තව කෙනෙක් මගේ ගහකට අත තියනවට මම කැමති නැහැ… ජීවිතය සහ ගහකොළ ගැන පී.බී. මෙතෙක් නොකියූ කතාවක්

524

* මගේ වෘත්තීය ජීවිතය මාරු වෙන්නේ වැසුණු ආර්ථිකයකින් විවෘත ආර්ථිකයකට
* වගාව මගේ ජීවිතය වගේ වුණා
 

සාකච්ඡා කළේ
ශ්‍යාම් නුවන් ගනේවත්ත /මනෝජ් අබයදීර

නිලධාරී තන්ත‍්‍රයේ ඉහළම ස්ථානය හොබවන හෙතෙම තදබල නිලධාරියකු ලෙස ප‍්‍රකටය. ඔහුගේ කතා බහ අතිශය විෂයානුබද්ධය. පෞද්ගලික ජීවිතයක් පිළිබඳව කිසිවිටක ඔහු සිය රාජකාරියේදී කතා කරන්නේ නැත. ඒ ආචාර්ය ජයසුන්දර සිරිතය. ආර්ථිකය මෙහෙයවීමේ වසර ගණනක වගකිවයුත්තා ලෙස සේවය කළ ඔහු දැන් ජනාධිපති ලේකම් අසුනේ සිට රටේ සියලූ පරිපාලනය මෙහෙයවමින් සිටියි. ඔහු සමග ආර්ථිකය හැරුණු කල වෙනත් කතාබහක යෙදීමේ අවශ්‍යතාවයක් සපුරා ගැනීමේ ප‍්‍රතිපලයක් ලෙස මෙම සාකච්ඡාව හඳුන්වා දිය හැකිය. ආචාර්ය පී.බී.ජයසුන්දර හමුවීමට, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔහුගේ කාර්යාලයට අප යන විටම දකින්නට ලැබුණේ, වායුසමනය වසා දමා, ගාලූමුවදොර පිස, ඉන්දියන් සාගරයෙන් නැගී එන සුළෙඟන් සිය කාමරය ඔහු පුරවාගෙන සිටින බවය. සාකච්ඡාව මුලදී අපට හමු වූ ජනාධිපති ලේකම් වෙනුවට අවසානයේ දී අපට සමුදුන්නේ ගහට කොළට පෙම්බැඳි, මහ ගොවියකු ය. ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, ජනාධිපති ලේකම් ලෙස පුවත්පතකට ලබාදෙන පළමු සාකච්ඡාව මෙයය.

ප‍්‍රශ්නය – සියලූදෙනාම ඔබගෙන් විමසන්නේ රටේ ආර්ථිකය ගැන. රාජ්‍ය නිලධාරියකු ලෙස ජනාධිපති ලේකම්වරයා දක්වා ඔබ ආ ගමන් මගේ කතාව අපි දැනගන්න කැමතියි.

පිළිතුර – විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව 1974 දී තමයි මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වෙන්නේ. ඒ කාලේ වැසුණ ආර්ථික ක‍්‍රමයක් යටතේ තමයි අපි අධ්‍යාපනය හැදෑරුවේ. ප‍්‍රාථමික අධ්‍යාපනය, ඊට පසුව උසස් අධ්‍යාපනය සහ ඊට පස්සේ සරසවි අධ්‍යාපනය අවසන් කරන කොටත් වැසුණු සමාජ දේශපාලන ආර්ථික ක‍්‍රමයක තමයි අපි හැදුණේ… ඉගෙන ගත්තෙත් එහෙමයි. ඊට පස්සේ 1977 පමණ වන විට, ඒ ආර්ථිකය අර්බුදවලට මුහුණ දෙනවා. මම දකින තාලෙට ඒ අර්බුදයේ උච්ච අවස්ථාවක් තමයි ඒ… පනස් ගණන්වල ආරම්භ වූ නොදියුණු රටවල වැසුණු ආර්ථික ක‍්‍රමවල ජනප‍්‍රියතාවත් එක්ක සකස් වූ ඒ චක‍්‍රය ඉවර වෙන කාලේ. මේ අපට විතරක් නෙවෙයි ලෝකයටම, තෙල් අර්බුදයක් එනවා, ආහාර අර්බුදයක් එනවා. එතකොට විදේශ විනිමය අර්බුදයක් ඇති වෙනවා. එහෙම අපි වරින්වර මුහුණ දෙන චක‍්‍රවල එක චක‍්‍රයක තමයි අපේ අධ්‍යාපන සමය ගත වුණේ. 1977 දි ආර්ථිකය විවෘත කරනකොට අපිට ඒක ලොකු සතුටක්. මොකද මේ සියලූබැමිවලින් ආර්ථිකය නිදහස් වෙනවා කියන හැඟීම අපිට ආවා. එතකොට අපේක්ෂා සකස් වුණේ දේශීය ආර්ථිකයක් සකස් කරගන්න එක නෙවෙයි. තිබුණු හිරවිල්ලෙන් එළියට එන එක සඳහා.

දැන් කොරෝනා සීමා ඉවර වෙනකොට මිනිස්සු එළියට එන්න බලාගෙන ඉන්නවා වගේ වැඩක්. ඒ අය දන්නේ නෑ, මොකටද මේ පනින්නේ කියලා. ආයි කොරෝනා රැල්ලක් හදා ගන්නවා ද කියන දේ ගැන හිතන්නේ නැහැ. නායකයන්ට එහෙම හිතුනෙත් නැහැ. මේක විවෘත කරහම, නිෂ්පාදන විවෘත ආර්ථිකයක් වෙනුවට, වෙළෙඳ විවෘත ආර්ථිකයක් තමයි හැදෙන්නේ කියලා මේ කවුරුවත් හිතුවේ නැහැ. ඒක තමයි වුණේ. මගේ වෘත්තීය ජීවිතය මාරු වෙන්නේ වැසුණු ආර්ථිකයකින් විවෘත ආර්ථිකයකට. ඒ කාලේ මම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හිටියා. පශ්චාත් උපාධිය කළා. ඊට පසුව පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලේ, දිළිඳුකම පිටුදැකීමේ කාර්ය සාධක බලකායක් පත් කළා. ඒකේ මම මහ බැංකුවේ අධිපති වර්ණසේන රාසපුත‍්‍රම් මහතා සමග වැඩ කළා. ඒ වැඩ කළාට පසුව ජනසවිය වැඩසටහන සඳහා සේවය කළා. සුසිල් සිරිවර්ධන වගේ අයත් දැනගත්තා.

ප‍්‍රශ්නය – මහ බැංකුවේ හිටපු ඔබ, මුදල් අමාත්‍යාංශයට මාරු වුණේ ඇයි…?

පිළිතුර – ඒ කාලේ ඔය ජනසවිය ක‍්‍රියාත්මක කිරීම අර්බුදයක් වෙලා තිබුණ. ඒ අවස්ථාවක මෙහෙ (ජනාධිපති ලේකම් කාර්යාලයේ) රැස්වීමක් තිබුණා. එකට මමයි තව එක් කෙනෙකුයි මහ බැංකුවෙන් ආවා, ඒ රැස්වීමට. අපි ඒකේ අදහස් දැක්වුවහම එයා ආර්. පාස්කරලිංගම් මහතාට කියල තිබුණා, මාව ටෙ‍්‍රෂෙරියට ගන්න කියලා. මම දන්නේ නැහැ මොකටද එන්න කිව්වේ කියලා. මම කිව්වා මම ටෙ‍්‍රෂෙරියට ආස නැහැ, මම මහ බැංකුවට තමයි කැමති කියලා. එයාට උදව් කරන්න, පාට් ටයිම් හරි එන්න කිව්වා. ඉතිං එහෙම තමයි මම මහා භාණ්ඩාගාරයට උපදේශකයෙක් විදියට ආවේ.

ප‍්‍රශ්නය – චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ ඔබ මුදල් අමාත්‍යංශයේ ලේකම් බවට පත්වෙනවා. ඒ තනතුර ලැබෙන්නේ කොහොමද…?

පිළිතුර – 89 – 90 කාලයේ, 1993 දී විතර වෙනකම්, මම මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුව කියන දෙකේම වැඩ කළා. ඊට පසුව තමයි ආණ්ඩුව ආයිත් වෙනස් වෙන්නේ. චන්ද්‍රිකා මැතිනිය තමයි බලයට ආවේ. මම හිතුවා, නැවත අපිට මහ බැංකුවට යන්න වෙයි කියල. ඒ අවස්ථාවේ ඒ.එස්. ජයවර්ධන මහතා තමයි මුදල් ලේකම් විදිහට කටයුතු කළේ. මම කිව්වා මැඩම්ගෙන් අහලා, කැමති නම් විතරක් ඉන්නම් කියලා. ඒ ආණ්ඩුව ආවේ පාන් රු.3.50 ට දෙනවා කියලා. අපි ඒ ගැන කරුණු දැක්වුවා. ඊට පසුව මට මැඩම් කිව්වා, මුදල් අමාත්‍යංශයේ දිගටම ඉන්න කියලා. පසුව මට ආර්ථික ප‍්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති කියන දෙපාර්තමේන්තුව දුන්නා. මම ඒකේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළා. වසරකින් පසුව මාව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් කළා. තව වසරක් ගියාම ලේකම් කළා. ඊට පසුව රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ සේවා කොමිෂන් සභාවේ හිටියා.

ප‍්‍රශ්නය – එජාපය මහ මැතිවරණයෙන් බලයට පැමිණි පසු, ඔබ මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුරෙන් ඉවත් වෙනවා…

පිළිතුර – ඔව්… 2002 ආණ්ඩුව එද්දී මම ලේකම්කමින් ඉවත් වුණා. හැබැයි මම .පර්ක්. එකේ හිටියා. පසුව නැවත 2004 වසරේදී මැතිනියගේ ආණ්ඩුව ආවහම මැතිනිය මට එන්න කිව්වා. මුදල් ඇමැති ලෙස පත් වුණේ, සරත් අමුණුගම ඇමැතිතුමා. ඊට පසුව 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආවහම එයත් මට ඉන්න කිව්වා. ඉන් පසුව 2008 දී උසාවි තීන්දුවක් මත මට ඉවත් වෙන්න වුණා. මම හිතුව ආයි තනතුරුවලට එන්නේ නැහැ කියල. ඡුන්දේ අවසන් වූ ගමන්, ආයි ජනාධිපතිතුමා මට එන්න කිව්වා. ඒ අනුව මම ඇපිල් එකක් දාලා, ඒ ප‍්‍රශ්නයත් විසඳගෙන නැවත ආවා. එහෙම ඇවිත් 2015 වෙනකම් ඉඳල ගෙදර ගියා. ඉතිං එහෙම තමයි ඒ කාලේ ගත වුණේ. (සිනහසෙයි)

ප‍්‍රශ්නය – ඒ ආණ්ඩු පෙරළියත් එක්ක, මේ රටේ මහා ආර්ථික පෙරළිකාරයා, දැවැන්තයා, කියපු ආචාර්ය ජයසුන්දර මහත්තයා, බූට් දෙකක් දාගෙන කොට කලිසමකින් සැරසිලා, වගාකරුවෙක් බවට පත් වෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ගොවියෙක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද…?

pb2

පිළිතුර – 2015 වසරේ දේශපාලන පෙරළියත් සමග මම අනාගතය ගැන කල්පනා කළා. මම තනතුරින් යනකොටත් වෘත්තීමය අත්දැකීම් රාශියක් තිබුණා. මම රටේ විවිධ ආයතනවල වැඩ කරපු කෙනෙක් ලෙස, ඇත්තටම 2015 වසරේදී විශ‍්‍රාම යායුතු පුද්ගලයෙක්. මගේ හැඟීම වුණේ, මම විශ‍්‍රාම ගියාට පසුව ගෙදර ඉන්න ඕනේ කියලා…

ප‍්‍රශ්නය – ඒ කියන්නේ කොළඹින් ගමට ගියාද…?

පිළිතුර – ඔව් කොළඹ කරන්න වැඩකුත් නැහැ. කොළඹ නිකන් ඉඳල තවත් වෘත්තිය වැඩ කියල ලිපි ලියන්න පුළුවන්. උපදේශක කටයුත්තකට යන්න පුළුවන්. හැබැයි මම ගමේ ගියා. ඒත් මම වෘත්තිය කැමැත්ත අතහැරියෙත් නැහැ. පොඩි පොඩි උපදේශන වැඩ කිහිපයක් කරා. මම නේපාලෙට ගියා. වියට්නාමෙට ගියා. මියන්මාරෙට ගියා. මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ ව්‍යාපෘති කිහිපයක මම ඒ වැඩ කළා. යම් යම් අධ්‍යයනයන් කරා. ආර්ථිකය ගැන හැමවෙලාවෙම මම තොරතුරු අධ්‍යයනය කරා. මහ බැංකුව සතිපතා තොරතුරු නිකුත් කරනවා. මම ඒවත් බැලූව. හැබැයි මට එක දවසකට ලොකු වැඩක් නෙවෙයි. අනික මට වෘත්තිය තෘප්තිය ඇරුණහම වෙන දේකුත් නැහැ. පැයක් දෙකක් ඕක බැලූවම එදා දවසේ වැඩ ඉවරනේ. මේ නිසා මට කාලය ගොඩක් ඉතිරි වුණා. මම ගමේ ගියා. ගෙදර බොහොම අබලන්ව තිබුණේ. මම මුලින්ම කළේ, ගෙදර ටිකක් අලූත්වැඩියා කළා.

කාලය තිබුණු නිසා, වගා කරන්න ඕන කියල මම හිතුවා. අඹ පැළ 300 ක් හැදුවා. පැළ හිටවන්න වළවල් කපන එක හැර, ඉතුරු කටයුතු මමම තමයි කරගත්තේ. සමහර දවසට වතුර දාන්න වුණා. ගස් කප්පාදු කරන එක, මම කාටවත් දෙන්නේ නැහැ. තව කෙනෙක් මගේ ගහට අත තියනවට, මම කැමති නැහැ. ඒ ගහට මට බැඳීමක් තියෙනවා කියලා. එක ගහක් බලලා, අනිත් ගහට නොගියොත්, ඒ ගහ විරසක වෙයි කියලා, මට තේරෙන්න පටන් ගත්තා. මම කොහොම හරි ඒ ගස් ටික ලස්සනට හදා ගත්තා. ඒ ගස් හැදුනට පස්සේ අර ළමයි ලොකු වෙනවා වගේ. මේ වගාව මගේ ජීවිතය වගේ වුණා. මම දොඩම් හැදුවා. අන්නාසි හැදුවා. කෙසෙල් හැදුවා. හිස්තැන්වල පොල් පැල ඉන්දුවා . තැඹිලි, ඩ‍්‍රැගන් ෆෘට් හැදුවා. ලෙමන්, කොස් වගේ දේවල් ගොඩක් හැදුවා. ගස්වලින් ගත්තොත්, භූමිය වගේ දහ ගුණයක වගාවල්, ඒ වත්තේ තියෙනවා. අක්කරයක් අරන් පොල් ගස් 75 ක් 80 ක් වෙනුවට, තව බෝගයක් දැම්මොත් අක්කර දෙකක්නේ. මම එහෙම හිතන්න ගත්තා. පොත පතේ තියන වර්ටිකල් ඇග‍්‍රිකල්චර් මට වැඩක් නැහැ. ඒවා ෆ්ලැට්ස්වල ඉන්න අයට, රාක්ක ගහගෙන පෝච්චිවල එහෙම කරන්න පුළුවන්. හැබැයි මට මේක තමයි වර්ටිකල් ඇග‍්‍රිකල්චර්. මොකද එක අක්කරේ, අක්කර පහ කරන්න පුළුවන් ඔහොම තමයි වගාවට ගියේ. දැන් මට වගාව නැතුව ජීවත්වෙන්න අමාරුයි.

ප‍්‍රශ්නය – ලේකම්කමට වඩා ගොවිකමට ඔබ කැමතියි වගේ…

පිළිතුර – මම කොළඹ ඉන්න දවස්වල ව්‍යායාමයට ඇවිදිනවනෙ. අවුරුදු හතළිහක්ම මම ඇවිදලා තියෙනවා. යුද්ධ කාලෙත් මම ඇවිදිනවා. පස්සේ මම ජිම් එකටත් ගියා. ජිම් එකේ කරන ඒවා අර වත්තේ කරනවා. දැන් වතුර බානකොට එතන කරන ව්‍යායාමය තමයි ජිම් එකේ මැෂින් එකෙන් කරන්නේ. වතුර පනිට්ටු දහයක් බෑවොත්, අත් දෙකටම ව්‍යායාම තියෙනවා. අර ලීටර් හයේ බකට්වලට ඒක දාගත්තහම, වේට් බැලන්ස් එකටත් හොඳයි. ඒක තමයි මගේ ජීවිතේ. (සිනහසෙයි). ගමේ ගියාම වත්තේ තියෙන ඒවා තමයි කන්නේ, හුඟක් වෙලාවට. ඉතිං ඔය අස්සේ වැහි කාලෙ ආවහම හරිම ලස්සනයි. කොටින්ම මට පේනවා 2015 ඉඳන් දැන් මේ 2021 මේ මාසේ දක්වාම කාලය තුළ මුළු වත්තේම පරිසරය වෙනස් වෙලා. සත්තු වෙනස්, කුරුල්ලෝ වෙනස් පස්, තණකොළ ගස්වල පාට වෙනස් වෙලා. අමුතුම පරිසරයක්. නිකවැරටිය ගමේ තියෙන වත්තක් ද කියල හිතාගන්න බැහැ.

ප‍්‍රශ්නය – කහ වවලා නැද්ද…?

පිළිතුර – (සිනාසෙමින්) කහ වවලා තියෙනවා.

ප‍්‍රශ්නය – නිකවැරටියේ වගා කටයුතු කරමින් ඉන්න ආචාර්ය ජයසුන්දර, ජනාධිපතිවරණයෙන් පසුව, ජනාධිපති ලේකම් තනතුරට පත්වෙනවා…?

පිළිතුර – ජනාධිපතිවරණය ඉවර වුණ ගමන් ගෝඨාභය ජනාධිපතිතුමා මට කතා කළා. එතකොට මම දේශපාලන වැඩවලට සම්බන්ධ වෙලා හිටියෙත් නැහැ. එතුමා වියත්මග කරලා, ගොඩක් බුද්ධිමතුන්, රටේ විවිධ ක්‍ෂේත‍්‍රයන්හි අත්දැකීම් තියෙන අය එතුමා එක්ක ඉද්දි මම හිතුවේ නැහැ, මට කෝල් කරයි කියලා. හැබැයි මම සුදුසු වෙලාවක් එනකම් හිටියේ එතුමට කෝල් එකක් දීලා සුබපතන්න. මුදල් අමාත්‍යාංශ ලේකම් හැටියට මම, එතුමාව අවුරුදු දහයක කාලයක් දැනගෙන හිටියා. කෝල් එකක් දීලා එතුමා මගෙන් ඇහුවා, මගේ ලේකම් වෙන්න පුළුවන් ද කියලා. මම ඒ කිසිම දෙයක් හිතලා නෙමෙයි හිටියේ, මැතිවරණ ප‍්‍රතිඵල අහ අහ හිටියේ…

ප‍්‍රශ්නය – මහින්ද රාජපක්ෂ මහතා ඔබට කතා කරලා, ජනාධිපති ලේකම්කම භාරගන්න කිව්වාද…?

පිළිතුර – නෑ. ජනාධිපතිතුමා මට කතා කළාට පස්සේ කිව්වා, මහින්ද අයියට කතා කරන්න කියලා. එතුමා එහෙම්ම ෆෝන් එක මහින්ද රාජපක්ෂ මහතාට දුන්නා. මම කිව්වා ”සර් මම දන්න වැඩකුත් නෙවෙයි ඕක. ඕක පරිපාලන කටයුත්තක්නේ…”

”නෑ ඕක ටික කාලෙකට හරි කරලා බලන්නකෝ… එන්නකෝ…” කියල කිව්වා. මම හිටියේ බත්තරමුල්ලේ… ඡන්දේ දාට පහුවදානේ; වාහනත් නැහැ, මුකුත් නැහැ, මට රියදුරෙක් හිටියෙත් නැහැ. මම ටැක්සියක් අරගෙන, ගාමිණී සෙනරත්ගේ ගෙදරට ගියා. අගමැතිතුමා ඇවිත් තනියම මාත් එක්ක කතා කළා. ”ටික දවසකට හරි එන්න…” කියලා කිව්වා. ටික දවසක් කියල හිතාගෙන තමයි ආවේ… මේක තමයි ජනාධිපතිතුමාගේ පළවෙනි පත්වීම. එතුමා පළමුවෙන්ම නිලධාරියෙක් පත් කරන්න කතා කරපු අවස්ථාව. එහෙම කතා කළා. මම ආවා.

ප‍්‍රශ්නය – අප ඔබව දන්නේ අර්ථශාස්ත‍්‍රඥයෙක් ලෙසයි. එසේම දිගු කලක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔබ කටයුතු කළා. දැන් ඔබ ජනාධිපති ලේකම් මේ අත්දැකීම කොහොමද?

පිළිතුර – මේක මහ භාරධූර කාර්යයක්නේ… 19 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තමයි රටේ ප‍්‍රධාන විධායකයා. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ වුණත්, ජනාධිපතිතුමා තමයි රටේ සේනාධිනායකයා, රාජ්‍ය නායකයා, අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා. විධායකයේ ප‍්‍රධානියා… මේ ආදී භූමිකා රාශියක් එතුමාට තියෙනවා. එතකොට ජනාධිපතිවරයාගේ ලේකම් කියන්නේ මේ විවිධ පැතිකඩයන් හසුරුවන පුද්ගලයාට… මේක අමාත්‍යාංශ ලේකම් තනතුරක් වගේ නෙවෙයි. මොකද ජනාධිපති ලේකම් තනතුර තියෙන්නේ, ජනාධිපතිවරයාට පැවරෙන කාර්යභාරයේ විධානය ක‍්‍රියාත්මක කරන්න. මම මෙතනට ආවහම මුදල් අමාත්‍යාංශය වගේ සංවිධානාත්මක ව්‍යුහයක් තිබුණේ නැහැ. මුදල් අමාත්‍යාංශ ලේකම් වුණහම, භාණ්ඩාගාරය කියන්නේ, එහෙම නැත්නම් මහ බැංකුව කියන ඒවා, එක පිළිවෙළකට, ආයතනික ව්‍යුහයක් තුළ නීතිමය රාමුවක් තුළ සකස් වූ ආයතන. මෙතැන එහෙම නෙමෙයි. හරිම සංකීර්ණ ව්‍යුහයක්. විවිධ ව්‍යාපෘති තියෙනවා. එක එක කාර්යාල තියෙනවා. ජනාධිපති කාර්යාලයේ සංවිධානාත්මක ව්‍යුහය එච්චරම පැහැදිලිව තිබුණේ නැහැ. ඉස්සෙල්ලම ඇවිත් කරන්න තියෙන කාර්යභාරය මොකක්ද කියලා මම බැලූව. ජනාධිපතිතුමාගේ මූලික වගකීම තමයි ව්‍යවස්ථාවට අනුව විධායක බලය ක‍්‍රියාත්මක කිරීම. අගමැතිවරයා පත් කිරීම, ඇමැතිවරු පත් කිරීම, ඊට පස්සේ තානාපතිවරු පත් කිරීම, විනිශ්චයකාරවරු පත් කිරීම සහ අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීම ආදී විශාල කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ඒක තමයි විධායකය ක‍්‍රියාත්මක කරන්න තියෙන ක‍්‍රමවේදය. ඒ අනුව මේ සංකීර්ණ සහ භාරදූර ව්‍යුහය තුළ මගේ කටයුතු සිදු කරගෙන යනවා.

ප‍්‍රශ්නය – ඔබ දේශපාලනඥයන් ගණනාවක් සමග, ජනාධිපතිවරු ගණනාවක් සමග කටයුතු කර තිබෙනවා. මේ වෙනස් විදිහක ජනාධිපතිවරයෙක්… ගෝඨාභය රාජපක්ෂ මහතා කොයි වගේ නායකයෙක්ද?

පිළිතුර – මේ ජනාධිපතිතුමා දේශපාලනඥයෙක් නෙවෙයිනේ. වෘත්තීමය චරිතයක්නේ. මාස 18 ක කාලයක් ජනාධිපති ලේකම්වරයා වශයෙන් මම දැන් කටයුතු කරලා තියෙනවා. මම කලින් දැක්ක ආරක්ෂක ලේකම්ට වඩා මේ ජනාධිපතිතුමා හරිම වෙනස්. මොකද මෙතුමා හුඟක් පොත පත කියවනවා. ඒවගේම හුඟක් තොරතුරු ගවේශනය කරනවා. එතුමාට යමක් සෑහීමකට පත්වෙන තුරු සාක්ෂාත් වෙනකම් නිගමනයකට එන්නේ නැහැ. හැඟීම්බරව තීරණ ගන්නේ නැහැ. එතුමා හුඟක් පැති අහන්න කැමතියි. එහෙම අහල තමයි තීරණ ගන්නේ. එතුමාගේ කන්තෝරුවට ගියොත්, ජනාධිපතිතුමාගේ මේසයේ කිසිම ලියකියවිල්ලක් කොයි වෙලාවකවත් නැහැ. ඒ වෙලාවේම ඒ වැඩ ඉවර කරනවා. තමන්ගේ සියලූ වැඩ ඉවර කරලා තමයි එතුමා ගෙදර යන්නේ.

pb3

ඒ වගේම එතුමාට තාක්ෂණය ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. ලෝක තොරතුරු ගැනත් හරි අවබෝධයක් තියෙනවා. ලොකු දැක්මක් තියෙන නායකයෙක්. ඒකත් මට ලොකු අලූත් අත්දැකීමක්. මොකද මම වැඩ කරලා තියෙන හැම නායකයෙක්ම…. මම මීට කලින් මුදල් අමාත්‍යාංශ ලේකම් වුණාට ජනාධිපතිවරු දෙන්නෙක්ගේ අමාත්‍යාංශනේ. එතකොට මම තවත් ඇමැතිවරු රාශියක් එක්කත් වැඩ කරලා තියෙනවා. සරත් අමුණුගම, මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, යූඑන්පී ආණ්ඩු කාලේ මිලින්ද මොරගොඩ එහෙම ඇමැතිවරුත් හිටියනේ. හැබැයි මේ හැම එක්කෙනෙක්ම දේශපාලනඥයෝ… ඒ දේශපාලනඥයෙක් තමයි සාමාන්‍යයෙන් හුඟක් රටවල්වල මැති ඇමැතිවරු වන්නේ, අගමැතිකම් කරන්නේ. හැබැයි ඒ අයගෙන් මට නම් මගේ වාසනාවකට දේශපාලන වශයෙන් මට මැතිනියගෙන්වත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ එතුමන්ගෙන්වත්, බැසිල් රාජපක්ෂ, සරත් අමුණුගම ඇමැතිවරුන්ගෙන්වත් මුදල් අමාත්‍යාංශයේ, භාණ්ඩාගාරයේ කටයුතු කිරීමට බලපෑමක් තිබුණේ නැහැ. නමුත් අපි දන්නවනේ ඒ අය දේශපාලනඥයෝ කියලා. මිනිස්සු හමුවෙනවා විවිධ ඉල්ලීම් තියෙනවා. ඒත් මෙතුමා දේශපාලනඥයෙක් හැටියට නෙවෙයි, ඒවා දිහා බලන්නේ. විවෘත මනසකින්. කරුණු කාරණා සහිතව පරීක්ෂා කරලා යම් විසඳුමක් ගන්න හැටි තමයි එතුමා බලන්නේ. ඉතිං ඒක මට ලොකුම අත්දැකීමක් වුණා. එතුමා වෙලාවට වැඩ කටයුතු කරන කෙනෙක්. හරිම පිළිවෙළයි. හරිම සරලයි. හරිම නිහතමානියි. අනම් මනම් කතාබතා නෑ. (සිනහසෙමින්) කාලය නාස්ති කරන්නේ නැහැ. ඒ නිසා එතුමත් එක්ක පැය අටක් වැඩ කරනකොට වෙනත් කෙනෙක් එක්ක පැය තිහක් හතළිහක වැඩ කරා වගේ. එතුමා හැම දෙයක්ම පරීක්ෂා කරනවා. සුපරීක්ෂාකාරීව කටයුතු කරනවා. බිම් මට්ටම ගැන උනන්දු වෙනවා.

ප‍්‍රශ්නය – ඔබට වඩාත්ම අත්දැකීම් තිබෙන ආර්ථික විෂය පිළිබඳව ජනාධිපතිතුමාගේ ඒ ගැන දැක්ම කොහොමද…?

පිළිතුර – නායකයෙක් වුණහම ඒ දැක්මේ ආර්ථීකමය පැත්තක් තියෙනවා. විදේශ ප‍්‍රතිපත්තියේ පැත්තක් තියෙනවා. ජාතික ආරක්ෂාවේ පැත්තක් තියෙනවා. සමාජ සුභසාධනයේ පැත්තක් තියෙනවා. දේශපාලන පැතිකඩක් තියෙනවා. මෙතුමාගේ ඒ සියලූ දැක්මවල් මගේ මතයට එතුමාගේ මතය ඉතා සමීපයි. මම විශ්වාස කරන ජාතික ආර්ථිකය ගැන, මටත් වැඩිය ගැඹුරින් එහි ආර්ථිකමය කරුණු තර්කානුකූලව බලනවා. ඒ කියන්නේ අප කතා කළේ, ආයාත ආදේශන, හැටියට හරි එහෙම නැත්නම් දේශීය වශයෙන් නිපදවිය හැකි භාණ්ඩ හෝ නිපදවන භාණ්ඩ, පිටරටින් ගේන්නේ කියන සරල රාමුවල නෙවෙයි එතුමා ඉන්නේ. දැන් අපිම කතා කරන ආර්ථික විද්‍යාවේ සාපේක්ෂ වියදම් වාසිය තියෙන්නේ මොනවට ද කියල තමයි එතුමා අපෙන් අහන්නේ… අපේ රටේ බුද්ධිමත් ශ‍්‍රම බලකායක් ඉන්නේ. දැන් මේ කොරෝනා ප‍්‍රශ්නයේදි වුණත්, මම හිතන්නේ ලෝකයේ රටවල්වලින් සැප්තැම්බර් මාසේ වෙනකොට වැඩි ප‍්‍රතිශතයක් එන්නත්කරණය කරන දියුණු වන රටක් තියෙනව නම් ඒ ලංකාව. එතුමා දකින්නේ අපේ මානව සම්පත තුළ තමයි අපේ ආර්ථික ශක්තිය තියෙන්නේ කියලා. මේ කොරෝනා කාලේ වුණත් අපට ආහාර අර්බුදයක් නැතුව දේශීය නිෂ්පාදනය තියෙනවා. ප‍්‍රශ්නය තියෙන්නේ, නිපදවන එක බෙදා ගන්න දන්නේ නැතිකම. වෙළෙඳපොළට සහ පාරිභෝගිකයට ගේන ක‍්‍රම පිළිබඳ ගැටලූ මිසක් නිෂ්පාදනයේ ගැටලූවක් අපි දැක්කේ නැහැ. ඔය කාලේ වුණත් අවශ්‍ය දේ නිෂ්පාදනය කරගත්තා.

ඔබට මතක ඇති අර 70 ගණන්වල ලෝක ආර්ථිකය ක‍්‍රමයෙන් විවෘත කරලා 80, 90 ගණන්වල අපි කතා කරේ ව්‍යුහාත්මක වෙනස්කම් ගැනනේ. ව්‍යුහාත්මක වෙනස්කම් කියලා, ඒ කාලේ කතා කළේ රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කිරීම, එහෙම නැත්නම් තීරු බදු අඩු කිරීම, එහෙම නැත්නම් බැංකු පුද්ගලික අංශයට විවෘත කිරීම, එහෙම නැත්නම් මුදල් වෙළෙඳපොළ තරගකාරීව විවෘත වෙළෙඳපොළට ලක් කිරීම, බැඳුම්කර වෙළෙඳපොළක් හැදීම, කොටස් වෙළෙඳපොළක් හැදීම වගේ දේවල් තමයි එදා අපි ව්‍යුහාත්මක වෙනස්කම් කියල කතා කරේ. ඊළඟට කම්කරු නීති වෙනස් කිරීම, නැත්නම් රටේ පුද්ගලික අයිතිය පිළිබඳ ඇති දේවල් වගේ ව්‍යුහාත්මක වෙනස්කම් තමයි අපි කතා කරේ. හැබැයි මෙතුමා කතා කරන්නේ, ලොකු ව්‍යුහාත්මක වෙනසක්. ඒ ව්‍යුහාත්මක වෙනස තමයි කෘෂිකර්මය. දැන් මේ කෘෂිකර්මය අද අපි කතා කරන්නේ තාක්ෂණික ලෝකයක. එතකොට අපේ කෘෂිකර්මයට කොච්චර තාක්ෂණය දෙසට ගිහිල්ලද? තාක්ෂණය ගිහිල්ල නෑ. ඒක තමයි ඇත්ත කතාව. බීජ ගත්තත්, පස සකස් කිරීම ගත්තත්, පැළ පෝෂණය කිරීම සහ අස්වැන්න නෙළා ගැනීම ගත්තත්, තාක්ෂණයක් නැහැ. අපි අල, ලූනු, පරිප්පු සියඹලා, මුංඇට, කව්පි ආදී සියලූ දේ ගෙන්වන ආර්ථිකයක් බවට පත් වුණා. අපේ වෙළෙඳ ප‍්‍රජාවත් සකස් වුණා ගිහින් එල්සී එකක් අරිනවා. ඒකෙන් කොහෙන් හරි ගේනවා. ඒවා බෙදා හරිනවා. ඒ බෙදා හැරීම ඇරුණම දේශීය නිෂ්පාදනය එන්න එන්නම ප‍්‍රාථමික වුණා. ඒ කියන්නේ ගමේ හදා ගන්න එක වුණත් ගමට සීමා වූ දෙයක් වුණානේ. ඔන්න ඕක තමයි තත්ත්වය.

මේ නිසා තාක්ෂණය කෘෂිකර්මයට ගේන්නේ කොහොමද පිටරටින් ගේන නිෂ්පාදන දේශීයව කරන්නේ කොහොම ද ඒකට දැඩි තීන්දුවක් ගන්නේ කොයි ආකාරයට ද කියන ඒවා සම්බන්ධයෙන් එතකොට අර ආනයනය තහනම් කරලා රට තුළ නිපදවීම පමණක් නෙවෙයි. ඊට එහා පසට මොක ද වෙලා තියෙන්නේ. ජලයට මොකද වෙලා තියෙන්නේ. වායුවට මොක ද වෙලා තියෙන්නේ කියන එක උඩ තමයි රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට පරිවර්තනයක් මේ වෙන්නේ. ඒ වගා කරන ඒ නිෂ්පාදන ක‍්‍රියාවලියම ජීවන චක‍්‍රයම එතුමා බලන්නේ… දැන් මේකේ ජනප‍්‍රියභාවය දිහා බලනවා ද, මිනිස්සු කොපමණ ප‍්‍රමාණයක් වකුගඩු, පිළිකා, දියවැඩියා ආබාධ හෝ බෝ නොවන නිසා සමාජයට කොච්චර දුරට බලපාල තියෙනවා ද? දැන් කොරෝනා නම් පේන එකක්. නොපෙනෙන ව්‍යසනයක් රටේ තියෙනවා. එතකොට මේකට විවිධ රජයන් උත්සාහ ගත්තා. අර සමහර ප‍්‍රතිසංස්කරණ තියෙනවා ක‍්‍රමයෙන් සිදුකරන. ඒත් ලෙඩ රෝගවලට එහෙම දෙයක් නැහැනේ. දියවැඩියාව හැදුනොත් දියවැඩියාව ටිකක් තියෙනවා කියල නැහැනේ. පිළිකාව ටිකක් තියෙනවා කියල නැහැ. ඒ නිසා නිරෝගිමත් සමාජයක් බවට පත් කරගන්න ජීවන රටාවම වෙනස් විය යුතු, පරිවර්තනයක් උඩ තමයි. මේ හරිත ආර්ථිකය කියන සංකල්පය තියෙන්නේ. ඊළඟට වාහන ගේන එක නවත්වන්නේ රටට විදේශ විනිමය නැතිකම නිසාම නෙවෙයි. මම එතනදී තමයි දැක්කේ එතුමාගේ ප‍්‍රතාපවත් නායකත්වය. අපි හිතමු අපි කහ ගෙන්වන එක, මුං ඇට ගෙන්වන එක නවත්වනවා කියල. ඕවා ඔක්කොටම කීයද යන්නේ… ඕන නම් ඩොලර් මිලියන දෙකක් තුනක් යයි. හැබැයි තෙල් සහ පොසිල ඉන්ධන විතරක් ගෙන්වන්න, ඩොලර් මිලියන 5000 ක් යනවා. එතකොට ඩොලර් මිලයන 5000 න් සියයට 10 ක් අඩු කරගන්නවා කියන්නේ, ඩොලර් මිලියන 500 ක් ඉතුරු කිරීමක්…

මීට වසර දහයකට පෙර මුලින් ආර්ථික සැලසුම් කරන කාලේ නොතිබුණු තාක්ෂණ වාසියක්, දැන් අපිට තියෙනවා. දැන් සූර්ය බල තාපය, ජලවිදුලියටත් වඩා බහුලයිනේ. ඒවගේම සුළං බලය. මේ තාක්ෂණ අද ඉතාම බහුලයි. එතකොට එතුමා කියන්නේ අපි පුනර්ජනනීය බලශක්තියෙන් අවම වශයෙන් සියයට 70 ක්වත් සපුරාගෙන, ඉදිරි වර්ෂ දහය තුළ සියයට සියයකට යායුතුයි කියන එක. එතකොට අපි ක‍්‍රමක‍්‍රමයෙන් ඉතුරු ඒවායින් ඉවත් වෙන්න ඕන. එතකොට තමයි මේ තෙල් මත රඳා පවතින ආර්ථිකයෙන් අපට ගැලවෙන්න පුළුවන්. ඒක තමයි මම දකින විශාලම ගෙවුම් ශේෂ පරිවර්තනය.


advertistmentadvertistment