තල්දූවේ ද්විත්ව ඝාතනයට මන්නා රමේෂ්ගේ කල්ලියේ 4 ක් අල්ලයි – සැකකරුවන් අතර හිටපු මාධ්‍යවේදියකුත්

190

අවිස්සාවේල්ල තල්දූව ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නා රමේෂ් නමැති පාතල නායකයාගේ කල්ලියේ සාමාජිකයන් සිවුදෙනකු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පෙරේදා (24 දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල සේවය කළ මාධ්‍යවේදියකු ද සිටින බව පොලිසිය පවසයි. සැකකරුවන් සිවුදෙනාගෙන් තිදෙනකුම මත්කුඩු භාවිතයට තදින් ඇබ්බැහිවූවන් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මන්නා රමේෂ්ගේ සොහොයුරාට මීට මාස 06 කට පමණ පෙර තල්දූව නගර මධ්‍යයේදී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට එකට එක කිරීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම සහ පිටිපන ප්‍රදේශවල සැඟවී සිටියදීය.

තල්දූව ද්විත්ව ඝාතනයට පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනාට රැකවරණය දීම ඊට ආධාර අනුබල දීම සහ ඔත්තු ලබාදීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා දීර්ඝ කාලයක සිට මන්නා රමේෂ් සමීපව ඇසුරු කරන අතර ඔහුට මාසික වේතනයක් පවා ගෙවා ඇති බවට හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මාධ්‍යවේදියකු ලෙස උසස් පොලිස් නිලධාරීන්, නිලධාරිනියන් සමීපව ඇසුරු කර ඇති මෙම මාධ්‍යවේදියා විවිධ තොරතුරු ලබාගෙන ඒවා මන්නා රමේෂ්ට ලබාදී ඇති බව ද අනාවරණය වූ බව එම උසස් නිලධාරියා කීය. ඝාතනයට ලක්වූ තරුණයන්ගේ ගමන් බිමන් පිළිබඳ ඔත්තු ලබාදී ඇත්තේ ද මෙම මාධ්‍යවේදියා විසින් බව හෙළි වී ඇත.

ද්විත්ව ඝාතනය සිදුකිරීමෙන් පසු ඝාතකයන් ආරක්ෂා සහිත ස්ථාන කරා රැගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටියි.

මෙම ප්‍රහාරය මෙහෙයවූ මන්නා රමේෂ් මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර ඔහු රත්නපුර අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බව ද අනාවරණය වී ඇත.

තල්දූවේ ද්විත්ව ඝාතනය සිදුකළ පාතාල සාමාජිකයන් සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන පවත්වාගෙන යයි.

ත්‍රිරෝද රථයක නැගී තල්දූව ප්‍රදේශයේ අවමංගල්‍යයකට යමින් සිටි තරුණයන් සිවුදෙනකු පසුගියදා මන්නා රමේෂ්ගේ කල්ලියේ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්වූ අතර එහිදී තරුණයෝ දෙදෙනෙක් ඝාතනයට ලක්වූහ. තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටිති.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිරි කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment