සංවේදී වූ මවක් තම කරාබු යුගල ගලවා තෑගි කරයි
චීනයේ හැන්ජෝහි පැවැති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර 21 කට පසුව රන් පදක්කමක් ගෙන දුන් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ දිරිය දියණිය තරුෂි කරුණාරත්න හා ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මහනුවරට සම්ප්‍රාප්තිය වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර පිදීමේ උළෙලක් මහනුවර සිටි සෙන්ටර්හිදී (KCC) 12 වැනිදා පැවැත්විණි.
මෙම ක්‍රීඩා උළෙලේදී මීටර් 800 හා 400 සහය ඉසව්ව නියෝජනය කරමින් රන් හා රිදී පදක්කම් ලක් මාතාවට දිනා දීමට සමත් වූ තරුෂි තවමත් 18 වන වියේ පසු වේ. මහනුවර නගර මධ්‍යයේ සිට විශේෂ පිළිගැනීමකින් අනතුරුව තූර්යවාදක කණ්ඩායම් පෙරටුව උත්සව අවස්ථාව සඳහා ජනතා ගෞරවය මධ්‍යයේ කැඳවාගෙන එනු ලැබීය.
වලල ඒ රත්නායක විදුහලේ ආදි ක්‍රීඩා සංගමය හා ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කොට පැවති මෙම අවස්ථාවේදී තරුෂි වෙත සුබ පැතීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර එහිදී සංවේදී වූ මවක් ඇය පැලඳ සිටි කරාබු යුගලය තරුෂි වෙත පරිත්‍යාග කිරීම විශේෂ සිදුවීමක් විය. එසේම වලල විදුහලේ අඩු පහසුකම් සහිත ක්‍රීඩා පිටිය අනාගත ක්‍රීඩාව වෙනුවෙන් නවීකරණය කොට සකසා දෙන ලෙස බලධාරීන්ගෙන් තරුෂි කරුණාරත්න දියණිය ඉල්ලා සිටියාය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුල මඩහපොල, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, පළාත් ක්‍රීඩා අධ්යක්ෂ චන්දන සමරකෝන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්යක්ෂ අතුල ජයවර්ධන, වත්තේගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ තරංගා ගුණරත්න KCC ආයතනයේ වෙළෙඳ කළමනාකරු මාධව ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු ද ජාතික හා ජාත්‍යන්තරය ජයගත් ආදි වලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ද මීට සහභාගි වූහ.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන