තරුෂි ආසියානු වාර්තාවක් තබයි

1028

කාලිංග ලෝකඩ පදක්කමක් දිනයි
ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව බිඳ හෙළීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂී කරුණාරත්න පෙරේදා (18 වැනිදා) සමත් වූවාය.

ස්පාඤ්ඤයේ බිල්බාවෝ නගරයේ දී ක්‍රියාත්මක කෙරුණු මෙම තරගයේදී මීටර් 800 වෙනුවට මීටර් 600 තරග ඉසව්වට සහභාගි වෙමින් එහිදී රිදී පදක්කම දිනා ගනිමින් ඇය එම දක්ෂතාව දැක්වූවාය.

එහිදී මිනිත්තු 01.24.84 ක තරග නිමි කාලයක් සටහන් කළ තරුෂි මිනිත්තු 01.28.06 ක් ලෙස ජපන් ක්‍රීඩිකාවක නමින් පැවති මීටර් 600 ආසියාතික වාර්තාව බිඳ දැමීය.

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමට අනුව ‘සී’ කාණ්ඩයේ (Bronze Label) තරගාවලියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී මීටර් 600 අවසන් තරගයට සහභාගී වූ ළාබාලතම ක්‍රීඩිකාව ද තරුෂී කරුණාරත්න වූවාය.

මීටර් 800 වත්මන් ආසියාතික රන් පදක්කමට හිමිකම් කියන තරුෂි කරුණාරත්න මෙහි මීටර් 600 ඉසව්වේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීම උදෙසා සටහන් කළ මිනිත්තු 01.24.84 කාලය පැවති තරග වාර්තාව අභිබවා යාමක් ලෙස පිළිගැනෙයි.

එහි රන් පදක්කම ඔස්ටේ්‍රලියානු ජාතික බෙන්ඩේරී ඔබෝයා දිනා ගත්තේ මිනිත්තු 01.24.53 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. ලෝකඩ පදක්කම බ්‍රසීලයේ මාරියා ද ලීමා (මිනිත්තු 01.25.34) තහවුරු කර ගත්තේය.

මේ අතර වාරයේ දී කෙටි දුර ධාවන ශූර කාලිංග කුමාරගේ මීටර් 400 ට සහභාගි වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. කාලිංග කුමාරගේ තම උපරිම දක්ෂතාවයට ළඟා වීමට කළ උත්සාහය තත්.45.91 කින් නිමා විය.

මෙවර ප්‍රංශයේ පැරිස් නුවර දී ක්‍රියාත්මක කෙරෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තරුෂී සහ කාලිංග මෙහි දී තරග වැදුණි.

මෙම තරග සංචාරයේ කළමනාකරු වශයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ උප සභාපතිනි අයිරාංගනී රූපසිංහ මහත්මිය කටයුතු කළාය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment