තලවකැලෙන් අතුරුදන් වූ දරුවෝ සිව්දෙනා මීටියාගොඩ නවාතැන්පළකදී පොලිස් භාරයට

514

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස (14) දින සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පළක සිටියදී 04 වැනිදා දින පොලිස් භාරයට ගත් බව තලවකැලේ පොලිසියේ

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරා මහතා පැවසීය. මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු සකස් කරන කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇති බවත්, එම සිසු සිසුවියන් අවුරුදු 14 සහ 16 වයස් කාණ්ඩ පසුවන ළමුන් නිසා ඔවුන්ව කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් රැකියාවකට බඳවාගෙන නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය. අතුරුදහන්ව සිටි එම සිසුවියන් තිදෙනා සහ සිසුවාගේ එක් ඥාතියකු එම කුරුඳු කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිට තිබේ. ඒ අනුව මෙම සිව්දෙනා ගාල්ල, මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු කර්මාන්ත ශාලාවක රැකියාවට ගොස් ඇති බවට කරන මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය. රැකියාව නොලැබුණු නිසා එම සිසුන් පිරිස එම කර්මාන්ත ශාලාවට අයත් නේවාසිකාගාරයක මාසයකට ආසන්න කාලයක් රැඳී සිට ඇත. මොවුන් සිව්දෙනා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද තලවකැලේ පොලිසිය පැවසීය. මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා නිවසේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් රැකියාවක් සොයාගෙන නිවසින් පැන ගොස් ඇති බව එම වතුයායේ පදිංචිකරුවෝ පැවසූහ.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment