තලේබානයට විරුද්ධව ආයෙත් කැරැල්ලක්… පන්ජ්ශීර් නිම්නයෙන් ඇරඹෙන තලේබාන් වීරෝධී සටන

575

තලේබාන් සංවිධානය නැවත වරක් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලාගෙන ඇති බව මතුපිටින් පෙනෙන්නට තිබේ. එසේ වුවත් මේ වන තෙක් ඔවුන්ට යටත් නොවූ පළාතක් එරට තුළ ඇත. උතුරු දෙසින් තජිකිස්තානයට හා චීනයට මායිම්ව පිහිටි පන්ජ්ශීර් නිම්නයට අයත් භූමි ප‍්‍රදේශය මෙම පළාතයි. මෙම පළාත තුළ වේගයෙන් වර්ධනය වෙමින් පවතින තලේබාන් විරෝධී බලවේගය පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යයන්හි දැඩි අවධානය යොමුව ඇත. තලේබාන් සෙබළුන්ගේ ග‍්‍රහණයට නතු වූ භූමි ප‍්‍රදේශ කිහිපයක් ඔවුන්ව මරා දමා නැවත අත්පත් කරගත් බව පන්ජ්ශීර්හි කැරළි කණ්ඩායමක් ප‍්‍රකාශ කර ඇත. කාබුල්හි ඉතිරිව ඇති ඇමෙරිකානු බලය ඉවත් කර ගැනීම මූලික අභිප‍්‍රාය වුවද අනෙක් පසින් පන්ජ්ශීර් නිම්නයෙන් එල්ල වීමට නියමිත විරෝධය නිශේධනය කර දැමීම කෙරෙහි ද තලේබාන් සංවිධානයේ අවධානය යොමු වී ඇති බව පෙනී යයි. ඒ අනුව ඔවුන් ද පන්ජ්ශීර් අවට කලාපයේ තම බලමුළු තර කරමින් සිටින බව වාර්තා වෙයි.

පන්ජ්ශීර් බලවේගයට නායකත්වය ලබා දෙන්නේ අහමඞ් මසූඞ් නම් තිස් දෙහැවිරිදි තරුණයෙකි. තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් ඇති නමුත් තමන් යුද්ධයකට සූදානම් බව ඔහු පවසා සිටියි. අහමඞ් මසූඞ් මේ වන විට පන්ජ්ශීර් නිම්නය තුළ සිය සටන් කණ්ඩායම් සංවිධානය කරමින් සිටින බව වාර්තා වෙයි. කාබුල් නගරය තලේබාන්වරුන්ට යටත් වීම පිළිබඳව ඔහු තම දැඩි විරෝධය ප‍්‍රකාශ කර ඇති අතර සටන පරාජය වූයේ ඇෆ්ගනිස්ථාන හමුදාවන්ගේ දුර්වලතා නිසා බව පෙන්වා දෙයි. පන්ජ්ශීර් හැර රටේ සෙසු සියලූ ප‍්‍රදේශ මෙම ත‍්‍රස්ත කල්ලියේ ග‍්‍රහණයට හසුවී ඇති බවත් පරාජය වූවන් තලේබාන් සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹී ඇති බවත් ඔහු කියා සිටියි. කවුරු කෙසේ යටත් වුව ද පන්ජ්ශීර් වැසියන් කිසිදිනෙකත් කිසිවෙකුට යටත් නොවන බව අහමඞ් මසූඞ් දැඩිව ප‍්‍රකාශ කරයි.

තලේබානයට විරුද්ධව ආයෙත් කැරැල්ලක්… පන්ජ්ශීර් නිම්නයෙන් ඇරඹෙන තලේබාන් වීරෝධී සටන

පන්ජ්ශීර් යනු ඇෆ්ගනිස්ථානයේ ඇති පළාත් තිස් හතරෙන් එකකි. එහි ජනගහණය 134,000 ක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරය අසල්වැසි තජිකිස්තාන සම්භවය සහිත ‘තජික්’ නම් ජන කොටසට අයත්ය. එසේම තලේබාන් විරෝධී සන්නද්ධ කණ්ඩායම්වලට මූල්‍ය අනුග‍්‍රහය දක්වන්නේ ද මෙම පළාතේ ධනවතුන්ය. වටිනා මැණික් වලින් ගහණ මේ සුන්දර කඳුකර නිම්නය මෑත ඉතිහාසය තුළ ඉස්ලාම් මූලධර්මවාදීන්ට එරෙහි විපක්ෂ කණ්ඩායම්වලට තෝතැන්නක් වී ඇත. ඊට තවත් හේතුවක් වන්නේ එහි ඇති අසාමාන්‍ය පිහිටීමයි. හින්දු කූෂ් කඳුවැටියෙන් වට වී ඇති පන්ජ්ශීර් නිම්නයට ඇතුළු වීමට ඇත්තේ පන්ජ්ශීර් ගංගාව හරහා වැටී ඇති පටු මාර්ගයක් පමණි. මෙම වැදගත් භූගෝලීය සාධක මෙකී පළාතේ ආරක්ෂාවට බොහෝ සෙයින් ඉවහල් වී ඇති අතර ඕනෑම මොහොතක මාර්ගය වසා දමා බාහිර ප‍්‍රවේශවීම් නවතා දැමීමේ හැකියාව පවතී. දැනටමත් එසේ වසා දමා ඇති බව ද වාර්තා වෙයි.

පන්ජ්ශීර් නිම්නයේ ජනතාව තලේබාන් අන්තවාදයට විරුද්ධව දීර්ඝකාලීන අරගලයක නිරත වී සිටිති. 1990 දශකයේ ඇති වූ සිවිල් යුද්ධයේදී හෝ ඉන් පසුව 1996 දී ස්ථාපිත කරන ලද තම පාලනයට මෙම පළාත නතු කර ගැනීමට තලේබාන් සන්නද්ධ කණ්ඩායම්වලට හැකි වූයේ නැත. ඉන් පෙර යුගයේදී සෝවියට් හමුදාවලට එරෙහිවත් ප‍්‍රබලම ප‍්‍රතිවිරෝධය එල්ල වූයේ පන්ජ්ශීර් නිම්නයෙනි.

තලේබාන් සංවිධානයට විරුද්ධ වර්තමාන පන්ජ්ශීර් බලවේගයේ නායකයා වන අහමඞ් මසූඞ් යනු විසිවන සියවසේ ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ගරිල්ලා නායකයකු වශයෙන් සැලකෙන අහමඞ් ෂා මසූඞ්ගේ වැඩිමහල් පුත‍්‍රයාය. පන්ජ්ශීර් නිම්නය යනු අහමඞ් ෂා මසූඞ්ගේ ජන්ම භූමියයි. 1979 සිට 1989 දක්වා පැවති සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදී කැපී පෙනෙන මුජහිදීන් නායකයෙකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මසූඞ් ‘පන්ජ්ශීර් සිංහයා’ යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වේ. පශ්චාත් සෝවියට්වාදී ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ඇමැතිවරයා බවට ද පත් වූ මොහු 1996 දී තලේබාන් පාලනය පිහිටුවීමෙන් පසුව විපක්ෂ හමුදා සන්ධානයේ නායකයා බවට පත්විය. උතුරු දිග සන්ධානය නම් තලේබාන් විරෝධී ඒකාබද්ධ පෙරමුණ නිර්මාණය කර පන්ජ්ශීර් නිම්නය ද ඇතුළත් වයඹ දිග ඇෆ්ගනිස්ථාන කලාපය එනම් ඇෆ්ගනිස්ථාන භූමියෙන් දහයෙන් එකක පමණ භූමි ප‍්‍රදේශයක් පාලනය කිරීමට අහමඞ් ෂා මසූඞ්ට හැකිවිය. 2001 සැප්තැම්බර් 09 දින එනම් ඇමෙරිකාවට එල්ල වූ අල්කයිඩා ප‍්‍රහාරයට දින දෙකකට පෙරාතුව අහමඞ් ෂා මසූඞ් අල්කයිඩා මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් ඝාතනය විය.

තලේබාන් විරෝධී ජනතාවගේ පුරාවෘත්තයක් බඳු අහමඞ් ෂා මසූඞ්, ඇමෙරිකානු මැදිහත්වීම මත පිහිටවූ හමීඞ් කර්සායි රජය විසින් ජාතික වීරයෙකු ලෙස නම් කරන ලදී. අහමඞ් ෂා මසූඞ්ගේ විශේෂත්වය වන්නේ ඔහු මුජහිදීන් හමුදා නායකයෙකු ලෙස සිටි අවධියේ පටන්ම ඇමෙරිකාව හා බටහිර රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි. ඔසාමා බින් ලාඩන් සොයා ඇෆ්ගනිස්ථානයට ඇතුළු වූ නේටෝ හමුදාවන් තලේබාන් පාලනය දින කිහිපයකින් පෙරළා දමන්නේ අහමඞ් ෂා මසූඞ්ගේ උතුරුදිග සන්ධානයේ සහයෝගය ඇතිවයි.

දශකයක් පමණ කාලයක් සෝවියට් හමුදාවට හා සෝවියට් හිතවාදී පාලනයට එරෙහිව සටන් කළ මුජහිදීන්වරුන්ට විකල්පයක් ලෙස ඇෆ්ගනිස්ථානය තුළ වේගයෙන් ඉස්මතු වීමට මූලධර්මවාදී තලේබාන් සංවිධානයට හැකිවිය. 1996 දී කාබුල් හි පාලනය අත්පත් කර ගනිමින් ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කළ තලේබාන් සංවිධානයේ පළමු රාජකාරිය වූයේ සෝවියට් හිතවාදී හිටපු ජනාධිපති මොහමඞ් නජිබුල්ලාගෙන් පළිගැනීමයි. ජනාධිපතිවරයාව පැහැර ගන්නා තලේබාන්වරුන් ඔහුව ඉතා අමානුෂික ආකාරයෙන් ප‍්‍රසිද්ධියේ මරා දැමීය.

තලේබාන් පාලනය යටතේ එරට කාන්තාවන්ට රැකියා කිරීම තහනම් වූ අතර ගැහැණු ළමයින්ට පාසල් යෑම ද තහනම් විය. කාන්තාවන් නිවසින් පිටට යනවානම් සම්පූර්ණයෙන් මුහුණු වසාගෙන තම පිරිමි ඥාතියකු සමඟ යා යුතු විය. එසේම, ප‍්‍රසිද්ධියේ ගල්ගසා මරා දැමීමේ හා අවයව කපා දැමීමේ දඬුවම් හඳුන්වා දුන් තලේබාන් පාලනය තම විරුද්ධවාදීන් සමූහ වශයෙන් ඝාතනය කළේය. තවද ඉස්ලාම් නොවන අනෙකුත් ආගමික සංකේත විනාශ කළේය. මේ අතරින් වඩාත්ම අවධානයට ලක් වූයේ ලෝක උරුමයක් වූ දැවැන්ත බාමියන් බුද්ධ ප‍්‍රතිමාවන්ට කරන ලද විනාශයයි. වසර දහස් ගණනකට එපිට ඉදිකරන ලද එකී පිළිමවලින් දෙවියන්ට අපහාසයක් සිදුවන බව ඔවුහු විශ්වාස කළහ. සමස්ත ලෝකයම විරුද්ධ වෙද්දී මානව ශිෂ්ටාචාරයේ මෙම අද්විතීය නිර්මාණ ඩයිනමයිට් දමා මුළුමනින්ම විනාශ කර දැමුණි. තලේබාන් පාලනයේ සංස්කෘතික ඇමැතිවරයා උජාරුවෙන් පැවසුවේ ඒවා ඉදිකරනවාට වඩා විනාශ කිරීම පහසු බවයි.

තලේබාන් සංවිධානය මෙවර කරළියට එන්නේ බැටළු සමක් පොරවා ගෙන වුවත් වෘකයාගේ මුහුණුවර දැන් ඉස්මතු වෙමින් පවතී. ඔවුන්ගේ පළමු පාලනය තිබූ යුගයට වඩා දැන් තාක්ෂණය බොහෝ සෙයින් ඉදිරියට ගොස් ඇත. පැරණි ම්ලේඡුත්වය නැවත ඉස්මතුවෙමින් පවතින බවට සාක්ෂි සමාජ මාධ්‍ය හා ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. විරුද්ධවාදීන්ගෙන් පළිනොගන්නා බවට මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශ කළත් තලේබාන් කණ්ඩායම්, රජයේ හමුදා සාමාජිකයන් සොයමින් නිවෙස් පීරන බව පෙනෙන්නට තිබේ. අදාළ පුද්ගලයා නිවසේ නොමැති නම් ඔහුගේ හෝ ඇයගේ සමීපතම ඥාතියා මරා දැමූ අවස්ථා පිළිබඳව තහවුරු නොකළ වාර්තා ලැබී ඇත. මේ හේතුවෙන් බොහෝ හිටපු හමුදා නිලධාරීන්ගේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ කඳුකර මාර්ග ඔස්සේ කෙසේ හෝ පන්ජ්ශීර් නිම්නයට ඇතුළුවී තම ආරක්ෂාව සලසා ගැනීමයි.

හිටපු ජනාධිපති අස්රෆ් ගානි රටින් පලා ගිය ද උප ජනාධිපති අම්රුල්ලා සලේ මේ වන විටත් රට හැර ගොස් නැත. ඔහු හිටපු ආරක්ෂක ඇමති බිස්මුල්ලා මොහමඞ් ද සමඟ පන්ජ්ශීර් නිම්නයට පැමිණ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. ජනාධිපති අෂ්රෆ් ගානිගේ ඉවත් වීමෙන් පසු උප ජනාධිපති සලේ විසින් තමා ඇෆ්ගනිස්ථානයේ භාරකාර ජනාධිපති බවට ප‍්‍රකාශයට පත්කර ගෙන ඇත්තේ ඔහුම නිකුත් කළ නිවේදනයකිනි.

”මම කොහොමවත්ම, කිසි මොහොතක තලේබාන් ත‍්‍රස්තවාදීන්ට හිස නමන්නේ නැහැ. මගේ වීරයා වන අහමඞ් ෂා මෂූඞ්ගේ ආත්මය සහ උරුමය මම කිසි විටෙකත් පාවා දෙන්නෙත් නැහැ. ඔහු මගේ අණ දෙන නිලධාරියා, මඟ පෙන්වන්නා, ඔහු මට පුරාවෘත්තයක් වගේ” සලේ මහතා එසේ පවසමින් twitter පණිවිඩයකින් නිකුත් කර ඇත.

හිටපු උප ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ඇමතිවරයා හා කණිෂ්ඨ අහමඞ් මසූඞ් යන තුන්කට්ටුවේ සන්ධානයට ඇෆ්ගනිස්ථාන රජයේ හිටපු හමුදා ප‍්‍රධානීන් මෙන්ම තලේබාන් විරෝධී අනෙකුත් මධ්‍යස්ථ විපක්ෂ කණ්ඩායම් ද එක්වීමට නියමිත බව වාර්තාවෙයි. එසේම අසල්වැසි තජිකිස්තානයේ සිට පන්ජ්ශීර් නිම්නයට ගොඩබසින හෙලිකොප්ටර් යානා වල දසුන් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි. තජික් සම්භවයක් සහිත පන්ජ්ශීර් සටන්කාමීන්ට තජිකිස්තානයේ යුද ආධාර ලැබෙන බව බොහෝ විශ්ලේෂකයන් විස්වාසය පළ කරයි. නමුත් තජිකිස්තානයට වඩා ප‍්‍රබලයකු පන්ජ්ශීර් සටන්කාමීන්ගේ ආධාරයට පැමිණීම බොහෝ දුරට නුදුරේදීම සිදුවිය හැකි බව පෙනෙන්නට තිබේ. ඒ සියල්ල සිදුවන්නේ තලේබාන් සංවිධානය, එක්සත් ජනපදය සමඟ මෙතෙක් ඇති කරගත් එකඟතාවන්ට අනුගතව සිටින කාලය අනුවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසි වසරක ඇෆ්ගනිස්ථාන යුද්ධයට වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 2.2 ක් පමණ වේ. ඊට අමතරව 7500කට වැඩි ඇමෙරිකානු පුරවැසියන් පිරිසකගේ ජීවිත අහිමි වී ඇත. ඇෆ්ගනිස්ථානු හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් ලක්ෂ ගණනක් ඝාතනය වී ඇත. ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාගේ තීරණක් වුවත් එය පිටුපස ඇත්තේ මීළඟ දශකය සඳහා වන ඔවුන්ගේ භූ දේශපාලනික උපාය මාර්ග බවට සැකයක් නැත. ඇමෙරිකා එක්සත් ජනපදය, ඇෆ්ගනිස්ථානය අතහරින්නේ උතුරේ පන්ජ්ශීර් විකල්පය තවදුරටත් ඉතිරි කර ගනිමිනි. පාබල සේනාංක වලට ලෙහෙසියෙන් ඇතුළු වීමට නොහැකි පන්ජ්ශීර් නිම්නය යුදමය වශයෙන් එක්සත් ජනපදයට අතිශයින්ම වැදගත්ය. සෝවියට් යුගයේදී මුජහිදීන් සංවිධානයට ලබා දුන් යුද ආධාර මෙන් නොවුනත් පන්ජ්ශීර් නිම්නයේ තමන්ට හිතවත් රාජ්‍යයක් පවත්වා ගැනීමට හැකි සියල්ල ඔවුන් විසින් සිදුකරනු ඇත. පන්ජ්ශීර් ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් බටහිර කඳවුර පෙනී සිටිනු ඇත. බොහෝ විට පන්ජ්ශීර් පළාත වෙනම රාජ්‍යයක ස්වභාවයෙන් ක‍්‍රියාත්මක වනු ඇත.

ඇෆ්ගනිස්ථානය අස්ථාවර රාජ්‍යයක් ලෙස තවදුරටත් පැවතීම එරට අසල්වැසි ප‍්‍රබල රටවල්වලට හිසරදයක් වනු නොඅනුමානය. ඇෆ්ගනිස්ථානයට මායිම් වන රටවල් අතර ඉදිරියේදී ඇමෙරිකා එක්සත් ජනපදයට අභියෝගයක් විය හැකි රටවල් කිහිපයක්ම ඇත. චීනය, ඉරානය හා පාකිස්තානය මේ අතරින් ප‍්‍රමුඛය. ප‍්‍රබල සතුරන්ගේ එළිපත්තේ මහා භූමි ප‍්‍රදේශයක් නඩත්තු කරනවාට වඩා තායිවානය මෙන් කුඩා එහෙත් උපාය මාර්ගික ජනපදයක් පවත්වා ගැනීම බොහෝ විට ඇමෙරිකානු භූ දේශපාලන න්‍යායපත‍්‍රය අනුව වඩාත් හිතකර විය හැකිය.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment