තහනම් බඩු

973

මීට කලකට පෙර, එනම් රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් කොටසේදී රසායනික පොහොර ගැනීම සඳහා භාණ්ඩාගාරයට මුදල් නැති විය. එවිට එවකට රට කළ උදවිය තක්කු මුක්කු වූහ. රසායනික පොහොර නැතිව ගොවිතැන් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ක්‍රමයෙන් නරක අතට හැරුණේ යල කන්නය කට මුලටම පැමිණ තිබූ බැවිනි. මේ සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න එවකට සිටි ජනාධිපතිතුමා නොදත්තේය. එවිට, වහා එතුමා හමුවට පැමිණි රට දැය සමයට හිතැති, විදේශ බලවේගවලට අකැමැති දේශප්‍රේමී කොටස් එක හඬින් කියා සිටියේ පිටරටින්  ගෙන්වන රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදාගත යුතු බවය. ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව 1900 දී කුඹුරු වගා කළේ කටු පෝර යොදාගෙනය. මෙය කාබනික පොහොරකි. ගොයම් මැස්සන් පලවාහැරීම සඳහා ඔවුහු පාරම්පරික කෙම් ක්‍රමද, දේශීය ශාකසාර වර්ග ද පාවිච්චි කළහ. 1910 දී ද මේ රටේ ජනයා වගා කළේ එම ක්‍රමයටම ය. එහෙත් 1950 ඉක්මවන විට ශ්‍රී ලංකාවේ ජනගහනය කෝටිය ඉක්මවා ගියේය. ඒ නිසා කටවල් ගණනද කෝටිය  ඉක්මවීය. කෝටියකට කෑම දීම කටු පොහොර මගින් වී වගාකර කළ නොහැක. එබැවින් ලංකා ඉතිහාසයේ මුල් වරට මෙරටට රසායනික පොහොර ගෙනෙන ලදී. ඊළඟ අවුරුදු 50 තිස්සේ අපි රසායනික පොහොරවලට පුරුදු වීමු. සැනෙකින් කාබනික පොහොරවලට මාරු වීමෙන් අපට සිදු වූ ඇබැද්දිය නැවතත් මෙනෙහි කළ යුතුද? ගිය ආණ්ඩුව පෙරළී ගියේ කාබනික පොහොර විරෝධයෙන් පටන්ගත් ජන රැල්ලෙනි. දැන් මේ රටට ස්ථාවර ආණ්ඩුවක් තිබේ. ටිකෙන් ටික විදේශ ආධාර ද ලැබෙන්නට පටන්ගෙන ඇත. එතැන් සිට කතාව මෙසේය…

 ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ විශාල ප්‍රමාණයක් එසේ ගෙන්වීම තහනම් කිරීමට පසුගිය මාසයේදී ආණ්ඩුව තීරණය කළේය. මෙය තනිකරම විදේශ විනිමය හිඟවීම නිසා හටගත් ප්‍රශ්නයකි. සුවඳ විලවුන්, කාන්තා, පිරිමි සහ ළමා ඇඳුම්, සපත්තු, ඔරලෝසු, පිහි, රේසර්, රැවුල බෑමේ උපකරණ, තුනී ලෑලි, වාහන බැටරි, බැටරි, ඇඳ ඇතිරිලි, පෙට්‍රල් එන්ජින් සහ ඩීසල් එන්ජින්, පරිගණක, අස්වනු නෙළීමේ උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග 40 ක් පමණ ගෙන්වීම මෙසේ තහනම් කරන ලදි. මෙම තහනම තුළ කිසියම් ආකාරයක සාධාරණත්වයක් තිබේ. ඇඳ ඇතිරිලි පිටරටින් ගෙන්වීමට අවශ්‍ය නැත. ඒවා මේ රටේ නිෂ්පාදනය කිරීමට පුළුවන. බැටරි මේ රටේ තනනු ලැබේ. තුනී ලෑලි ද මෙහි නිෂ්පාදනය කරනු ලැබේ. කාන්තා, පිරිමි සහ ළමා ඇඳුම් ද සපත්තුද මේ රටේ නිපදවන ආයතන ඇත. ඉහත කී භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය නූල් කෑල්ලේ සිට තහඩු කෑල්ල දක්වා වූ සියලු අමුද්‍රව්‍ය මේ රටේ නිපදවන්නේ නැති අතර ඒවා පිටරටින් ගෙන්වීමට සිදුවීමේ කාරණය මදකට අමතක කරමු. එයින් කියවෙන්නේ අමුද්‍රව්‍ය හොයාගත්තොත් බඩු මෙහි සෑදිය හැකි බවය. එහෙත් ඔරලෝසු, රේසර් සහ රැවුල බෑමේ උපකරණ සෑදීමේ තාක්ෂණය මේ රටට නැත. එබැවින් ඒවා කන්ටේනර් පිටින් මෙහි ගෙන්විය යුතුය. යම් විදියකින් රැවුල කපන රේසර් ගෙන්වීම සදහටම තහනම් කිරීමට කිසියම් ආණ්ඩුවක් කටයුතු කළොත් මේ රටේ ජනයාට ශතවර්ෂ දෙකක් පමණ පසුපසට ගොස් කොණ්ඩය බැඳීමටත් රැවුල වැවීමටත් සිදුවනවා ඇත. ඒ කතාවේ එක් පැත්තකි. කතාවේ අනෙක් පැත්ත මෙසේය. කොතරම් අමුද්‍රව්‍ය ගෙනාවත් පෙට්‍රල් එන්ජින් සහ ඩීසල් එන්ජින් මේ රටේ නිෂ්පාදනය කිරීමට නොහැක. එසේම පරිගණක ද සෑදිය නොහැක. ශ්‍රී ලංකාව මිනිස් ශ්‍රමයෙන් ස්වයං පෝෂණය වූ රටක් බව කියනු ලැබේ. එය තනිකරම බයිලාවකි. දෑතේ හයියෙන් කරන කැත්තේ උදැල්ලේ වැඩක් කිරීමට ගියොත් ඒ සඳහා කිසිදු ආකාරයකින් ශ්‍රමිකයන් සොයා ගැනීමට නොහැක. නැගෙනහිර පළාතේ කුඹුරු අක්කර ලක්ෂ ගණන් තිබේ. මේ කුඹුරු හෑමේ සිට ගොයම් කැපීම දක්වා වූ සියලු වැඩ කෙරෙන්නේ යන්ත්‍රානුසාරයෙනි. ගොයම් වැඩ කිරීම සඳහා භූතයා සහ සුනාමි යනුවෙන් හැඳින්වෙන යෝධ යන්ත්‍ර දෙකක් ඇත. මේ යන්ත්‍ර දෙක ගෙන්වනු ලබන්නේ චීනයෙන් හෝ වියට්නාමයෙනි. ආණ්ඩුව සිය තහනම් බඩු ලැයිස්තුවට මෙකී ගොයම් වැඩ උපකරණ ඇතුළත් කිරීමෙන් විශාල අවුලක් සිදුවිය.

 නැගෙනහිර පළාතේ එක කන්නයක ගොයම් කැපීම සඳහා අඩුම ගණනේ මිනිසුන් හාර පන් ලක්ෂයක්වත් අවශ්‍ය වේ. අද මේ රටේ කිසිම ශ්‍රමිකයෙක් රුපියල් 3500 ක් නැතිව කැස්සක්වත් කහින්නේ නැත. එම තත්ත්වය උඩ ගොයම් වැඩ කරන යන්ත්‍ර දිගටම තහනම් කළා නම් ගොයම් කැපීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින 225 ත් යොදා ගැනීමට සිදුවේ. ඩීසල් සහ පෙට්‍රල් එන්ජින් ගෙන්වීම තහනම් කිරීමෙන්ද වාහන රැසකට විශාල ඇබැද්දියක් සිදුවිය. ඇත්තටම අප පෙර කීවාක් මෙන් ආණ්ඩුව මේ බඩු තහනම් කළේ විදේශ විනිමය අන්තයටම සිඳී ගොස් තිබූ බැවිනි. ඒ ගැන අපි ආණ්ඩුවට දොස් නොකියමු. කොහෙන් හෝ මුදලක් සොයාගෙන මේ බඩු නැවත ගෙන්වීම සඳහා අවසර දීමෙන් ආණ්ඩුව ප්‍රගතිමත් ලෙසත් වගකීම් සහගත ලෙසත් හැසිරී තිබේ. එයට ස්තුතියි.

advertistmentadvertistment
advertistmentadvertistment