තරුෂි සහ කාලිංග පදක්කම් දිනා පැමිණෙති

88

ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී එහිදී රිදී පදක්කමක් දිනා ගත් ධාවන ශූර තරුෂි කරුණාරත්න සහ ලෝකඩ පදක්කමක් දිනාගත් කාලිංග කුමාර ඊයේ (20 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ “බිල්බාවෝ” නුවර ඉකුත් 18 දින පවත්වා තිබුණි.

එහිදී මීටර් 600 ධාවන ඉසව්ව සඳහා සහභාගි වූ තරුෂි කරුණාරත්න විනාඩි 01.24.84 ක කාලයකින් මෙම තරගය නිම කර රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය.

මෙම කාලය මෙතෙක් ආසියාවේ මෙම තරග ඉසව්ව සඳහා වාර්තා වී ඇති හොඳම කාලය වන අතර මෙම ජයග්‍රහණයත් සමග තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්වල 45 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටී.

ඔලිම්පික් තරග සඳහා සහභාගිවීමට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 48 ස්ථානය දක්වා අවස්ථාව හිමි වන අතර තරුෂි කරුණාරත්න ඒ අනුව ඔලිම්පික් පරිසාදන මට්ටම පසු කර ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය.

එසේම මෙම තරගාවලියේ දී මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගි වූ කාලිංග කුමාර එම ඉසව්ව තත්පර 45.91 කින් නිමා කර එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම ජයග්‍රහණයත් සමග කාලිංග කුමාර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 53 වන ස්ථානය කරා ළඟා වී තිබේ.

මෙම ක්‍රීඩකයන් දෙපළ සහභාගි වන තරගාවලි දෙකක් එළඹෙන 25 දින සිට 27 දින දක්වා ජාතික ශූරතා තරගාවලිය දියගම ක්‍රීඩාංගණයේදීත්, තවත් විශේෂ තේරීමේ තරගාවලියක් එළඹෙන 30 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතය.

එම තරගාවලියන්වලදී ඔවුන් දක්වන දස්කම් මත තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්වල 39 වැනි ස්ථානයටත්, කාලිංග කුමාර ද නිසැකවම ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා යමින් ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට වරම් ලබා ගනු ඇතැයි ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර මහතා බලාපොරොත්තු පළ කළේය.

තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාර 20 දින උදෑසන 08.45 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment