නමයක් පමණක් රඟපාමින් සිංහල සිනමාවේ ඇය කළ පෙරළිය මහත්ය.

තරුවලට අභියෝග කළ නිළිය පුණ්‍යා හීන්දෙණිය

1938 ජුලි මස 31 අද වැනි දිනක මීරිගම ප්‍රදේශයේ උපත ලබන පුණ්‍යා හීන්දෙණිය ඇගේ මූලික අධ්‍යාපන කටයුතු කළේ මීරිගම මහා විද්‍යාලයෙනි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ පුණ්‍යා සිංහල සේම ඉංග්‍රීසි සාහිත්‍යය කෙරේ මහත් කැමැත්තක් දැක්විය. පණිභාරතයන් යටතේ නර්තනය හැදෑරූ පුණ්‍යා නර්තනයට අමතරව වඩාත් ආශා කළේ මුද්‍රා නාට්‍ය (බැලේ) රඟපෑමටය. මෙහි විශේෂත්වය වනුයේ අශෝකා චිත්‍රපටයට රඟපාන තෙක් ඇය පාසල් නාට්‍යයක හෝ රඟ පා නොතිබීමය.

1953 දී තිරගත වූ සිරිසේන විමලවීරගේ අසෝකා චිත්‍රපටයේ එන නැටුම් ජවනිකාවට රඟපෑමෙන් පළමු වරට පුණ්‍යා චිත්‍රපටයකට සම්බන්ධ වේ. එහිදී ඇය රඟපෑවේ රූප රාමු දෙකකට පමණි. අසෝකා චිත්‍රපටයේ නැටුම් ජවනිකා අධ්‍යක්ෂණය ඇයගේ ගුරු පණිභාරතට පැවරී තිබුණු නිසා පුණ්‍යාට මෙම අවස්ථාව ලැබුණි. එය කිසිසේත්ම චිත්‍රපට රඟපෑමක් නොවීය.

පුන්‍යා මෙම කාලයේදීම පටාචාරා නම් නිමා නොකළ චිත්‍රපටයක රූප රාමු කිහිපයක රඟපෑවද එය අතර මඟ නතර වූ චිත්‍රපට ගොන්නට ඇතුළත් විය.

1958 තිරගත වූ දෙයියන්නේ රටේ පුණ්‍යාගේ පළමු චිත්‍රපටය යැයි හැඳින්වීම නිවැරදිය. ඩබ්ලිව්. ඒ. ද සිල්වාගේ නවකථාවක් ඇසුරෙන් එස්. ඩී. එස්. සෝමරත්න නිපදවූ දෙයියන්නේ රටේ ප්‍රධාන චරිතය රඟපෑවේ පුණ්‍යා හීන්දෙණියය.

පුණ්‍යාගේ ඥති සොහොයුරකු වූ එස්. ඩී. එස්. සෝමරත්න තම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ කැතරින්ගේ චරිතය රඟපෑමට නිළියක් සොයමින් සිටින විට ඇගේ තවත් ඥාති සොහොයුරකු වූ සිරි අයියා පුණ්‍යා එම චරිතයට සුදුසු යැයි යොජනා කළේය. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක එල්. එස්. රාමචන්ද්‍රන් පුණ්‍යාගේ රඟපෑමේ හැකියාවන් පරීක්‍ෂාකර අවසානයේ පුණ්‍යාව දෙයියන්නේ රටේ කැතරින්ගේ චරිතයට තෝරා ගනු ලැබීය.

එකල ජනප්‍රිය නළු නිළියන් වූ සේනාධීර කුරුප්පු ඩොමී ජයවර්ධන රෝහිණී ජයකොඩි ආදීන් සමඟ රඟපෑ පුණ්‍යා ජනප්‍රිය වාණිජ රැල්ලේ චිත්‍රපටවල එන පෙම් ගී ශෝක ගී ගැයූ ජවනිකාවල මනාව රඟපෑවේය. අදටත් ජනප්‍රිය සීත ගඟුලේ සීත හිමේ, රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි ගීත ඒ අතරින් කීපයකි.

මෙම වකවානුවේදීම ඇයට සුනීතා නම් චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබේ. පී. නීලකණ්ටන් නම් ඉන්දියානු ජාතිකයකුගේ අධ්‍යක්‍ෂණයෙන් වාල්විලේ ඔරු නාල් නම් දෙමළ චිත්‍රපටයේ කථාවක් අනුව නිපදවූ සුනීතා එකල ජනප්‍රිය වාණිජ රැල්ලේ දකුණු ඉන්දියානු වාණිජ චිත්‍රපට ස්වරූපයේ එකක් විය. නැටුම්, සටන්, ශෝක ජවනිකා හා ගීත රාශියක් මෙයට ඇතුළත් විය. මෙහි උප ප්‍රධාන චරිතයක් රඟපාන පුණ්‍යා ප්‍රීති බෝ වේ මා හදේ, පෙම් ලෝකයක් මවාලා, පාවි පාවී ඈත නිල්වලා ආදී ගීතයනට රංගනයෙන් දායක විය.

1959දී ප්‍රේමනාත් මොරායස් නිෂ්පාදනය කළ ශ්‍රී 296 චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය වූ ලලා ලෙස පුණ්‍යා රඟපෑවේය.

පුණ්‍යා සිනමා දිවිය සම්පූර්ණයෙන් වෙනස් මඟට යොමු කළේ 1961 තිරගත වූ කුරුළු බැද්ද චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ රන් මැණිකාගේ චරිතය රඟපෑම සමඟය. රේඛාව චිත්‍රපටයෙන් ඇරඹි දේශීයකරණය පළමු ආදර්ශය දෙනුයේ කුරුළු බැද්ද චිත්‍රපටයය. පී.කේ.ඩී. සෙනවිරත්න ගුවන් විදුලියට රචනා කොට විකාශනය වූ කුරුළු බැද්ද ගුවන් විදුලි නාටකය ඔහු විසින්ම තිර නාටකය සකසා එල්.එස්. රාමචන්ද්‍රන් යටතේ අධ්‍යක්‍ෂණය වූ චිත්‍රපටය කුරුළු බැද්දය.

කුරුළු බැද්ද නිෂ්පාදනය කළේ මීරිගම ව්‍යාපරිකයකු වූ ජෝන් අමරතුංගය. ඔහු එකල විසි දෙහැවිරිදි පුණ්‍යාගේ දෙමව්පියන්ගේ හිතවතෙකි. මෙහි බොහොමයක් ගැමි පරිසරයක වූ මීරිගමදී රූපගත කරන ලදී. අව්‍යාජ ගැමි පරිසරයක ජීවත් වූ ගැමි ළඳක් වටා ගෙතුණු කුරුළු බැද්ද චිත්‍රපටයේ එම පරමාදර්ශී ළඳගේ චරිතය පුණ්‍යා රඟපෑවේ ජනප්‍රිය නිළියන්ට අභියෝගයක් වෙමිනි. කුරුළු බැද්දේ ඇය රඟපෑවේ නවක නළුවන් කීප දෙනකු සමඟිනි. මෙහි එක් ජවනිකාවක වූ පෙම්වතුන්ගේ ගීතය ‘ඔය බැල්ම ඔය කැල්ම නලුපුල් නෙතේ’ ගීතය මෙතෙක් පෙම්වතුන් රඟපෑ ස්වරූපයට වඩා වෙනත් හැඩයකට රඟපෑම පසුකාලීන චිත්‍රපට ජවනිකාවනට ද බලපෑම් කළේය. කුරුළු බැද්දේ පුණ්‍යාගේ මව ලෙස රඟපෑවේ ඇගේ සොහොයුරිය වූ රම්‍යා හීන්දෙණිය වීමද විශේෂත්වයකි.

කුරුළු බැද්ද චිත්‍රපටයෙන් ලාංකීය සිනමාවේ නව පරිවර්තනයක් වූයේ රේඛාවෙන් පසුව ගොඩනැඟෙන සිනමාවේ දේශීයකරණය තුළ පළමුවරට ප්‍රේමය සමාජ ගැටලු ආදිය යථාර්ථයෙන් පෙන්වීමය. කුරුළු බැද්දට පසුව පුණ්‍යා රඟපානුයේ 1963 තිරගත වූ සිකුරු තරුව චිත්‍රපටයේය. එයද කුරුළු බැද්ද කණ්ඩායමේ නිර්මාණයක් විය. විශිෂ්ඨ රඟපෑමක යෙදුණු පුණ්‍යාට පළමු සරසවි සම්මාන උළෙලේ දී ගම්පෙරළියේ නන්දා ලෙස රඟපෑමෙන් හොඳම නිළිය වුවද එම උළලේදීම සිකුරු තරුවේ අනුලා චරිතයට විශිෂ්ට රඟපෑමේ කුසලතා සම්මානය පිරිනැමේ.

ලාංකේය සිනමාවේ දැවන්තම පෙරළිය සිදුවනුයේ මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය නව කථාව ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නැඟීමත් සමඟය. දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලොව හොඳම චිත්‍රපටයට හිමි රණ මයුර සම්මාන හා මෙක්සිකෝවේ රන් හිස සම්මානයත් හිමි කරගනී. මෙම චිත්‍රපටයේ නන්දාගේ චරිතයට පුණ්‍යා තෝරා ගන්නා ලද අතර ඇයගේ විශිෂ්ට රඟපෑම දෙස් විදෙස් විචාරක පැසසුමට ලක් විය. නන්දා ලෙස මෙහි රඟපෑම සමඟ ඇය ලංකා සිනමාවේ හොඳම හා ජනප්‍රිය නිළිය බවට එකවර මතුවේ. ගම්පෙරළියේ අභියෝගාත්මක රඟපෑම කිරීමට සිදුවූයේ පුණ්‍යාටය. ඇයගේ චරිතය එහිදී ගැමි ළඳක්ම නොවේ. වෙනස් වන සමාජ ක්‍රමය අනුව වෙනස් වන කාන්තා චරිතයක් ලෙස නන්දා චරිතය දැක්විය හැක. පියල් හා විවාහ වන නන්දා තමා ජීවත් වූ ගැමි පරිසරයට වඩා වෙනස් ඉහළ නාගරික පංති සමාජයේ සමාජිකාවක් බවට පත්වේ. 1983 ගම්පෙරළියේ දෙවන කොටස වූ කලියුගය චිත්‍රපටයේ වැඩිහිටි නන්දාගේ චරිතය රඟපෑමට ලෙස්ටර් ඇය ලංකාවට ගෙන්වා ගත්තේ මේ නිසාමය.

1966 තිරගත වූ පරසතු මල් ගම්පෙරළියෙන් පසු පුණ්‍යා රඟ පෑ චිත්‍රපටය විය. ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්‍ෂණය කළ පරසතු මල් මෙතෙක් බිහි වූ ලාංකේය සිනමාවේ හොඳම චිත්‍රපට දහයට ඇතුළත්ව ඇත. පී.කේ.ඩී. සෙනවිරත්නගේ කතාවකට අනුව නිර්මාණය වූ පරසතු මල් හි ප්‍රධාන නිළි චරිතය වූ කමලාගේ චරිතය රඟපෑවේ පුණ්‍යාය. එහිදීත් ඇය රඟපෑවේ ගැමි ළඳකගේ චරිතයකි.

1967 දී තිරගත වූ ලෙස්ටර් අධ්‍යක්‍ෂණය කළ රන් සළු චිත්‍රපටය ඇය මෙතෙක් රඟපෑ ගැමි ළඳකගේ චරිතයට වඩා වෙනස් එකක් වූයේ එය නාගරික ඉහළ මධ්‍යම පංතියක කාන්තාවකගේ චරිතයක් වීමය. පුණ්‍යා මෙම චිත්‍රපටයෙන් සිනමාවට සමු දුන්නද කලියුගය නිෂ්පාදනය සමඟ එහි නන්දාගේ චරිතය රඟපෑමට ලෙස්ටර් ගේ දැඩි ඉල්ලීම මත ලංකාවට පැමිණියේය. නන්දාගේ ජීවිතයේ සැඳෑ සමය ගත කළ අයුරු දැක්වීම එහිදී ඇයට හිමි කාර්ය විය. 1967 දීම ඇය හර්බට් රූපසිංහ නම් නිෂ්පාදකයකු අධ්‍යක්ෂණය කළ හිත ගිය තැන නම් චිත්‍රපටයේ ඇය රඟපෑවද එතරම් ප්‍රේක්ෂක අවධානයක් එම චිත්‍රපටය කෙරේ නොවීය.

1967දී එවකට සිටි රජයේ ප්‍රතිපත්තිය වූ කෘෂිකර්මය නඟාසිටුවීමේ අරමුණින් කළ වගා සංග්‍රාම වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා රන්වන් කරල් නමින් චිත්‍රපටයක් සිරි ගුණසිංහගේ අධ්‍යක්‍ෂණය යටතේ රජය නිෂ්පාදනය කළේය. ග්‍රාමීය ගොවි පවුල් වටා ගෙතුනු මෙය තුළ කුරුළු බැද්ද හා සිකුරු තරුවේ ලක්ෂණ විය. මෙහි ප්‍රධාන ගැමි ළඳගේ චරිතය පුණ්‍යා රඟපෑවේය. එකල අගමැති ඩඩ්ලි සේනානායකගේ ඇගයීමට ලක් වූ නිසාම පුණ්‍යා ඇතුළු චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් හා අධ්‍යක්‍ෂවරු අරලියගහ මන්දිරයට කැඳවා තම ප්‍රසාදය පළ කළේය.

චිත්‍රපට 10ක් වැනි ඉතාමත් අඩු චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑවද ඇගේ විශිෂ්ඨතම රඟපෑම් නිසාම ඇය සම්මානනීය නිළියක් ලෙස ඉතිහාසගතව ඇත. ප්‍රථම සරසවි සම්මාන උළෙලේදී ගම්පෙරළියේ නන්දාගේ චරිතය රඟපෑමේ විශිෂ්ටත්වය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නා ලදී. එයට පසුව එක්සත් ලංකා රසික සංගමයේ පළමු වන සම්මාන උළෙලේදී ද සිකුරු තරුවේ අනුලා හා ගම්පෙරළියේ නන්දා චරිත සඳහා හොඳම නිළිය ලෙස සම්මාන ලැබීය. රන් සළු චිත්‍රපටයේ සුජාතාගේ චරිතය රඟපෑමේදී දැක් වූ විශිෂ්ටත්වයට හොඳම නිළිය ලෙස 1968 සරසවි සම්මානයත් 1968 විචාරක සම්මානයත් පුණ්‍යා හිමි කර ගනී. 1964 දී සිකුරු තරුවේ රඟපෑමට සරසවි සම්මාන උළෙලේදී කුසලතා සම්මානය ද ඇයට පිරිනැමුණි. මෙයට අමතරව ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන ජනාධිපති රන් සිංහ සම්මානය 2000 දීත් යූ.ඩී. සුමතිපාල සම්මානය 2013 දීත් විශේෂ සින්ගීස් ආචාර සම්මානය 2015 දීත් සරසවි අභිමානී සම්මානයත් ඇයට හිමිවනුයේ සිනමාවට ඇය කළ උදාර දායකත්වයට ගරු කිරීමක් ලෙසිනි.

කුරුළු බැද්ද, සිකුරු තරුව හා ගම්පෙරළියෙන් පසු සිනමාවේ නිළියනට ඇය අභියෝග කළේ රඟපෑමේ විශිෂ්ටත්වයෙන් පමණක් නොව ජනප්‍රියත්වයෙන්ය.

ඇගේ ජනප්‍රියත්වය නිසාම පරසතු මල් නිෂ්පාදනයට පෙර නිෂ්පාදකයන්ගෙන් ඈ වෙත ගලා ආ ඉල්ලීම් ඇය ප්‍රතික්ෂේප කරයි. ටයිටස් තොටවත්ත චණ්ඩියා චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට තෝරා ගත්තේ පුණ්‍යාය. සීතල වතුර චිත්‍රපටයට පුණ්‍යා තෝරා ගත්තද ඇය ඉතා ගෞරවයෙන් ඒවා ප්‍රතික්ෂේප කළේය.

එකල පුණ්‍යා කෙතරම් ජනප්‍රිය ද යත් ගම් පෙරළියේ පියල් ලෙස රඟපෑ හෙන්රි ජයසේන සමඟ 1965 දී නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සංගමයේ මහා මණ්ඩලයේ පැවති ලෝක මානව හිමිකම් දිනයේ ශ්‍රී ලංකා සංස්කෘතික තානාපතිවරු ලෙස සහභාගි වීමට අවස්ථාව ලැබුණි. එහිදී ඔවුන් විසින් මහ මණ්ඩලයේ ප්‍රධාන වේදිකාවේ දැක් වූ කලාංගයන් ගැන එවකට එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඌතාන් මහතාගේ පවා විශේෂ ඇගයීමකට ලක්විය. පුණ්‍යා හා හෙන්රි හැර අද වන තුරු කිසිම ලාංකික කලාකරුවකු මෙම
භාග්‍යසම්පන්න අවස්ථාවක් ලැබී නැත.

එංගලන්තයේ රූපවාහිනි අභ්‍යාස මධ්‍යස්ථානයේ සිනමා රඟපෑම සම්බන්ධ පුහුණු වැඩසටහනකට ද පුණ්‍යා සහභාගි වී ඇත.

ලෙස්ටර් විසින් ලෙස්ටර් ගැනම කුමාර් ඩී. සිල්වාට කළ ප්‍රකාශ අතර පුණ්‍යා නන්දාගේ චරිතයට තෝරා ගැනීම ගැන සඳහන් වූයේ මෙසේය.

‘පුණ්‍යා ගම්පෙරළියට තෝරා ගැනීමට ලැබීම තරම් අප වාසනාවන්ත වූයේ යැයි මම සිතමි. පුණ්‍යා එහි කළ රඟපෑම අදටත් කිසිවකුට කළ හැකි යැයි මා සිතන්නේ නැත. මෙයට පෙර ඇය මාගේ චිත්‍රපටවල රඟපා නැත. නමුත් මෙයට පෙර ඇය වාණිජ රැල්ලේ චිත්‍රපට කීපයක සේම කුරුළු බැද්ද සිකුරු තරුව වැනි වණිජ දහරාවේ නොවූ චිත්‍රපටවල ද හොඳින් රඟපා තිබුණි. මට පෙනෙන පරිදි ඇය සත්තකින්ම සිංහල ගැමි ළඳකගේ ගමන, සිනහව හා හැසිරීම ආදියෙන් පරිපූර්ණ විය.’

ප්‍රේමදාස තෙලිකෝරල

advertistmentadvertistment
advertistmentadvertistment