තවත් ළං වනු පමණකිය ඔබ… බණ්ඩාර කේ. විජයතුංග මතකය

360

ජනවාරි 03 යෙදෙන බණ්ඩාර කේ. විජයතුංග විසි දෙවැනි සමරුව නිමිත්තෙනි.

බණ්ඩාර විජයතුංග, චිත‍්‍ර ශිල්පියෙකි; නිවේදකයෙකි; ප‍්‍රචාරක නිලධාරියෙකි; කවියෙකි; ගීත රචකයෙකි. චිත‍්‍ර ශිල්පියකු වශයෙන් ඔහු තුළ පැවති ප‍්‍රතිභාව අද අපට දැක ගන්ට ලැබෙන්නේ ඔහු සිතුවම් කළ පොත් පිටකවරවලිනි. බණ්ඩාරගේ ‘නෙත් දහස’, අජන්තා රණසිංහ ගේ ‘තිවංක රේඛා’, ‘රන් මුතු දූව’ සමරු කලබ, ‘ගැටවරයෝ’ සමරු කලබ, ‘වැලි කතර’ සමරු කලබ, බණ්ඩාරගේ සිතුවම් සහිත ප‍්‍රකාශන කිහිපයකි. 60, 70 දශකවලට අයත් මෙම පිටකවර සැරසිලි අදටත් අලූත් ය; අදටත් නැවුම් ය; අද නිර්මාණය වන පිටකවර බොහොමයකට වඩා ඉදිරියෙන්ය. උක්ත සමරු කලබ සංස්කරණය කරනු ලැබ ඇත්තේ ද බණ්ඩාර විසිනි.

‘රන් මුතු දූව’ කවරය සැරසී ඇත්තේ චිත‍්‍රපටයෙහි කූඨප‍්‍රාප්තියට අයත් රූප රාමුවකිනි. එය ගතානුගතික චිත‍්‍ර ශිල්පියකු පිටකවරයක් සඳහා කිසිසේත් ප‍්‍රයෝජනයට නොගන්නා ආකාරයේ ඡායාරූපයකි. ගාමිණී ෆොන්සේකා සහ ජීවරාණි තරයේ උනුන් වැළඳගෙන සිටින මේ ඡායාරූපයෙහි ජීවරාණිගේ මුහුණ යාන්තමින් හෝ නොපෙනේ. ගාමිණි ගේ මුහුණ පෙනෙන්නේ ද යාන්තමිනි. එහෙත් එය භාවාත්මක බවින් පිරිපුන්ය. බණ්ඩාරගේ කවර අලංකරණය ද චමත්කාරජනකය. පිටු සැලසුම් කිරීමෙහිලා බණ්ඩාර දක්වා ඇති දක්ෂතාව ද ප‍්‍රශංසාර්හ වේ. මෙහිදී නළු නිළියන්ගේ සහ ගායක ගායිකාවන්ගේ ඡායාරුප සංස්කරණය කළ සැටිත් ඔවුන් පිළිබඳ කෙටි විස්තර සපයා ඇති සැටිත් බලනු වටී. ගීත ඇතුළත් කර ඇත්තේ ස්වර ලිපිත් සමඟය. ස්වර ප‍්‍රස්තාර සමඟ ගීත ඇතුළත් වූ ප‍්‍රථම සිනමා සමරු කලාපය ‘රන් මුතු දූව’ විය යුතුය.

‘රන් මුතු දූව’ සමරු කලබෙහි ආරම්භක පිටුව පුරා කළු පසුබිමක විචිත‍්‍ර දළ රළ පෙළකි. එහි බණ්ඩාර අතින් රචිත ‘‘රන් මුතු දූව’’ පූර්විකාවකි. ‘‘නැඟී බිඳී නැඟී බිඳෙන මුහුදු රළ පෙළ, නවතම රිද්මයකට කැරෙන රැුඟුමක් වැන්න. ඒ දර්ශනය සම්පූර්ණ වර්ණයෙන් චිත‍්‍රපට තිරයෙක දැක්වෙන අවස්ථාව, අපේ සිංහල චිත‍්‍රපටයට ද දැන් එළඹ තිබේ. නිහඬ චිත‍්‍රපට අවදියේ සිට වර්ණ චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීම තෙක් කර්මාන්තයක් වශයෙන් නොයෙක් හිරිහැර මැද සිංහල චිත‍්‍රපට දියුණු වූයේ යැයි අපි සිතමු. අපේ කුඩා ලංකාව වර්ණවත්, නෙත්කලූ දර්ශනවලින් පිරුණු රටෙකි. ඒ දර්ශනීය බව ලෝකයට පෙන්වීමට ඇති ඉතාම උචිත මාධ්‍යය වර්ණ චිත‍්‍රපටය වේ. අපේ මේ කුඩා දූපත අවට මුහුදු යට දර්ශන ද ඉතාමත් විචිත‍්‍ර ඒවා වේ. ඒ විචිත‍්‍ර බව හා දර්ශනීය බව අප නිෂ්පාදනය තුළින් වහනය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සාදරයෙන් සහ මහත් සන්තුෂ්ටියෙන් යුතුව දැන් මෙන්න අපෙන් ඔබට…. රන් මුතු දූව’’

‘‘රන් මුතු දුවේ මේ විවරණිකාව ආනන්ද කේ. විජයතුංගගේ සංස්කරණයකි.’’ යන සඳහනෙන් මේ සමරු කලබ අවසන් වී තිබේ.

‘‘ගැටවරයෝ’’ සමරු කලබෙහි පිටකවරය සැරසෙනුයේ එම චිත‍්‍රපටයෙහි වඩාත් උත්කර්ෂවත් අවස්ථාව වන අධිවේගී බෝට්ටු තරගයෙහි ආවේගාත්මක රූප රාමුවකිනි. චිත‍්‍රපටයෙහි කථානායකයා වන ජයා (ගාමිණී ෆොන්සේකා) ජල කඳ දෙබෑ කරගෙන මෝටර් බෝට්ටුවක් ධාවනය කරනු එහි දැක්වේ. බණ්ඩාරගේ තෙලිතුඩින් සිතුවම් වූ ‘ගැටවරයෝ’ අකුරු පෙළත් සමග ඒ සඳහා ඔහු ලියූ ප‍්‍රචාරක පාඨය කවරයේ කෙළවරක සඳහන් වී ඇත. ‘‘පරිවර්තන යුගයක ජීවත් වන ජාතියේ තරුණ පරපුර’’ යනු ඒ ප‍්‍රචාරක පාඨයයි.

‘‘වැලිකතර’ චිත‍්‍රපටයෙහි සමරු කලබ ද බණ්ඩාර නම් වූ සූර වෙළඳ ප‍්‍රචාරකයාගේ හා වෙළඳ චිත‍්‍ර ශිල්පියාගේ සංකේතයකි. ‘වැලිකතර’ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම සිනමාස්කෝප් (පුළුල් තිර) චිත‍්‍රපටයයි. මි. මී. 35 චිත‍්‍රපට පෙන්වීම සඳහා පමණක් වෙන් වී තිබුණු බොහෝ සිනමා ශාලාවල පැරණි තිර ගලවා පුළුල් තිර සවි කළේත් ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රවලට සිනමාස්කෝප් කාච සවි කළේත් ‘වැලි කතර’ ප‍්‍රදර්ශනය කිරීම සඳහායි. මෙය සිංහල සිනමාවේ මහා අසිරිමත් සිදුවීමක් නොවුණත් මහා අසිරිමත් සිදුවීමක් ලෙස හඟවන්ට බණ්ඩාරගේ ප‍්‍රචාරක කටයුතුවලට පුළුවන් විය.

බණ්ඩාර ‘වැලි කතර’ට ප‍්‍රදානය කළ අන්වර්ථ නාමය ‘රජ දැක්ම’ යනුයි. (චිත‍්‍රපටයෙහි දෙබස්වලින්ම උපුටා ගත් දෙපදයකි) එබැවින් ‘වැලි කතර’ සමරු කලබෙහි කවරයේ ඇත්තේ ද ‘රජ දැක්ම’ යන දෙපදය පමණි. ‘වැලි කතර’ යන චිත‍්‍රපටයෙහි නමවත් එහි නැත. සමරුවෙහි හැඩය ද සිනමාස්කෝප් රූප රාමුවක් සිහිගන්වන්නකි. එය උසින් අඩුය; පළලින් වැඩිය. ඒ රූප රාමු හැඩැති කවරයෙන් තවත් සිනමාස්කෝප් රූප රාමුවකට සමාන හිදැසක් කපා ඉවත්නර තිබේ. කවරය තනි කළුය. කපා ඉවත් කළ හිදැස තුළින් පෙනෙන්නේ රතු කරදාසියක මුද්‍රිත චිත‍්‍රපට ජවනිකාවකි. (මුළු සමරුවම මුද්‍රණය කර ඇත්තේ රතු ඩිමයි කරදාසියේය.) ඇතුළත පිටුවල, ප‍්‍රධාන භූමිකාව රඟපෑ නළු නිළියන්ගේ ඡුායාරූප සමඟ ඇත්තේ ඔවුන් පිළිබඳ විස්තර නොවේ; ඔවුන්, තමන් රඟපෑ චරිත පිළිබඳ කරන විස්තරයි. ඡුායාරූපවලට කැප්ෂන් සපයා ඇත්තේ චිත‍්‍රපටයේ දෙබස්වලිනි.

  • ‘‘වෙඩි තියන්න හාමුදුරුවනේ.

මගේ අතේ ආයුධ මොකුත් නෑ’’ (ගෝරිං/ජෝ අබේවික‍්‍රම)

  • ‘දයාබර ගීතා, පසුගිය දවස් කීපය තුළ සිදුවූ දේවල්

මට නං හරියට හීනයක් වගේ. ගෝරිං මගේ අතීතය

ඔයාට කියන්න ඇති.’’ (වික‍්‍රම රන්දෙනිය/ ගාමිණී ෆොන්සේකා)

  • ‘‘මට බනින්න එපා දෙයියනේ. සුරංගනා කතාවල ඉන්න

රාජකුමාරයෙක් වගේ තමයි මට ඔයාව පෙනෙන්නෙ’’

(ගීතා/සුවිනීතා වීරසිංහ)

  • සංගීත අධ්‍යක්ෂණය කළ සෝමදාස ඇල්විටිගල ගේ ඡායාරූපයට යටින් ඇති කැප්ෂනය, ‘‘පප- /ගමපනි/ස—/-ප පප/ගමපනි/ස—’’ යනුයි. මේ, ‘වැලි කතර’ තේමා ගීතයෙහි ආරම්භක ස්වර පෙළයි.

වෙළඳ ප‍්‍රචාරක වශයෙන් සිනමා ක්ෂේත‍්‍රය තුළ බණ්ඩාර ඉතා සාර්ථක මිනිසෙක් විය. චිත‍්‍රපටයේ තේමාව කැටි කර ගත් ප‍්‍රචාරක පාඨයකින් රසිකයා සිනමා ශාලා තුළට ගෙන්වා ගැනීමේ සහජ ශක්තියක් ඔහු සතු විය. මතු දැක්වෙන්නේ 70, 80 දශකවලට අයත් එබඳු ප‍්‍රචාරක පාඨ කිහිපයකි.

සිංහල චිත‍්‍රපට

  1. ‘‘රජ දැක්මට අවසරයි ’’ (වැලි කතර)
  2. ‘‘එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පිවිතුරු වතුසුදු මලක්’’ (එයා දැන් ලොකු ළමයෙක්)
  3. ‘‘යුවතියක ජීවිතයේ එකම වතාවක් පමණක් යන අතිපාරිශුද්ධ ගමන’’ (දෙවැනි ගමන)
  4. ‘‘ඔබත් මාත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක. ඔබත් මාත් මියයන්නේ එකම වෙරළක වැල්ලක….’’ (බඹරු ඇවිත්)
  5. ‘‘යුක්තිය රජයන ලොවකට මා රැුගෙන යන්න උතුමාණනි’’
    (උතුමාණනි)
  6. ‘‘ගැහැනියකගේ ඇතුළු හද මැදුර වෙත කෙරෙන පේ‍්‍රමයේ පූජා චාරිකාව’’ (ආදර හසුන)
  7. ‘‘පිරිමියෙකු ඉදිරියේ නිර්වස්ත‍්‍ර කරන ලද ගැහැනියකගේ කතාව’’ (සුද්දිලාගේ කතාව)
  8. ‘‘ඔබේ අතට රන් මුදුවක්. මගේ දෑතට විලංගුවක්. එයයි සොයුරිය මගේ පරිත්‍යාගය’’ (පරිත්‍යාග)

හින්දි චිත‍්‍රපට

  1. ‘‘හද බැඳි විකසිත ආදරයේ තේමා ගීතය’’ (ගීත්)
  2. ‘‘ඔවුන් දෙදෙන එක් කළේ ද සංගීතයයි. වෙන් කළේ ද සංගීතයයි (අභිමාන්)
  3. ‘‘ආත්ම අභිමානය හිස එසවූ කල සිඳී බිඳී යන විවාහ සංස්ථාව’’ (අභිමාන්)
  4. ‘‘ළඳුනි මට සමාවන්න. මා ඔබට ද්‍රෝහි වූවා නොවේ; පියෙකු නැති දරුවකුට පියෙකු වූවා පමණි.’’ (දාග්)

‘වැලි කතර’ වැනි චිත‍්‍රපටයකදී ඔහු සිය ප‍්‍රචාරක පාඨය ලියූවේ එහි තේමාවට අනුගතව නොවේ; විදුලි පුවතක් පරිද්දෙනි. එහි ඇත්තේ එකිනෙකට අසම්බන්ධ සේ පෙනෙන වචන තුනකි. ‘‘රජ දැක්ම’ නිහාල්සිංහ වැලි කතර ආදී වශයෙනි. මෙහිදී බණ්ඩාර ‘වැලිකතර’ චිත‍්‍රපටය අලෙවි කරන්නේ පුළුල් තිර ප‍්‍රමාණයත් (රජ දැක්ම) නිහාල්සිංහත් පෙන්වමිනි. මේ ප‍්‍රචාරක පාඨ ශෛලිය පසු කාලේදී සිනමා ක්ෂේත‍්‍රය පුරා බෙහෙවින් ව්‍යාප්ත වී ගියේය.

බණ්ඩාර විජයතුංග අප අතර හුන් දක්ෂතම නිවේදකයෙක් වූයේය. ඔහුගේ උච්චාරණය නිවැරදි හා පැහැදිලි විය; ගැඹුරු විය.

නිවේදන ශෛලිය ඔහුට මැ ආවේණික වූවක් විය. නිවේදකයෙකු වශයෙන් ඔහුගේ ජනප‍්‍රියත්වය කවරාකාර වී ද යත් සමහරු ඔහුගේ හඬ අනුකරණය කළහ. සමහරු ඔහු ගේ නිවේදන ශෛලිය අනුගමනය කළහ. බණ්ඩාරගේ හඬ ප‍්‍රබුද්ධ භාවයේ නියෝජනයක් ලෙස රසිකයෝ විශ්වාස කළහ. එබැවින් ඇතැම් බාල ගණයේ සිංහල හා හින්දි චිත‍්‍රපට පවා ඔහුගේ හඬින් ප‍්‍රබුද්ධත්වයට පත් වූයේය. 70 දශකය තුළ සිනමා පූර්ව ප‍්‍රචාරක පට වැඩිම ගණනාවකට හඬ මුසු කළ ශිල්පියා ඔහු විය.

වික්ටර් රත්නායකගේ ‘ස’ සංගීත ප‍්‍රසංගය ඇතුළු ප‍්‍රබුද්ධ මට්ටමින් සැලකුණු බොහෝ සංගීත ප‍්‍රසංග ද වික්ටර් රත්නායකගේ ගුවන් විදුලි සරල ගී වැඩසටහන් ඇතුළු බොහෝ සරල ගී වැඩසටහන් ද ඔහුගේ හඬින් විචිත‍්‍රවත් වූයේ ය. සරල ගී වැඩසටහන්වල දී ඔහු විසින් සිදු කරන්නට යෙදුණේ නිවේදකයාගේ කාරිය පමණක් නොවේ. ඔහු ගීතවලට අර්ථකථන ද සැපයීය. වික්ටර් රත්නායකගේ එක් සරල ගී වැඩසටහනක සියලූ ගී සඳහා ඔහු අර්ථ සම්පාදනය කළේ සිරි ගුණසිංහ ගේ කාව්‍ය ඛණ්ඩවලිනි.

ගුවන්විදුලි නාට්‍ය ශිල්පියකු වශයෙන් ද බණ්ඩාර සමත්කම් දැක්වූයේය. සුගතපාල ද සිල්වා විසින් නිෂ්පාදනය කරන ලදුව අතිශයින් ජනප‍්‍රියත්වයට පත් වූ ‘මකරාගේ තානායම’ නැමැති ගුවන්විදුලි නාටකයෙහි ‘සුදු රැවුලා’ ගේ චරිතය ප‍්‍රාණවත් වූයේ බණ්ඩාරගේ හඬිනි.

කවියෙහි දී මෙන්ම ගීයෙහිදී බණ්ඩාරගේ ප‍්‍රියතම විෂය වූයේ පේ‍්‍රමයයි. පේ‍්‍රමය ගැන ඔහු ලියූ මුල්ම ගීත කිහිපයක් ’ නෙත් දහස’ කාව්‍ය සංග‍්‍රහයෙහි ද පළ වී තිබේ. ඒවා නම්,

  • නිල් අහසේ මුහුදු දියේ
    සීත සුළං රළ වැල් මත
    සිතුවිල්ලේ ඔරුවට වී
    හබල් ගසා පැද එමි මම (ගායනය/ටියුඩර් කඳනආරච්චි)
  • රන් මැඳුරෙක රන් සඳළු තලාවක
    රන් කෙඳි විසිරුණු එක් සැන්දෑවක
    රනින් තැනූ රුවක් පරිදි ඔබ
    දෑත විදාගෙන සිටිනු දුටිමි මම (ගායනය/ටියුඩර් කඳනඅරච්චි)

‘නෙත් දහසෙහි’ පළ වී නැති තවත් ගීයක් 60 දශකයෙහි ගුවන්විදුලිය තුළින් බෙහෙවින් ජනප‍්‍රිය විය. ‘ටිකිරි මැණිකෙ දර අහුලන කුරුඳු කැලෑවේ’ නැමැති ඒ ගීයද ගැයුවේ ටියුඩර් කඳනාරච්චියි. එසමයෙහි ම බණ්ඩාර ලියූ තවත් පෙම් ගී රැුසක් ජනාදරයට පාත‍්‍ර වූයේය. ඒවා නම් හින්දි හා ඉංග‍්‍රීසි ගී තනු අනුව රචිත ‘මහද නැමැති වන බඹරා’ (එච්. ආර්. ජෝතිපාල), ‘ආයුබෝවන් ආයුබෝවන්’ (ජී. එස්. බී. රාණි පෙරේරා), ‘සුපිපි හසරැුළි තොල් අග රුවට රුවා’’ (ක‍්‍රිස්ටෝෆර් පෝල්),‘රුවන් තොරන් තනා රන් තැඹිලි පොකුරු ගසා(ක‍්‍රිස්ටෝෆර් පෝල්) ‘මුළු ලෝකෙ පුරා’ ක‍්‍රිස්ටෝෆර් පෝල් ආදියයි.

ඒ බණ්ඩාරගේ පේ‍්‍රම ගීත කලාවේ මුල් අදියරයි. දෙවැනි අදියර ඇරඹෙනුයේ වික්ටර් රත්නායක සනත් නන්දසිරි වැනි ගායකයන් පාදක කොට ගෙනය. වික්ටර්ට සහ සනත්ට ඔහු ලියූ ආදර ගී, 70 දශකයෙහි තරුණ සිත් ආලෝලනය කළ නිර්මාණයයි. බලන්න

  • මහද පෙම් විලේ
    නිබඳ නුරා රැගුම් රගා
    සුසුම් රැළි න`ගාලා
    පොපියන පියුම් පිය ළදේ (සනත් නන්දසිරි)
  • සත් සමුදුරු තරණය කොට
    දුරු රටකට වඩින්නියේ
    මගේ සිතයි – මගේ ගතයි
    ඔබත් සමඟ රැගෙන යන්න (වික්ටර් රත්නායක)
  • දිනෙන් දින ඔබ මා වෙතින්
    දුරස් වන විට මගේ මනැසට
    තවත් ළං වනු පමණකිය ඔබ
    දිනෙන් දින ඔබ මා වෙතින් (සනත් නන්දසිරි)
  • තරු මල් පල ගත් අහස බලා සිට
    දෙනෙත් පියූ සඳ- මීදුම මැද්දෙන්
    ඔබේ මුහුණුවර මැවී පෙනේ මට (වික්ටර් රත්නායක)
  • කිසිවක් නොකියන කිසිවක් නොඅසන
    මුනිවත රකිනා ළඳුනි පබා
    කල්පිතයක් මැද තනි වූ පමණින්
    මුව’ගුළු ලා ගෙන හිඳිනු එපා. (සනත් නන්දසිරි)

බණ්ඩාරගේ බොහෝ ගීතවලට විෂය වී ඇත්තේ තහනම් පේ‍්‍රමයයි. අසම්මත පේ‍්‍රමයයි. ඊර්ෂ්‍යා පරවශ පේ‍්‍රමයයි.

ආලය හා ඊර්ෂ්‍යාව අතර ඇත්තේ කවරාකාර සම්බන්ධයක්ද එබඳු සම්බන්ධයක් තිබිය හැකිද? උතුරා යන ආලයක කූඨප‍්‍රාප්තියෙහි දී පෙම්වත් සිතෙක ඊර්ෂ්‍යාව පහළ විය හැකි සැටි බණ්ඩාර අතිශය අපූර්ව විලාසයකින් පද පෙළකට කැටි කර තිබේ.

  • සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ
    අනිකකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
    මා හද බිය වී සැලී සැලි යයි
    හිරු රැස් බිඳකුඳු ඔබ රුව දුටු සඳ
    ඉරිසියාවෙන් පිරවෙයි මා හද
    එනමුදු ඊයේ මට පෙන්වූ රුව
    තව නෙත් දෙකකට හමු විය යුතු නැත. (වික්ටර් රත්නයාක)

මතු දැක්වෙන ගීතය බලන්න. ඊට විෂය වන්නේ විවාහකයකුගේ ආලයයි. බොහෝ දෙනා බොහෝ කාලයක් ආලය කොට විවාහ වෙති. විවාහය, උනුන්ගේ ආලයෙහි පලයයි. සාධු සම්මතය අනුව ඉන් අනතුරුව ඔවුන් අතර පැවැතිය යුත්තේ ස්වාමි – භාර්යා ආලයයි. සිය භාර්යාව සිටියදී අන් ළඳකට ආලය කරන්න ස්වාමිපුරුෂයාට අයිතියක් ඇත් ද එහෙත් බලන්න

  • මගෙ හද ඔබ ළඟ – ඔබෙ හද මා ළඟ
    එනමුදු මගෙ අත – වෙනතක බැඳ ඇත
    පිදුරු සෙවිලි කළ ඔබේ පැල්පත වෙත
    එන්නට මට කිසි අවසරයක් නැත
    මිහිරියෙ අපහට ඉතිරිව ඇත්තේ
    අපේ කල්පනා ලෝකය පමණයි (වික්ටර් රත්නායක)
  • ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි’’ (මිල්ටන් මල්ලවාරච්චි) ගීයෙහි ද බණ්ඩාරගේ මේ අසම්මත පේ‍්‍රමය දැකිය හැකිය.

අපට නොමැත නීති රීති සෙනෙහස පමණි
තවත් ලොවක තවත් දිනෙක ඔබ අත ගනිමි

ආලයට තහංචි පැනවී ඇත්නම් පෙම්වතුන් හමුවිය යුත්තේ හොර රහසේය. මේ රහස්‍ය හමු වීම ගැන, උකුසු දෙනෙත්වලට හසු නොවී හමු වීම ගැන බණ්ඩාර නිතර ලියා තිබේ.

  • ළපලූ ලතා මණ්ඩපයක- කඳු යායේ සෙවණැල්ලක
    ලොවේ උකුසු දෙනෙත්වලින් – සැඟ වී ගමු කුමාරියේ
    වන වදුලේ රජ දහනේප – පෙම් රකුසන් පලවා හැර
    සුපිපි කුසුම් දාමයකින් – අභිෂේකය උදා කරමු

(මාලිනි බුලත්සිංහල/ඇනස්ලි මාලේවන)

මිහිදුම් සළු තිර පැළදි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවණැල්ලක මල් අතුරන්නම්
(නීලා වික‍්‍රමසිංහ/සුනිල් එදිරිසිංහ)

සැඟව නොසිටියහොත් පෙම් රකුසෝ පෙම්වතුන්ගේ ලෝකයට බාධා පමුණුවති. පවුරු බඳිති. ඔවුන් හමු විය යුත්තේ ඒ පවුරු බිඳ දමමිනි.

හමුවෙමු සුවබර තවත් සැඳෑවක
අතිනත් ගන්නට සයුරු තෙරේදි
කවුරුද ඒ දින උදා කරන්නට
අප අවුරා අති පවුරු බිඳින්නේ

(ගායනය සනත් නන්දසිරි මල්කාන්ති නන්දසිරි)

තරුණයකු එක හා සමානව යුවතීන් දෙදෙනෙකුට ආලය කිරීම සාධු සම්මතය නම් නොවේ. එහෙත් බණ්ඩාර, එය සාධාරණීකරණය කරන්නට තැත් දරයි.

එකම සිතයි ඔබ දෙදෙනාටම ඇත්තේ
එකම හදයි ඔබ දෙදෙනාටම ඇත්තේ
එහෙයිනි
එකම ආදරේ දෙදෙනාටම පිදුවේ

මෙය ගායකයන් වෙතින් ප‍්‍රතික්‍ෂේප ගීයකි. හේතුව, ගීයෙන් පැවසෙන අසම්මත ආලය විය යුතුය. එකට එක්වී වසර ගණනාවක් පිළිසඳරෙහි යෙදුණත් උනුන්ට තුරුලූ වී සිටියත් උනුන් නොවටහා ගත් පෙම්වතුන් ද එක වහල යට ජීවත් වූවත් එක සයනයක සැතපුණත් උනුන් නොවටහා ගත් පති – පතිනිහු ද බොහෝ වෙත්. බණ්ඩාර, මතු සඳහන් ගීයෙන් අපට මුණ ගස්වනුයේ එබඳු දෙදෙනෙකි.

සබඳකමක් නැති දෙදෙනෙකු වෙමු අපි
මා තේරුම් ගනු ඔබට නොහැකි නම්
ඔබ තේරුම් ගනු මට ද නොහැකි නම්

වසර ගණන් කල් සිනාසුණෙමු අපි
වසර ගණන් කල් කතා කළෙමු අපි
එහෙත් කවුද ඔබ එහෙත් කවුද මා
ඔබත් නො දන්නෙහි
මමත් නො දන්නෙමි
(නීලා වික‍්‍රමසිංහ)

මේ නොවටහා ගැනීම, බණ්ඩාරගේ තවත් ගීයකට විෂය වන්නේ මෙසේය.
ඔබේ මාවත එයයි – මගේ මාවත මෙයයි
එකිනෙකට වෙනස් වුණු දෙඅතකට ඇදී යන
ඔබේ මාවත එයයි – මගේ මාවත මෙයයි

මේ නුහුරු දෙමාවත – එක් වෙතියි යම් දිනෙක
කුමට ඔබ අප දෙදෙන – එකිනෙකා රවටමුද?
සියලූ දුක් නිවාරණ – කෙම්බිමක් හමුවෙතියි
මමත් නොසිතමි ළඳුනි – ඔබත් නොසිතනු මැනවි

(සුනිල් එදිරිසිංහ)

නොවටහා ගැනීම, අසම්මතය ආලය කුලගෙයක ස්ථාවර පැවැත්මට පති පතිනීන්ගේ යහපත් සමාගමයට බාධාවකි. විවාහකයකු අන් අයකුගේ පේ‍්‍රම පාශයෙහි බැඳෙන්නේ නම් ඔහුගේ කුලගෙය දෙදරා නොගොස් තිබේන්නේ නැත. ඔහුගේ පියඹ හැර නොයා සිටින්නේ නැත. බණ්ඩාරගේ ගී සරණිය, කථාන්තරයක විලාසයෙන් මේ අත්දැකීම් ස්පර්ශ කරයි. පතිනිය විසින් හැර දමන ලද විවාහකයා මෙසේ කියයි.

කුලගෙය හැර ගිය පියම්බිකාවෙනි
ඔබට කියන්නට තවත් දෙයක් ඇත
මෙතුවක් විඳි දුක් මින් මතු කිසි දින
තෙරුවන් සරණින් ඔබට නො වේවා

(වික්ටර් රත්නායක)

කුලගෙය හැර ගිය පියම්බිකාව, පෙරළා පැමිණෙයි. එවිට වල්ලභයා කුලගෙය හැර යයි. මේ අතෝරයන්ගෙන් දුක් විඳින්නාහු කුලගෙයි වසන දූ දරුවෝය. බණ්ඩාරගේ හිත කථාන්තරයෙහි සිහින් හුය, දරු ප‍්‍රශ්නයෙහි ද පැටලෙයි. කුලගෙය හැර ගිය පියා, ඉන්දීවරී නැමැති සිය දියණිය අමතා මෙසේ කියයි.

ඉන්දීවරියේ හඬනු එපා
පියෙකුගෙ සෙනෙහස ඔබට අහිමි නැත
මා නෙත් කඳුලින් පිරෙන තුරා

සිරුරින් ඔබ ළඟ නො සිටිය පමණින්
පියකු නො මැතියයි සිතනු එපා
සදාකාලයෙන් සදාකාලයට
ඔබේ උරුමයයි ඔබේ පියා

(සනත් නන්දසිරි)

බණ්ඩාරගේ කවි ගී දෙස විමසිල්ලෙන් බලන්නකුට පෙනී යනුයේ ඔහු සිය කෙටි ජීවිත කාලය තුළදී තමාට හමු වූ චරිත තුන හතරකින් ඔබ්බට සිය කවිය හෝ ගීත මුදා හැර නැති බවයි. ඒ චරිත කිහිපය ඇසුරෙන් තමා ලද ඇතැම් අත්දැකීම් ඔහු සෘජුව කියා පෑවේය. තවත් අත්දැකීම් වක‍්‍රව පැවසීය. වක‍්‍රව පැවසූ තන්හි හොඳ කවි ද හොඳ ගී ද බිහි විය. ඒවා ජන හදවත් සසල කළේ එම අත්දැකීම්වල තිබුණු අව්‍යාජත්වය නිසාය. කවි ගී රචනා නොකළත් බණ්ඩාරගේ අත්දැකීම්, ලෝකවාසී තවත් බොහෝ දෙනාට ද පොදු වූ අත්දැකීම් නිසාය.

මහාචාර්ය සුනිල් ආරියරත්න

තවත් ළං වනු පමණකිය ඔබ... බණ්ඩාර කේ. විජයතුංග මතකය
advertistmentadvertistment
advertistmentadvertistment