පසුගිය සිකුරාදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් හි පැවති ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ ඒකාබද්ධ සමුළුවකදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං එරට හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ බංග්ලාදේශයේ පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි. මේ ප්‍රකාශය දිල්ලිය නොව ඩකා අගනුවර කලබලයට පත්කළ ප්‍රකාශයක් විය. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, බංග්ලාදේශයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට අමතරව අනාගත යුද්ධවලට මුහුණ දීමට සූදානම් වන ලෙස රාජ්නාත් සිං සන්නද්ධ හමුදාවන්ගෙන් ඉල්ලා තිබේ. නමුත් බංග්ලාදේශයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්ෂක විශ්ලේෂකයින් අසල්වැසි රටේ වැදගත් ඇමැතිවරයකුගේ එවැනි ප්‍රකාශයක් සාමාන්‍ය දෙයක් ලෙස නොසලකයි. බංග්ලාදේශයේ සාමය සහ ආරක්ෂක අධ්‍යයන ආයතනයේ සභාපති සහ ආරක්ෂක විශ්ලේෂක විශ්‍රාමික මේජර් ජෙනරාල් ඒ.එන්.එම්. මුනිරුසාමන් බීබීසී බංග්ලා වෙත පැවසුවේ, ‘ඉන්දීය ආරක්ෂක ඇමැති මේ බව ප්‍රකාශ කළේ ඉහළ පෙළේ රැස්වීමකදීය. ඒ නිසා බංග්ලාදේශයට අනිවාර්යයෙන්ම ඒ ගැන කනස්සලු වෙන්න හේතුවක් තියෙනවා.” නමුත් ඉන්දියාවේ ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ එවැනි නියෝග ඉතා සුලබ බවයි. බංග්ලාදේශයට මේ ගැන කරදර වීමට එතරම් හේතුවක් නැතැයි ඔවුහු පවසති. ඉන්දියාවේ ආරක්ෂක අධ්‍යයන හා විශ්ලේෂණ පර්යේෂණ ආයතනයේ ස්මුර්ති පත්නයික් පවසන්නේ ඉන්දියාව බංගලිදේශය සමඟ යුද්ධයකට යෑමේ හැකියාවක් නොමැති බවයි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සඳහන් කරන්නේ ඊසානදිග දේශසීමාවේ මෙන්ම අසල්වැසි රටවල තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස රාජ්නාත් සිං සිය හමුදා ප්‍රධානීන්ට දන්වා ඇති බවය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් බංග්ලාදේශ බීඑන්පී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සම ලේකම් රුහුල් කබීර් රිස්වි පවසා තිබුණේ බංග්ලාදේශයේ ස්වාධීනත්වයට සහ ස්වෛරීභාවයට ගරු කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින බවයි. “හමුදාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පැවසූ දෙය භයානකයි යනුවෙන් බීඑන්පී නායකයා පවසා තිබිණි. ඉන්දීය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ෂෙයික් හසීනා සැනසීමට සහ ඇගේ ආධිපත්‍යය නැවත ලබා ගැනීමට ඇයට සහාය වීමට ඉන්දියාව දරන උත්සාහයේ කොටසක් දැයි රුහුල් කබීර් රිස්වි ප්‍රශ්න කරයි. ඇත්තෙන්ම ෂෙයික් හසීනා නැවත තම රටට එවන ලෙස බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා වන මොහොමඩ් යුනිස් ඉල්ලා ඇති අතර ඒ සියල්ල හමුවේ ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ ප්‍රකාශය නිසා ඩකා දේශපාලනය උණුසුම් වී තිබේ. වර්තමාන බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුව හා ඉන්දියාව අතර ඇත්තේ යහපත් සබඳතාවයක් නම් නොවේ. ෂෙයික් හසීනා අගෝස්තු පස්වැනිදා ඉන්දියාවට පලා යෑමෙන් පසුව බංග්ලාදේශයේ ඉන්දීය විරෝධය උත්සන්න වී ඇති අතරම සිරගත කර සිටි ඉන්දීය විරෝධී මුස්ලිම් අන්තවාදී නායකයින් නිදහස් කිරීමටත් අන්තර්වාර ආණ්ඩුව කටයුතු කර තිබේ. ෂෙයික් හසීනා කිසිම අවස්ථාවක මුස්ලිම් අන්තවාදයට හිස එසවීමට ඉඩ දුන්නේ නැත. නමුත් දැන් ඒ සියල්ල වෙනස්වී තිබෙන්නේ ඉන්දියාව කනස්සල්ලට පත් කරමිනි. පසුගිය දිනවල බංග්ලාදේශයට බලපා තිබූ ගංවතුර තත්ත්වය පිළිබඳව ද ඉන්දියාවට චෝදනා එල්ල විය. මන්ද තිපුර ප්‍රාන්තයේ වේල්ලක් ඇරීම මේ ගංවතුරට හේතුව බව බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුවේ ශිෂ්‍ය ප්‍රධානියා වන අස්ලාම් පවසා තිබිණි. එනිසාම ඉන්දියාවට එරෙහිව ඩකා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පෙළපාලි ගොස් තිබිණි. ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රකාශ වලින් සිදුවන්නේ ද ඩකා අගනුවර ඉන්දීය විරෝධය තවත් උත්සන්න වීම පමණකි. ඇත්තෙන්ම එරට ජාතික ගීය මෙන්ම ජාතික කොඩිය ද වෙනස් කළ යුතු බවට මතයක් ගොඩනැගී තිබේ. මෙයට හේතුව රබින්ද්‍ර නාත් තාගෝර් විසින් රචිත ජාතික ගීය හරහා ඉන්දීය බලහත්කාරය තම රට මත පැටවී ඇති බවට අරගලකරුවන් චෝදනා කිරීමයි..
ජාතික ගීය පිළිබඳ ආරවුල ආරම්භ වූයේ එය ස්වාධීන බංග්ලාදේශයක අනන්‍යතාවය සමඟ නොගැලපෙන බවට සමහර විචාරකයින් තර්ක කිරීමෙන් පසුවය. බංග්ලාදේශයේ හිටපු අමීර් ජමාත්-ඊ-ඉස්ලාමි ගුලාම් අසාම්ගේ පුත් අබ්දුල්ලාහිල් අමාන් අස්මි පැවසුවේ වත්මන් ජාතික ගීය 1971 දී නිදහස් වූ රටේ පැවැත්මට පටහැනි බවයි. එය බෙංගාල බෙදීම සහ බෙංගාල දෙක ඒකාබද්ධ වූ කාලය පිළිබිඹු කරයි. බෙංගාල දෙක එකතු කිරීම සඳහා නිර්මාණය කරන ලද ගීතයක් ස්වාධීන බංග්ලාදේශයක ජාතික ගීය බවට පත්වන්නේ කෙසේද? මෙම ගීය 1971 දී ඉන්දියාව විසින් අප මත පටවන ලදී. ජාතික ගීය බවට පත්කළ හැකි බොහෝ ගීත තිබේ. නව ජාතික
ගීයක් තෝරා ගැනීම සඳහා රජය නව කොමිසමක් පිහිටුවිය යුතුයි යනුවෙන් අබ්දුල්ලාහිල් අමාන් අස්මි පසුගිය අඟහරුවාදා මාධ්‍ය හමුවකදී පැවසීය. හසීනා බලයෙන් පහකිරීමෙන් පසුව නිදහස් කරන ලද හිටපු බි්‍රගේඩියර් ජෙනරාල්, ජාතියේ අනන්‍යතාවය සහ සාරධර්ම සමඟ වඩාත් හොඳින් අනුනාද වන නව ජාතික ගීතයක් ඉල්ලා තිබේ. නීති ඉස්ලාමීය මූලධර්ම සමඟ අනුකූල වන බව සහතික කිරීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සඳහා ද ඔහු ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. සමහර පරිශීලකයින් වත්මන් ගීය වෙනුවට විකල්ප ගීත යෝජනා කිරීමත් සමඟ අස්මිගේ කතාවට බංග්ලාදේශ සමාජ මාධ්‍යවල සහාය ලැබුණි. කෙසේ නමුත් “අමර් සෝනාර් බංග්ලා” නම් සිය ජාතික ගීය වෙනස් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවට බංග්ලාදේශ අන්තර්වාර රජය පසුව සහතික වී තිබේ.
මේ අතර ප්‍රකට ලේඛිකා තස්ලිමා නස්රීන් පවසා ඇත්තේ බංග්ලාදේශය ඇෆ්ගනිස්තානයක් බවට පත්වීමේ අනතුරක් මතුව ඇති බවයි. ඉස්ලාමීය රැඩිකල්වාදීන් තරුණයන්ගේ මොළ සේදීම සහ ඔවුන්ව “ඉන්දියා විරෝධී, හින්දු විරෝධී සහ පකිස්තාන ගැති” කණ්ඩායම් බවට පත්කර ඇති බවයි. ශිෂ්‍ය උද්ඝෝෂණ පිටුපස සිටියේද මුස්ලිම් අන්තවාදී බලවේග බව තස්ලිමා අවධාරණය කරයි. ලජ්ජා ග්‍රන්ථයේ කතුවරිය 2005 සිට ජීවත්වන්නේ ඉන්දියාවේය. ඇය ජීවිත තර්ජන නිසා බංග්ලාදේශයෙන් පලා ගියාය. අන්තර්වාර පාලනයේ නායකයා රට කරවන්නේ ජිහාද්වරුන්ගේ උවමනාවට බව දන්නා නමුත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකරන බව තස්ලිමා කියයි. 1994 දී මාව එලෙව්වේ කාලිදා ෂියා නමුත් හසීනා බලයට ආවත් මට එන්න දුන්නේ නැහැ. දැන් හින්දුන් ප්‍රහාරයට ලක්වෙනවා. ඒ වගේම දැඩි ඉන්දීය විරෝධයක් උත්සන්න වෙලා තියනවා යැයි තස්ලිමා කියයි.
ඇත්තෙන්ම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 55ක (පවුම් බිලියන 42) ආදායමක් සහිත එරට ඇඟලුම් කර්මාන්තය, අගෝස්තු මාසයේදී ෂෙයික් හසීනාගේ ආණ්ඩුව පෙරළා දැමීමෙන් පසු දැන් අවිනිශ්චිත අනාගතයකට මුහුණ දී සිටී. ඇඟලුම් කර්මාන්තයට බාධා කිරීම් අඛණ්ඩව පවතී. කම්කරුවන්ගේ නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා සිට ඩකා නගරයෙන් පිටත කර්මාන්ත ශාලා 60ක් පමණ වසා දමනු ඇතැයි අපේක්ෂා කෙරේ. වඩා හොඳ වැටුප් ඇතුළු විවිධ ඉල්ලීම් මුල් කර ගනිමින් සේවකයෝ විරෝධතාවල නිරතව සිටිති. මෑත කාලීන සිදුවීම් “සන්නාමවල විශ්වසනීය මට්ටමට බලපාන්න පුළුවන්,” බංග්ලාදේශයේ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂවරයෙකු වන මොහියුදීන් රුබෙල් පවසයි. බංග්ලාදේශයේ සහ ඇමෙරිකාවේ සම්බන්ධීකරණ කාර්යාල පවත්වාගෙන යන ක්‍යාව් සෙයින් තායි පවසන්නේ, මෑත කාලීනව සිදුවූ දේශපාලන නොසන්සුන්තාවයේ ප්‍රතිඵලයක් ලෙස “මේ වසරේ අපනයනවල 10-20% පහත වැටීමක්” ඇති විය හැකි බව ය. අධිවේගී විලාසිතා බංග්ලාදේශයේ අපනයන ආදායම්වලින් 80%කට දායක වන හෙයින් එය සුළු මුදලක් නොවේ.
අරගලකරුවන් අවම වශයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා හතරක් ගිනිබත් කරන ලද අතර නිෂ්පාදකයින් රට පුරා පැවති ඉන්ටර්නෙට් අවහිරය යටතේ ක්‍රියාත්මක වීමට බොහෝ උත්සාහයන් ගත්හ. දැනටමත්, ඩිස්නි සහ ඇමෙරිකාවේ සුපිරි වෙළෙඳසල් ජාලයක් වන වෝල්මාර්ට් ඇතුළු දැවැන්ත වෙළෙඳ සන්නාම තුනක්, මීළඟ උත්සව සමයේ ඇඳුම් සැපයිය හැකි වෙනත් නිෂ්පාදකයින් කෙරෙහි අවධානය යොමු කර තිබේ. පසුගිය මාස කිහිපයේ සිදුවීම්වලට පෙර පවා, බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය – සහ එහි ආර්ථිකය – යහපත් තත්ත්වයක නොපැවතිණි. ළමා ශ්‍රමිකයින් පිළිබඳ ගැටලු, මාරාන්තික අනතුරු සහ කොවිඩ්-19 නිසා රට වසා දැමීම යන සියලු කරුණු ඊට බලපෑවේය. භාණ්ඩ මිල ඉහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය ද අධික ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත්, ඉල්ලුම අඩුවීම නිසා අධික මිල ගණන්වලට එම නිෂ්පාදන අලෙවි කළ නොහැකි විය. අපනයනය මත දැඩි ලෙස රඳා පවතින බංග්ලාදේශයට මෙය විශේෂයෙන් අයහපත් විය. අපනයන ලාභය හැකිළෙන විට විදේශ මුදල් සංචිත ද අඩු විය. බංග්ලාදේශය කබලෙන් ලිපට වැටෙන්නේ එරට ඇඟලුම් කර්මාන්තය අර්බුදයට පත් වුවහොත්ය. එවිට පැතිරෙන්නේ ආරජිකත්වයයි. අරාජිකත්වය පැතිර ගියහොත් එවිට වාසිය ලැබෙන්නේ මුස්ලිම් අන්තවාදී බලවේග වලට බව රහසක් නොවේ.
චතුර පමුණුව