තවත් මීතොටමුල්ලකට පාර කපන්නට ඔක්කොම කුණු ටික කරදියානට

85

* කොහොමත් කරදියාන  කසළ අංගනයට අවසර  දෙන්න බෑ – පරිසර අධිකාරිය කියයි

 * මිරිදිය මත්ස්‍ය කර්මාන්තයත් විනාශයි…

 * දන්නෙවත් නැති  කෘමි සතුන් බෝවෙලා…

තවත් මීතොටමුල්ලකට පාර කපන්නට ඔක්කොම කුණු ටික කරදියානට

”කරදියාන කියන්නේ ලස්සනට තිබ්බ ගම්මානයක්. මේක කුණු දාන්න වෙන්වුණු ගමක් නෙමෙයි. හැම මනුස්සයෙක්ම හිතන් ඉන්නෙ කරදියාන කියන්නේ කුණු දාන්න වෙන්කරපු ගම්මානයක් කියලා. කාලෙකට අපිට කුණු කුණාටු පිටින් එනවා. මේ අහස පිරෙන්නම පොලිතීන් කෑලි කඩදාසි කෑලි පිරෙනවා. අපි හැමෝම මේ අපිරිසිදු කුණු ගොඩක් එක්ක තමයි ජීවිතය  ගෙවන්නේ.”

 මේ කරදියාන කසළ කන්ද නිසා පීඩාවට පත් මිනිසුන්ගේ හඬයි.

 * රට වටේම කුණු කරදියානට

තවත් මීතොටමුල්ලකට පාර කපන්නට ඔක්කොම කුණු ටික කරදියානට

එක් පුද්ගලයකු තමන්ගේ පුද්ගලික කුඹුරුයායක් ගොඩකර ගැනීමේ අරමුණින් මෙම ස්ථානයට කසළ දැමීමට ජනතාවට අවසර දී තිබුණේ මුදල් අය කර ගනිමිනි. ඒ 2004 වර්ෂයේදීය. නමුත් සිදුවී ඇත්තේ කුඹුරු හිමියාවත් බලාපොරොත්තු නොවූවකි. පුද්ගලික කුඹුරු යායෙන් ඔබ්බට ද දිනෙන් දින එක්වන කසළ ප‍්‍රමාණය වැඩිවී අද වන විට අක්කර තිස් හතක වපසරියක් පුරා කරදියාන කසළ කන්ද පැතිරී තිබේ.

 මෙම කසළ කන්ද බස්නාහිර පළාත් සභාව විසින් පාලනය වන අතර එය කැස්බෑව නගර සභාව යටතේ පවතින කසළ අංගනයකි. දෙහිවල, ගල්කිස්ස, මොරටුව, කෝට්ටේ මහ නගර සභා මෙන්ම කැස්බෑව බොරලැස්ගමුව, මහරගම නගර සභා ද හෝමාගම ප‍්‍රාදේශීය සභාව ද කරදියාන කසළ අංගනයට කසළ මුදා හරිනු ලබයි. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව ද පුද්ගලිකව ද කැළිකසළ ගෙනවිත් අතරමඟ දමා යන බවට කරදියාන වැසියෝ පවසති.

 * කුණු කන්දට අවුරුදු දාහතයි.  අඩි 80 කටත් වඩා උසයි

 වසර 17ක් තිස්සේ කරදියාන කසළ කන්දට එකතු වූ කසළ ප‍්‍රමාණය ටොන් ලක්ෂ තිහකට ආසන්න බව තුන්බෝවිල උතුර තෙත්බිම් කමිටුවේ සභාපති රොනී ෆොන්සේකා මහතා පවසයි. දිරන අපද්‍රව්‍ය ටොන් 250ක් හා අනෙක් අපද්‍රව්‍ය ටොන් 250 ක් ලෙසින් දිනකට කසළ ටොන් පන්සීයක් එයට අලූතින් එකතු වේ. ඒ අනුව මසකට කරදියාන කසළ කන්දට එකතු වන කසළ ප‍්‍රමාණය ටොන් පහළොස්දාහකට ආසන්න වේ. ඒවා අතර සත්ත්ව ඝාතනගාර අපද්‍රව්‍ය, ප්ලාස්ටික් පොලිතීන් වීදුරු, ඉඳුල්, රෝහල් අපද්‍රව්‍ය ආදී සියල්ලම අන්තර්ගත වී ඇත. කරදියාන කසළ අංගනයේ සිට

 වේරැුස් ගඟ දක්වා ඇත්තේ මීටර් සියයකටත් අඩු දුරකි. වේරැුස් ගඟ බොල්ගොඩ ජලාශයේ අතු ශාඛාවකි. කෙසේ වෙතත් වේරැුස් ගඟ ආශ‍්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සරුවට පැවති බව ප‍්‍රදේශවාසීන් පවසයි. නමුත් කසළ කන්දේ බලපෑම නිසා මේ වන විට ජලය ¥ෂණය වීම හේතුවෙන් ජලජ ශාක පද්ධතිය මෙන්ම සත්ත්ව කොට්ඨාස ද විනාශ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටී.

 ”ඉස්සර වේරැුස් ගඟ අවට මිනිස්සු ධීවර කර්මාන්තයේ නිරත වුණා. ඒ නිසා කුඩා ධීවර ගම්මානයක් පවා හැදුණා. ඉස්සෝ කොටු වගා කළා. ඒ විතරක් නෙමෙයි කරදියාන අවට තියෙන හැම ජලාශයක ම, කුඩා පොකුණක ම ඕලූ, මානෙල් මල් සරුවට පිපිලා තිබුණා. අවට පූජනීය ස්ථානවල විකුණන්න ඉස්සර කරදියානෙන් මල් අරගෙන ගියා සෑහෙන පිරිසක්. ඒත් අද වෙද්දි මේ ජලජ ශාක වඳ වෙලා ගිහිල්ලා. ධීවර කර්මාන්තය අතරමඟ නතර වෙලා” ලෙස වෑකඩවත්ත පදිංචි පරාක‍්‍රම මහතා පවසයි.

 රත්මලාන සහ පිළියන්දල සීමාවේ වේරැස් ගඟත් සමඟ පිහිටා ඇති කරදියාන සුන්දර ගම්මානයක්ව පැවති බවට සාක්ෂි තවමත් තැනින් තැන ඉතුරු වී තිබේ.

 ”ගස් කොළන් පිරිලා, මල් පිපිලා තිබ්බ සුන්දර පරිසරයක් කුණු ගොඩක් හින්දා විනාශ වෙලා ගිහිල්ලා. අපිට හුස්ම ගන්න පිරිසිදු වාතය දැන් නෑ. බොන්න පිරිසිදු ජලයත් නෑ. අපේ සීයලා ආච්චිලා ළිංවල වතුර බිව්වට දැන් කරදියානේ ළිඳක් කපලා පිරිසිදු වතුර ටිකක් ගන්න අවස්ථාවක් නෑ. ලස්සන ගමක් මිනිසුන්ගේ නොසැලකිල්ල නිසාම විනාශ වෙලා ගිහිල්ලා. කුණු කන්දට කිලෝමීටර් ගාණක් ඈතිනුත් මිනිස්සු කුණු දාලා යන තත්ත්වයට පත්වෙලා. රාජිකා ප‍්‍රියදර්ශනී මහත්මිය පැවසුවා ය.

 * කවද හරි අපට මැරෙන්න සිද්ධ වෙන්නේ  කුණු කන්දක් නිසා

 කසළ කන්ද අවට මැස්සන් ගහණ කලාපයකි. කරදියානු වැසියන් පවසන ආකාරයට තද පෑවිල්ලක් සහිත කාලයක වුවද කරදියානට මැසි, මදුරු උවදුරෙන් අඩුවක් නැත.

 ”පායන කාලෙටත් මැස්සො මදුරුවෝ වැහි වැහැලා ඉන්න එකේ වැස්ස කාලෙට කොහොම ඇතිද කියලා ඔබතුමන්ලාම තීරණය කරන්න. ගේක දොර ජනෙල් ඇරලා තියන්න බෑ. මැස්සෝ වගේම දැන් නිලමැස්සනුත් බෝ වෙලා. ඒ වගේම අපි දන්නෙවත් නැති කෘමි සතුන් පවා නිවෙස්වල ඉන්නවා. වැහි කාලෙට ප්ලාස්ටික්, පොලිතීන්වලට වතුර එකතු වෙලා මදුරුවෝ බෝවෙනවා. මාස දෙක තුනක් වගේ කාලයක් ඇතුළත තුන්බෝවිල දකුණ ප‍්‍රදේශයේ විතරක් ඩෙංගු රෝගීන් තිස්හතක් වාර්තා වුණා. පොඩි ළමයි පවා අසනීපවලට ගොදුරු වෙනවා.”

 කසළ කන්ද නිසා කළු පැහැති කුඩා දුහුවිල්ලක් නිරන්තරයෙන් පැතිරෙමින් තිබෙන බව අපට ද නිරීක්ෂණය විය. මේ නිසා නිවෙස් නිතර අපිරිසිදු වන බවත් ඇතැම් අවස්ථාවල සමෙහි හා දෑස්වල ආසාදන මෙන්ම කුඩා දරුවන්ට ශ්වසන අපහසුතා ද ඇති වන බවත් රංසිකා සුරේනි මහත්මිය පවසයි.

 * අපිත් කැමතියි නිදහසේ හුස්ම ගන්න

 ”කුණු කන්ද උස නිසා ඒ අවට මිනිස්සුන්ට වඩා ඒකේ ගඳ දැනෙන්නේ දුරින් ඉන්න මිනිස්සුන්ට. අපිට ගෙවල් ඇතුළෙත් මාස්ක් දාගෙන ඉන්න සිද්ධ වෙලා. කොරෝනාවලින් බේරෙන්න නෙමෙයි මේ ගඳ ඉවසගන්න බැරුව තමයි අපි මාස්ක් දාන්නේ. මේ ගඳ අපි කොහොමහරි උහුලගෙන හිටියත් පිටින් අපේ ගෙවල්වලට අමුත්තෙක් ආවොත් ඒ අය අපහසුතාවයට පත්වෙනවා. කිසිම උත්සවයක් දවල් කාලයේ අපේ ගෙවල්වල ගන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. එක එක වර්ගවල කුණු එකතු වෙලා පිටවන වායුන් අපට අහිතකරයි නේද. ඇයි අපිට නිදහසේ හුස්ම ගන්න තියෙන අවස්ථාව නැති කරලා තියෙන්නේ.”

 කසළ අංගණය නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ද ඒ අවට දරාගත නොහැකි තරම් දුර්ගන්ධයක් පැතිරෙමින් තිබුණි. කාක්කන්, බල්ලන් වැනි සතුන් කසළ තැනින් තැනට ගෙන යෑම නිසා අවට පරිසරය ද අපවිත‍්‍ර වී තිබෙන අයුරුද, කසළ රැුගෙන එන ට‍්‍රැක්ටර්වලින් බොහෝ කසළ මාර්ගය දෙපසට වැටීම නිසා මාර්ග අපවිත‍්‍රව තිබෙනුද දැකගත හැකි විය. අංක 95/පී නිවස ඉදිරිපිට එලෙස කසළ බෑග් කිහිපයක්ම එකතු වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සුමිත‍්‍රා වීරසේකර මහත්මිය පැවසුවේ මෙවන් අදහසකි.

 ”හැමදාම ගේ ඉස්සරහ කුණු වැටෙනවා. ට‍්‍රැක්ටර්වලින් හිතලා වට්ටන්නෙ නැති වුණාට අපේ ගෙවල් ඉස්සරහ කුණු පිරිලා. අපි කුණු දාන්නෙත් සල්ලි ගෙවලා. වාහනවලින් අරන් යන කුණු ටිකවත් හරියට අරන් යන්නෙ නෑ. තව ටික දවසකින් මුළු ගමම වැහෙන්න කුණු දායි. මේ කුණුවල මාස්ක් තියනවා. සනීපාරක්ෂක තුවා තියනවා. මේවා සත්තු අරගෙන යනවා. අපිට වෙන්නේ මේ කුණුවලටම යට වෙලා මැරෙන්න තමයි.”

 *  2005 දැම්ම නඩුව චුවින්ගම් එකක් වගේ

තවත් මීතොටමුල්ලකට පාර කපන්නට ඔක්කොම කුණු ටික කරදියානට

කරදියාන, වේරහැර, වෑකඩවත්ත මැද්දෝවිට ආදී ගම්මාන රැසක ජනතාව මෙම කසළ අංගනය නිසා පීඩාවට පත්වෙති. එම ගම්වාසීන් විසින් 2005 නොවැම්බර් මස 28 වන දින අංක 6304 යටතේ කරදියාන කසළ කන්දට එරෙහිව කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොණු කර තිබුණද තවමත් ජනතාවට සාධාරණයක් වන තීන්දුවක් ලැබී නොමැති බවට තුම්බෝවිල උතුර තෙත්බිම් කමිටුවේ සභාපතිවරයා පවසයි.

 ”දරන්නම බැරි අවස්ථාවක ජනතාවම නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න තීරණය කරත් වගකිය යුතු කිසිම ආයතනයක් හෝ බලධාරියෙක් මේ සම්බන්ධයෙන් ප‍්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරලා නෑ. කොම්පෝස්ට් හදනවා කිව්වට, බලශක්තිය නිෂ්පාදනය කරනවා කිව්වට ඒ කිසිම වැඩපිළිවෙළක් සාර්ථක නෑ. දවසකට එකතුවෙන දිරන අපද්‍රව්‍ය ටොන් 250න් ටොන් එකහමාරක විතර කොම්පෝස්ට් පොහොර හැදුවට අනෙක් ඉඳුල් කුණු කන්දට ම එකතු වෙනවා. අඩුම තරමින් මේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන වැඩපිළිවෙළවත් අඛණ්ඩව කරගෙන ගියා නම් මේ වෙද්දි රටේ ඇතිවෙලා තියෙන පොහොර ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා වගේම ස්ථිර විසඳුමක් හොයා ගන්නකම් කරදියානට එකතුවෙන කසළ යම්තාක් දුරට හරි අඩු කරගන්න පුළුවන්.”

 මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කරුණු විමසූ අතර ඔවුන් පවසා සිටියේ කරදියාන කසළ අංගනය නීති විරෝධීව පවත්වාගෙන යනු ලබන එකක් බවය.

 දිනකට ටොන් සීයකට වැඩි ධාරිතාවක් ඇති ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති සඳහා ජාතික පරිසර පනතේ සඩ ඇ කොටස යටතේ අනුමැතිය ලබාගත යුතුව ඇතත් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ජාතික පරිසර පනත යටතේ ලබා ගත යුතු අනුමැතිය ලබා නොමැති නිසා මෙම කසළ අංගනය නීති විරෝධී බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටියි. ඔවුන් ඒ පිළිබඳව කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ද ලිඛිතව දන්වා තිබේ.

 සාමාන්‍යය ජනතාව පරිසරයට අපද්‍රව්‍ය මුදාහැරීම සම්බන්ධයෙන් ඉහළම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරිය සහ වගකිවයුතු බලධාරීන් කරදියාන කසළ අංගනය සම්බන්ධයෙන් තවමත් නීතිමය ක‍්‍රියාමාර්ග නොගන්නේ ඇයිදැයි කරදියාන වැසියෝ ප‍්‍රශ්න කරති.

 ”අපි පාරේ කුණු ටිකක් දාලා තිබුණොත් අරන් යන්න පුළුවන් හැම උසාවියකටම අපි එක්ක යනවා. පෙන්නන්න පුළුවන් හැම මාධ්‍යයකින් ම පෙන්නනවා. ඒත් අක්කර තිස් හතක් පුරා රාජ්‍ය හා පෞද්ගලික අංශවලින් කුණු දාන එක ගැන මධ්‍යම පරිසර අධිකාරියෙන් කිසිම නීතිමය ක‍්‍රියාමාර්ගයක් අරගෙන නෑ.”

 මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ සරෝජනී ජයසේකර මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.

 ” ඕපන් ඩම්ප් එකක් නිසා කොහොමත් කරදියාන කසළ අංගනයට අවසර දෙන්න බෑ. පරිසර අධිකාරිය මේ දේවල් අනුමත කරන්නෙත් නෑ. ඒ වුණත් පහුගිය කාලේ ඇති වූ ගැටලූ එක්ක විසඳුමක් නැති නිසා යම් යම් පාලන තත්ත්ව යටතේ කරදියාන කසළ අංගනය පවත්වාගෙන යෑමට සිද්ධ වුණා. දැන් බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘතියක් තියෙන නිසා ඉදිරියේදී මේ කසළ ප‍්‍රශ්නයට විසඳුමක් ලබාගන්න පුළුවන්. අපි පළාත් පාලන ආයතනවලට දැනුම් දීලා තියෙනවා ඝන අපද්‍රව්‍ය බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘතිවලට යොදවන්න කියලා. කරදියාන තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. කරදියාන පරිසර පද්ධතිය පමණක් නෙමෙයි ජනතාවත් අවදානමකට වැටිලා ඉන්නේ. කරදියාන කසළ අංගනය වහලා දාන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි මේ දවස්වල සාකච්ඡුා කරනවා.”

 මේ වන විට කරදියාන කසළ අංගනය තෙවරක් ගිනි ගැනීම්වලට ලක්වී ඇත. මීට වසර එක හමාරකට පමණ පෙර ජාතික

 ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් කරදියාන කසළ කන්ද නාය යෑමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව කසළ කන්ද අවට පවුල් දාසයක් පමණ එම ස්ථානවලින් ඉවත් කර වෙනත් ස්ථානවල පදිංචි කරවා ඇති බවට ද තොරතුරු වාර්තා විය. මෙම කසළ අංගනය කරදියාන වැසියන්ගේ ප‍්‍රශ්නයක් පමණක් නොව සමස්ත රටටම බලපාන බරපතළ ගැටලූවකි. මීතොටුමුල්ල කඩාවැටීමෙන් සිදු වූ හානියට වඩා බරපතළ හානියක් කරදියාන නාය

 ගියහොත් සිදු වන බව විශ‍්‍රාමික රජයේ සේවකයෙක් වන ඩබ්ලිව්. පී. සුනීතා ද සිල්වා මහත්මිය පෙන්වා දෙයි.

 * මේවා ජනතාවගේම කුණු. මින් පස්සෙවත්  වගකීමෙන් වැඩ කරන්න

 කරදියාන කසළ අංගනය සම්බන්ධයෙන් බොහෝ කතා මාධ්‍යයෙන් අහන්න දකින්න ලැබෙනවා. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විදිහට අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නවා. හැමෝම කතා කරන්නේ මේකෙ තියෙන බලපෑම ගැන විතරයි. මේකෙන් පරිසර විනාශයක් සිදුවන එකයි ජනතාවට හානියක් සිදු වෙන එකයි ඇත්ත. නමුත් පළාත් පාලන ආයතනවලට එකතුවෙන කුණු දාන්න තැනක් නැති උනොත් එතන තවත් ප‍්‍රශ්නයක් ඇති වෙනවා. නිසි ලෙසින් කසළ ඉවත් කිරීම පළාත් පාලන ආයතනවල වගකීම. කැළිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ව්‍යාපෘති රාශියක් රජය විසින් ක‍්‍රියාත්මක කරන්න උත්සාහ දැරුවත් ජනතාවගේ විරෝධය නිසා ඒවා නතර කරලා දැම්මා.

 ජනතාවගේ ම කුණු තමයි මේ එකතු වෙන්නේ. කැළිකසළ ප‍්‍රශ්නයට විසඳුම් නිවසින්ම පටන් ගන්න අවශ්‍ය වැඩසටහන් දැනුම්වත් කිරීම් සිදු කිරීමට මේ රටේ මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. මේ කසළ කන්ද මධ්‍යම පරිසර අධිකාරියේවත්, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේවත් පුද්ගලික ක‍්‍රියාකාරකම් නිසා ඇතිවුණු ප‍්‍රශ්නයක් නෙමෙයි. වගකිවයුතු ආයතන විදිහට අපි මේ කරදියාන ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීමට වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කිරීමට සූදානම් කරලා තියනවා.

 දැන්වත් තම තමන්ගේ නිවෙස්වල එකතු වන කසළ නිසි ආකාරයෙන් බැහැර කරන්න. ඒ වගේම දිරන නොදිරන ලෙසින් වෙන් කරලා අපද්‍රව්‍ය බැහැර කරන්න. තවත් තැනක කුණු කන්දක් නිර්මාණය වීම වැළැක්වීමට ජනතාව වගකීමෙන් කටයුතු කරන්න.” ලෙසින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය.

 ”මේ කුණු කන්ද නිසා ජනතාවට මුහුණ දෙන්න වෙලා තියෙන ප‍්‍රශ්න එකින් එක විස්තර කරන්න අමාරුයි. අපේ වැඩිහිටියන්ගේ කාලේ ලස්සනට තිබුණු  ගම්මානයකට විනාශ වෙන්න දෙන්න බෑ. මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න ජනතා නියෝජිතයෙක් විදියට මම හැමදාම කරදියාන ජනතාවත් එක්ක ඉන්නවා.”

 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි කැස්බෑව නාගරික මන්ත‍්‍රී කල්ප තුෂාන්ත පෙරේරා මහතා එසේ පවසයි.

 රට වටේට ගොඩගැහෙන කැළිකසළ ප‍්‍රශ්නයට තවමත් ස්ථිර විසඳුම් ලැබී නැත. කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ රෝහල් අපද්‍රව්‍ය, මුහුණු ආවරණ ආදිය පරිසරයට මුදාහැරීමෙන් බොහෝ පාරිසරික ගැටලූ ඇති විය හැකි බව මේ දිනවල විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් මීට පෙරද ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ හරහා අපි තොරතුරු අනාවරණය කළෙමු. කැළිකසළ ප‍්‍රශ්නය විසඳීමට භේදයකින් තොරව සියල්ලෝම තම තමන්ගේ වගකීම අකුරටම ඉටු කළ යුතුය. නිවසත්, ඉන් පිටත් සමස්ත රටත් පිරිසිදුව තබා නොගැනීම තවත් වසංගතයක් ආරම්භයට අත වැනීමකි.

 * නිරෝෂා වාසල

advertistmentadvertistment