තලේබාන් නැගිටීමෙන් නව පණක් ලද පාකිස්ථාන ආගමික අන්තවාදී වියරුව

397

අපරාධ සාධාරනීකරණ්‍ය කරන්න ආගම යොදාගනී

පාකිස්ථානයේ තලේබාන් නැවත හිස ඔසවයි

මලික් අද්නන් පොලිසියට වඩා නිර්භීතයි

සාගලපුරය බෞද්ධ සාහිත්‍යයෙහි සුප‍්‍රසිද්ධ ය. පුරාතනයෙහි දඹදිව ධනවත් පවුල්වල තරුණයන්ට රූපසම්පන්න භාර්යාවන් සැපයුවේ මදුරට සාගලපුරයෙන් බව කුසජාතක, මහාකස්සපචරිත ආදියෙන් ඔප්පු වෙයි. සාගලපුරය හා කාශ්මීර දේශයත් අතර දුර ප‍්‍රමාණය දොළොස් යොදුනකැ යි මිලින්ද ප‍්‍රශ්නයෙහි දැක්වේ. පාකිස්තානයේ පංජාබ් ප‍්‍රාන්තයේ සියල්කොට් නගරය පුරාණ සාගල නගරය ලෙස සැලකේ. සියල් යන්න සාගල යන්නෙන් ආවකි. මේ කොට්යන්න හා සිංහල කොටුව යන්න ද සමාන ප‍්‍රභව ඇති එකාර්ථවත් ශබ්ද ය. බිම්බිසාර මහ රජුගේ මෙහෙසිය වූ විශිෂ්ට රූපශ‍්‍රීන් හෙබි බෙමා මදුරට සාගල නුවර රජ කුලයෙහි උපන් කතකි. මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නඟන ලද උභතෝකොටික වූ ප‍්‍රශ්නයන්ට නාගසේන නම් රහත්තෙරකෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානුකූල පිළිතුරු සංග‍්‍රහ කොට මිලින්ද ප‍්‍රශ්නය නම් පාලි ග‍්‍රන්ථය සකසන ලදී. නාගසේන රහත් තෙරුන් වහන්සේ අමතා රෝහණ තෙරුන් වහන්සේ මෙසේ වදාළහ. ”ආයුෂ්මතුනි, සාගල නම් නුවර මිළිඳු නම් යෝනක රජතුමා තර්කවාදීව, සියුම් ප‍්‍රශ්න අසමින් භික්ෂූන් වහන්සේ පීඩාවට පත් කරයි. ඔබවහන්සේ ගොස් ඒ රජතුමාගේ වාද ප‍්‍රතිවාදයන් සිඳ දමා එතුමා බුදු සසුනෙහි අචල පැහැදීමට පත්කරවනු මැනව” යි පැවසූ සේක. මිලිඳුරජතුමා ග‍්‍රීක්ජාතිකයෙකු විය. කෙසේ නමුත් මේ අවස්ථාවේ සාගල පුරය මෙනෙහි කරන්නේ මිලින්ද ප‍්‍රශ්නය නිසා නොව සිංහලයකු ඉතාම සාහසික අන්දමින් කපා කොටා පහරදී අවසානයේ මහමග ගිනිතබා මරා දැමුණු නිසාවෙනි. මුස්ලිම් අන්තවාදයෙන් උමතු වූවන්ගේ ම්ලේච්ඡභාවය වඩා හොඳින් මේ හරහා ප‍්‍රකට විය. මියගිය ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ සියල්කෝට්හි වසිරාබාද් පාරේ පිහිටි රාජ්කෝ ඉන්ඩස්ටී‍්‍රස් නම් පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය. මේ ඝාතනය සිදුවූයේ පසුගිය සිකුරාදා පෙරවරුවේය. මේ සිද්ධියෙන් ලාංකිකයෙකුට දිවි අහිමිවුවත් ඊට වඩා බරපතළ හානියක් සිදුවූයේ පාකිස්තාන රාජ්‍යයටය. එය ඉතා බරපතළය. පාකිස්තාන් ආණ්ඩුව මියගිය ප‍්‍රියන්ත කුමාර වෙනුවෙන් ගෙවනු ඇත. නමුත් මේ කළු පැල්ලම වෙනුවෙන් පාකිස්තානයට ලෝකය හමුවේ කවර වන්දියක් ගෙවන්නට වේදැයි අප දන්නේ නැත. පාකිස්තානය කවදත් අපට හිතවත් අත්‍යන්ත මිතුරෙකි. මෙය හුදකලා සිද්ධියක් නමුත් ඉස්ලාමාබාද් ආණ්ඩුව කැළඹීමට මේ සිද්ධියට හැකිවිය. ප‍්‍රියන්තගේ මරණය ආරංචි වූ සැණින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ‘‘සියල්කෝට්හි කර්මාන්තශාලාවක දී නීතිය සියතට ගත් කණ්ඩායමක් එල්ල කළ ගොරතර ප‍්‍රහාරය සහ ශ‍්‍රී ලාංකික කළමනාකරුවෙකු පණපිටින් පුළුස්සා දැමීම පාකිස්තානයට ලැජ්ජාසහගත දිනයක්” බව යි. පාකිස්තාන හමුදා ප‍්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඞ් බජ්වා ද මෙම සිදුවීම දැඩි ලෙස දකිමින් එය ”?ලැජ්ජාසහගත සිදුවීමක්”? ලෙස හඳුන්වා තිබූ අතර අධිකරණ ක‍්‍රියාමාර්ගවලින් බැහැර මෙවැනි ක‍්‍රියා කිසිසේත්ම පිළිගත නොහැකි බවත් නිවේදනය කර තිබිණි.

සාගල නුවරදී ප‍්‍රියන්තගේ පැත්ත ගත්තේ එක් අයෙක් පමණි. ඔහු සැබෑ මිතුරෙකි. සමාන සුඛ දුක්ඛ මිත‍්‍රයාට ආවේණික ලක්ෂණ වන්නේ තම රහස් නොසඟවා මිතුරාට කීම, මිතුරා කියන ලද රහස් ඒ අයුරින්ම ආරක්ෂා කිරීම, විපතක් දුකක් පැමිණි කල කිසිවිටෙකත් අත් නොහරින ඔහු අදාළ අවස්ථාවේදී ජීවිත පරිත්‍යාගයෙන් ක‍්‍රියා කිරීමය. පාකිස්තාන වැසි මලික් අද්නන් ද එවැනි අයෙකි. මෙම කම්හලේ නිෂ්පාදන කළමනාකරු වන මලික් අද්නන් සැබවින්ම ලොවටම ආදර්ශයක් දුන් අයෙකි. ඔහු කළහකාරී පිරිසෙන් ප‍්‍රියන්ත කුමාර බේරාගැනීමට මහත් උත්සාහයක් ගත්තේය. ඔහු දෑත් එකතු කරමින් කළහකාරීන්ට ආයාචනා කරන අයුරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පැතිරුණු ඇතැම් වීඩියෝවල දැක්වෙයි. මනුෂ්‍යත්වය වෙනුවෙන් තම සගයා බේරාගැනීමට තමාට අවශ්‍ය වූ බවත්, මිනිසුන් 40ක් 50ක් ඔහු ඝාතනයට පැමිණි විට ශ‍්‍රී ලාංකික පුරවැසියා මුවාකරමින් ඔහු ඉදිරියේ සිටගත්තේ ඒ නිසා බවත් ඔහු පාකිස්තාන මාධ්‍ය සේවාවන් සමග පවසා තිබිණි. මලික් අද්නාන් මෙම කර්මාන්තශාලාවේ සේවය කරන්නේ 2005 වසරේ සිට ය. ඔහු 2014 වසරේ සිට ප‍්‍රියන්ත හඳුනන බව කියයි. ‘‘ප‍්‍රියන්ත රාජකාරිය අතින් අවංක යි… දැඩියි,” සද්දෙ ඇහිලා මම එතනට යනකොට හතළිහක් පනහක් ඒ පැත්තට එනවා. මම ප‍්‍රියන්තව බේරගන්න උඩ තට්ටුවට දිව්වා. මම එන්න කලින් ප‍්‍රියන්තගේ ඔළුවට සහ මුහුණට තුවාල කරලා තිබුණා. මම එතනට ගිහින් ප‍්‍රියන්තගේ ඇඟ උඩින් වැතිරුණා. මමත් ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වුණා. මටත් තුවාල වුණා මේ සේවකයන්ගේ හැසිරීම සමාගමත්, ජනතාවත් විනාශ කරනවා පමණක් නොවේ, පාකිස්තානයේ ප‍්‍රතිරූපයට ද කැළලක් වන බව ද ඔවුන්ට ඒත්තු ගන්වන්නට මම උත්සාහ කළා, නමුත් ඔවුන් ඒවා ඇහුවේ නෑ. උණුසුම් තත්ත්වය ඇතිවෙන්න කලිනුත් මම සේවකයන් එක්ක කතා කරලා මේක සමනය කරන්න කළා. මම මුලින්ම ඔවුන්ට ආයේ ප‍්‍රියන්තට කර්මාන්තශාලාවට එන්න නොදී ඉඳිමු, අපි ඔහුට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාමු යනුවෙන් කිව්වා, නමුත් අවුල විසඳන්න පුළුවන් වුණේ නැහැ.

තලේබාන් නැගිටීමෙන් නව පණක් ලද පාකිස්ථාන ආගමික අන්තවාදී වියරුව

මලික් අද්නන්ගේ ධෛර්යය සහ වීරත්වය වෙනුවෙන් ඔහුට උපහාර පිදීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කර තිබිණි. තාම්ගා-ඉ-ෂුජාත් පදක්කම පිරිනැමුණේ මේ නිසාය. මේ අවස්ථාවට ඉස්ලාමාබාද් නුවර ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම මහතාද සහභාගි වීය. ‘තාම්ගා-ඉ-ෂුජාත්‘ යනු අනතුරක් ඉදිරියේ නිර්භීතව කටයුතු කිරීමත්, නිර්භීතව ජීවිත බේරාගැනීමත් වෙනුවෙන් පාකිස්තානයේ සිවිල් වැසියන්ට පිරිනැමෙන වීරත්වයේ පදක්කම යි. මාධ්‍යවේදී රවුෆ් ක්ලස්රා පවසන පරිදි එරට සැබෑ වීරයා වන්නේ මලික් අද්නන් ය. ‘‘ඔහු මුළු රාජ්‍යයට, ඉහළ නායකයන්ට සහ ආරක්ෂක නිලධාරීන්ට වඩා නිර්භීත යි,” ක්ලස්රා පවසයි. රංගන ශිල්පිනී මන්ෂා පාෂා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වන්නේ ‘‘මලික් අද්නාන් රටේ යහපත්ම පිරිස මූර්තිමත් කරනවා. ඔහු සිය ජීවිතය පරදුවට තබා තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළ අයෙක්. අල්ලාහ් ඔහු සැමවිටම ආරක්ෂා කරත්වා. ඔහු නිර්භීතකමේ සහ දයාවේ සැබෑ ප‍්‍රතිමූර්තිය යි,” යනුවෙනි. මේ සියල්ල අතර එරට ආරක්ෂක ඇමැති පර්වේස් ඛට්ටක් මේ අමානුෂික ක‍්‍රියාව සාධාරණය කරන අයුරින් අදහස් දක්වා තිබීම ගැන පාකිස්තාන මාධ්‍ය කෝපයට පත්ව තිබේ. සියල්කොට්හි දී ශ‍්‍රී ලාංකිකයෙකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව කෝපයෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් ගිලී සිටින මොහොතක, ෆෙඩරල් අමාත්‍ය පර්වේස් ඛට්ටක් ප‍්‍රකාශ කර ඇත්තේ මිනීමැරුම සඳහා දුක්ඛිත සාධාරණීකරණයක් ලෙස පමණක් අර්ථ දැක්විය හැකි වචන ය. පාකිස්තාන ඩොන් පුවත්පත අඟහරුවදා දින සිය කතුවැකිය මගින් මේ ප‍්‍රකාශය දැඩි ලෙස හෙලාදැක තිබිණි. එහි මෙසේ සඳහන්ව තබිණි. ‘‘සියල්කොට්හි දී ශ‍්‍රී ලාංකිකයෙකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව කෝපයෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පෙලී සිටින මොහොතක, ෆෙඩරල් අමාත්‍ය පර්වේස් ඛට්ටක් ප‍්‍රකාශ කර ඇත්තේ මිනීමැරුම සඳහා දුක්ඛිත සාධාරණීකරණයක් ලබා දෙන වචන පමණකි. මාධ්‍යවේදීන් අමතමින් ආරක්ෂක අමාත්‍යවරයා දරුණු අපරාධය පිළිබඳව අදහස් දක්වන ලෙස විමසූ විට, මෙම ඝාතනය හුදෙක් තරුණයන් ආවේගයෙන් හා කෝපයෙන් සිටීමේ ප‍්‍රතිඵලයක් බව පැවසීය. මෙවන් බිහිසුණු අපරාධයක් සිදුවිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් රජය වගකිව යුතුය යන අදහස ගැන කෝපයට පත් ඔහු නූගත් ලෙස පමණක් විස්තර කළ හැකි වචන වලින් මේ අපරාධය හෑල්ලූ කළේය. ඛට්ටක් මහතාගේ ප‍්‍රකාශ ඉතා ගැටලූ සහගතය. අපරාධ සාධාරණීකරණය කිරීමට ආගම යොදා ගත හැකි රටක මෙවැනි ඝාතන කෙසේ හෝ ‘සාමාන්‍ය’ සිද්ධියක් බවට හරවා තිබේ.”. කෙසේනමුත් පර්වේස් ඛට්ටක් දින දෙකකට පසුව මේ ප‍්‍රකාශය ආපසු හරවාගෙන තිබුණු අතර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රියන්ත කුමාරගේ මරණය ම්ලේච්ඡ බව ප‍්‍රකාශ තිබිණි. නැත්නම් 71 හැවිරිදි ආරක්ෂක නිසා ඉස්ලාමාබාද් ආණ්ඩුව තවත් අපහසුවට පත්වනු ඇත.

ඇත්තෙන්ම ආගමික පෝස්ටරයක් ප‍්‍රියන්ත විසින් ඉවත් කළාද යන්න බරපතළ ප‍්‍රශ්නයකි. වසර දහයක් තිස්සේ පාකිස්තානයේ වෙසෙන ප‍්‍රියන්ත ඒ රටේ හැසිරීම් නොදන්න අයුරින් කටයුතු කරයිද? ප‍්‍රියන්ත සිකුරාදා පෙරවරුවේ සමාගමේ සේවකයන් තමන්ට පහරදීමට එන බව දැන එහි වහලයේ සැඟවීමට උත්සාහ දරා ඇත. නමුත් සාහසිකයන් සූර්යකෝෂ පැනල අතුරා ඇති වහලයට පැමිණ මොහුට අමානුෂික අන්දමින් පහරදී තිබේ. මලික් පමණක් ඔහු බේරා ගැනීම සඳහා උත්සාහ දැරුවේය. මේ ඝාතනය ගැන චෝදනා එල්ලවන්නේ ජමයිත් උලෙමා ඉ ඉස්ලාම් සංවිධානටය. කෙසේ නමුත් ජමයිත් උලෙමා ඉ ඉස්ලාම් හි ප‍්‍රධානියා වන මවුලානා ෆස්ලූර් රෙහ්මාන්, ”ලැජ්ජා සහගත” සිද්ධිය හෙළා දකින අතරම, ගැඹුරු පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර ඔහු පවසන්නේ රජය සැක කරන අයට එරෙහිව ක‍්‍රියා නොකළහොත් එවැනි ප‍්‍රහාර නැවතත් සිදුවනු ඇති බවයි. මේ අනුව මේ අන්තවාදියා වක‍්‍රාකාරව එම ප‍්‍රහාරය සාධාරණය කරයි. අසල්වැසි ඇෆ්ගනිස්තානයේ තලේබාන් බලය අල්ලා ගැනීමත් සමග මුස්ලිම් අන්තවාදී බලවේග වේගයෙන් සක‍්‍රිය වී ඇත. ඇත්තෙන්ම තලේබාන් බලය අල්ලා ගැනීම පිටුපස සිටින ප‍්‍රධාන බලවේගය එරට සිවිල් ආණ්ඩුවට වඩා බලවත් පාකිස්තාන හමුදාවයි. ප‍්‍රියන්තගේ මරණය සිදුවූ දිනයේ එක් පාකිස්තාන ජාතිකයකු තබා තිබූ ට්විටර් පණිවුඩයක් මගේ විශේෂ අවධානයට යොමුවිය. එහි හිටපු හමුදා පාලක ෆර්වේස් මුෂාරෆ්ගේ පින්තූරයද දමා සටහන් කර තිබුණේ ‘‘මුල්ලවරුන් හොඳින්ම පාලනය කළ පුද්ගලයා” ලෙසය. නමුත් වර්තමාන පාලනයට මේ මුල්ලවරුන් නිසා අපහසුවට පත්ව ඇති බව පෙනේ.

ප‍්‍රියන්ත කුමාර සිහිකිරීම වෙනුවෙන් පාකිස්තාන අගමැති කාර්යාලයේ විශේෂ සැමරුම් උත්සවයේදී ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළේ ආගමේ නාමයෙන් කිසිවෙකුට තවත් අයෙකු ඝාතනය කිරීමට ඉඩ නොතබන බවය. ‘‘මම මෙය පැහැදිලිව කියන්නම්: මින් ඉදිරියට ආගමේ නාමයෙන්, විශේෂයෙන් මොහොමඞ් නබි තුමාණන්ගේ නාමයෙන් ප‍්‍රචණ්ඩත්වය පතුරවන අයට කිසිම සමාවක් නම් නැහැ ශාරීරික බලයට වඩා සදාචාරාත්මක බලය උතුම් මලික් අද්නාන් ප‍්‍රියන්ත කුමාර බේරාගැනීම සඳහා තිරිසනුන්ට එරෙහිව නැගී සිටි ආකාරය අපේ තරුණ තරුණියන්ට මතක තබා ගන්න බව මට විශ්වාසයි. සියල්කොට් සිද්ධියෙන් පසු මුළු ජාතියම තීරණය කර ඇත්තේ නැවත එවැනි දෙයක් සිදු වීමට ඉඩ නොතබන ලෙසටයි.

පාකිස්තාන ලේඛකයකු වන සහිඞ් හුසේන් මේ සියල්කොට් භීෂණය ගැන මෙලෙස සඳහන් කර තිබිණි. ‘‘පසුගිය සතියේ සියල්කොට්හි සිදුවූ දෙයින් පෙන්නුම් කරන්නේ ආගමේ නාමයෙන් ප‍්‍රචණ්ඩත්වය අනුමත කරන සමාජයක රැඩිකල්කරණයයි. රැස්ව සිටි සමූහයා අපරාධයේ බිහිසුණු ස්වභාවයෙන් ආරක්ෂා වූ බවක් පෙනෙන්නට තිබුණි. ප‍්‍රහාරකයන්ගේ කෝපය බිය උපදවන සුළු විය. ඔවුන්ගෙන් සමහරෙකුට දඬුවම් ලැබිය හැකි නමුත්, සියල්කොට් වැනි ඛේදවාචක ඇති කිරීමට හේතු වන්නේ ආගමික ආනුභාවයෙන් නැගී එන ප‍්‍රචණ්ඩ අන්තවාදයයි.” පාකිස්තානය වසා පැතිර ඇති වහාබ් අන්තවාදය මේ සියල්ලටම හේතුව බව සටහන් කළ යුතුය. එය පිළිකාවක් මේ පාකිස්තාන ශරීරය පුරාම පැතිර තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment