තවත් මන්නාරම් මිනී වළක් ?

293

ජල සම්පාදන මණ්ඩල මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සේවකයන් පිරිසක් විසින් පසුගිය ජුනි 29 වැනිදා මුලතිව් කොක්කුතුඩාවායි ප්‍රදේශයේ ජල නළ එළීමකට කාණුවක් සකස් කිරීමේදී පළමු වරට අදාළ ස්ථානයේ දී මිනිස් අස්ථි කොටස් හමුවී තිබුණි. මේ හරහා කොටි හිතවාදී මන්ත්‍රීවරු කලබලයක් ඇති කළ අතර ඒ නිසාම පරීක්ෂණ ආරම්භ විය. අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වෙත දැනුම්දීමෙන් අනතුරුව කෝකිලායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර තිබිණි. ඒ අනුව මුලතිව් කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු සිදුකිරීම මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජාගේ අධීක්ෂණය යටතේ පසුගිය ජුලි 06 වැනිදා ආරම්භ කෙරිණ. මේ සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, මුලතිව් දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක් ද එක්ව සිටියහ. උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් කණ්ඩායම මේ සඳහා එක්ව සිටියේ කිසියම් පූර්ව නිගමනයක් ඇතිව බව පැහැදිලිය, එනම් මේ සමූහ මිනීවළේ වගකීම කෙලින්ම ආරක්ෂක අංශවලට පැවරීම වෙනුවෙනි. හුළඟක් හැමුවද එහි වරද හමුදාවට පැවරීමට මේ කණ්ඩායම නිරන්තරව සැදී පැහැදී සිටිති.

වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ. රාජ්කුමාර් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් බීබීසීයට පවසා තිබූ කරුණු අනුවම ඉහතින් සඳහන් කරනු ලැබූ පූර්ව නිගමනය තව දුරටත් පැහැදිලි වේ. බීබීසීය බලා සිටින්නේද තව තවත් මිනී වළවල් මතුකිරීම සඳහාය. කේ. රාජ්කුමාර් මෙසේ කියයි. “කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය සමූහ මිනී වළක් වෙන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ. මන්නාරමේත් මේ වගේ සමූහ මිනී වළවල් කීපයක් තිබ්බා. ඒත් ඒ සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලැබුණේ නෑ. කාබන් පරීක්ෂාව කළා කියලා රජය කිව්වා. ඒ අස්ථි කොටස් අවුරුදු 500 ක් විතර පරණ මිනිස් අස්ථි කොටස් කියලා කිව්වා. ඒ ගැන අපිට විශ්වාස නෑ. මේ සමූහ මිනී වළ හා මන්නාරමේ හමුවූ අස්ථි කොටස් ඩී. එන්. ඒ. පරීක්ෂාවන්ට යොමු කරන්න ඕනේ. ඒ හරහා ස්ථිර පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. මේ සමූහ මිනී වළවල් ගැන ජාත්‍යන්තර විශේෂඥයන් මැදිහත් කරගෙන පරීක්ෂණ පවත්වන්න ඕනේ. ඒ තුළින් සාධාරණ පිළිගැනීමක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් බහුතරයක් දෙනා තවමත් අතුරුදන්. ඒ අය ගැන ස්ථිර පිළිතුරක් රජයෙන් ලැබෙන්නේ නෑ. අතුරුදන් අය නැවත එයි කියලා අතුරුදන් වූවන්ගේ දෙමාපියන්, ඥාතීන් බලාගෙන ඉන්නවා.”

2019 වසරේදී මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් කලහයක් ඇති කළ නිරන්තරව උතුරේ බෞද්ධ උරුමයන් සුරක්ෂිත කිරීමට එරෙහි වන කොටි හිතවාදී උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන් නැමැත්තා යළි කරලියට පැමිණ ඇත්තේ මේ මිනී වළ හරහා හමුදාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම සඳහාය. “මුලතිව් ජනතාව හිතන්නේ කොක්කුතුඩුවාය අස්ථි කොටස් හමුවූ ස්ථානයේ සමූහ මිනී වළක් තියෙන්න පුළුවන් කියලා. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන්ගේ සමූහ මිනී වළක් මෙතෙන තියෙන්න පුළුවන් කියලා අතුරුදන් වූවන්ගේ ඥාතීන්ද සැක කරනවා. අද දවසේ කැනීම් ස්ථානයේ මමත් හිටියා. මිනිස් අස්ථි කොටස් 10 කට වැඩි ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් වුණා. තවත් තියෙයි කියලා හිතනවා. පොලිතීන් කෑලි වගේ දේවලුත් දැක ගන්න තියෙනවා. යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරවූ විශාල පිරිසක් අතුරුදන්වීම ගැටලුවක්. ඒ අය ගැන සොයා බලන්න රජය කටයුතු කරන්නේ නෑ. ඒ ගැන හොයන්න ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනේ” හිටපු මන්ත්‍රී රවිහරන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටින්නේ යහපත් අරමුණකින් නම් නොවේ. මුලතිව් කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය ගැන පරීක්ෂණ ඇරඹීමත් සමග යළිත් මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ හමුවූ සමූහ මිනී වළ සම්බන්ධයෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන් ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. මෙය වසර 500කට එහා සිද්ධියක් වුවද ඔවුන් ඒ ගැන පිළිගැනීමට සූදානම් නැත. මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් 2018 වසරේ දී මිනිස් අස්ථි කොටස් හමුවූ අතර, සමූහ මිනී වළ තුළින් මිනිස් සිරුරු 376 කට අදාළ අස්ථි කොටස් එහිදී ගොඩගැනිණි. සමූහ මිනී වළ තුළින් සොයා ගත් අස්ථි අතරින් ලබා ගත් සාම්පල හයක් 2019 ජනවාරි 23 වෙනිදා ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාරය වෙත යැවූ අතර, අදාළ පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල 2019 මාර්තු 07 වෙනිදා මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ලැබිණ. ඉන් අනතුරුව අදාළ ලියැවිල්ල මහජන ලියැවිල්ලක් වශයෙන් 2019 මාර්තු 08 වෙනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය. අදාළ සාම්පල හය සම්බන්ධ වාර්තාව ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා බීටා ඇනලිස්ටි ආයතනයෙන් නිල වශයෙන් ද අධිකරණයට යොමු කර තිබිණ. දත්ත වාර්තා අධ්‍යයනයේදී අදාළ සාම්පල ක්‍රිස්තු වර්ෂ 1404 ත් 1635 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවත්, ඒ තුළින් කාල සීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයෝ පවසා තිබිණි. එහෙත් මේ සියල්ල පිළිගැනීමට අතුරුදන් වූවන්ගේ ඥාතීන් සූදානම් නැත. ඇත්තෙන්ම හිතේ අමාරු සුව කිරීමට කාබන් වාර්තාවකට නොහැකිය. නිරන්තරව මිනී වළ මත හැපීම ඔවුන්ගේ අරමුණයි. එහෙත් එයින් යහපත වන්නේ කාටද? උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ වන විට සමූහ මිනී වළවල් 14ක් සොයාගෙන ඇති බව කොටි හිතවාදී ටමිල්ගාර්ඩියන් අඩවිය පුවත්පල කර තිබුණේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමටය. එසේම ඒබ්‍රහම් සුමන්තිරන් මන්ත්‍රීවරයා මුලතිව් කැනීම් ක්‍රමවේදයකට සිදු නොවන බව පවසන්නේද අන්තර්ජාතික මැදිහත්වීමක් බලාපොරොත්තුවෙනි. උතුරේ බෞද්ධ විහාර හදන්නේ මිනී වළවල් වහන්නයි’ බව මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍ර පවසා තිබුණේ පසුගිය 07 වැනිදාය. විහාර ඉදිව ඇත්තේ වසර දෙදහසකට වඩා ඉතිහාසයක් ඇති බෞද්ධ නටබුන් ඇති ස්ථානවල බව පිළිගන්නට මේ කතෝලික කාන්තාව අකමැතිය. එහෙත් ඊනියා ඊළාම් ඉතිහාසයෙන් උතුරේ බෞද්ධ උරුමය මකා දැමිය නොහැකිය.

කවරක් නමුත් යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ දමා ඇත්තේ කොටි වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් බවට තොරතුරු අනාවරණය වන අතර දෙමළ දේශපාලනඥයන් මෙම සමූහ මිනී වළේ වළ දමා ඇත්තේ යුද හමුදාවෙන් ඝාතනය කරන ලද කොටි සෙබළියන්ගේ මළ සිරුරු බව ජාත්‍යන්තරයට පෙන්වීමට විශාල උත්සහයක් දරමින් සිටින බව පෙනී යයි. මේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදාව පමණක් නොව කිසිදු ආරක්ෂක අංශ කණ්ඩායමක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ නොසිටි නිසා දෙමළ දේශපාලන පක්ෂ විසින් ගොඩනැඟීමට යන තර්කය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වනු ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment