ත්‍රස්ත පනතට පෙත්සම් 38ක්

93

මෑත කාලයේ පනතකට එරෙහිව ලැබුණු වැඩිම පෙත්සම් ප්‍රමාණය

මේක දේශපාලන දඩයමක් පෙත්සම්කරුවන්ගේ නීතිඥයෝ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් 38ක් සම්බන්ධයෙන් විභාගය ඊයේ (26 දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේදී ආරම්භ කෙරිණි.

පුරා තිස් වසරක් තිස්සේ අප රට තුළ පැවති එල්ටීටීඊ සංවිධානය දියත් කළ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කොට වසර ගණනාවක් ගතවී තිබයදී සහ අවිගත් ත්‍රස්තවාදී සංවිධානයක් යළි බිහිවන බවට ඉඟියක් නොතිබියදී ත්‍රස්තවාදය පෙරට දමා රජය මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට වෑයම් දරනුයේ සිය දේශපාලන විරුද්ධවාදීන් ඇතුළු රජයට එරෙහිව නැඟී සිටින පොදු ජනතාව මර්දනය කිරීමේ දේශපාලන අරමුණ පෙරදැරිව වන්නේ යැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරු හා ජනාධිපති නීතිඥවරු ඊයේ (26දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසූහ. අප රට හඳුන්වනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙසින් වන බැවින් ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ජනතාවගේ භාෂණයේ, ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතීන් සුරක්‍ෂිත කර ඇති නමුත් දේශපාලන අභිලාසයන් පෙරදැරිව හා රජයේ අදූරදර්ශී ක්‍රියා මාර්ගවලට එරෙහිව නැඟී සිටින ජනතාව මර්දනය කිරීමේ අරමුණ පෙරදැරිව ඉදිරිපත් කොට ඇති එම පනත් කෙටුම්පතේ සඳහන් අහිතකර වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ද පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම පනත් කෙටුම්පතට රටේ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරන වගන්ති ඇතුළත් කර ඇත්තේ රටේ ජනමතය විමසීමකින් තොරව වන බැවින් එකී වගන්ති ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසට ද ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ නයිජල් හැච් හා ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතවී නීතියක් බවට පත්වුවහොත් තම වෘත්තිය අයිතීන් දිනා ගැනීම සඳහා රටේ වැඩකරන ජනතාවට විරෝධතාවයක් දැක්වීමට හෝ දේශපාලනඥයන් ඇතුළු බලධාරීන් ගනු ලබන අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව හඬක් නැඟීමේ අයිතිය අහිමිවන්නේ යැයි ද පැවසූ පෙරකී ජනාධිපති නීතිඥවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරු රජයේ එකී කූට වෑයමට ඉඩනොදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්‍ෂිත කරදීමේ සම්පූර්ණ වගකීම අධිකරණය සතුවන්නේ යැයි ද පැවසූහ.

එකී පෙත්සම් හා අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන බදාදා හා ලබන සිකුරාදා පැවැත්වීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය. පෙත්සම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත්වී ඇති බැවින් එක් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් විනාඩි 20ක් හෝ විනාඩි 30ක උපරිම කාලයක් ලබාදීමට තම අධිකරණයට සිදුවන්නේ යැයි සියලු පාර්ශ්වලට පෙන්වා දුන් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පිළිතුරු වාචික දේශන සඳහා නීතිපතිවරයාට පැය දෙකක කාලයක් ලබාදෙන බව ද පැවසීය.

එකී පනත් කෙටුම්පතේ කුමන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ද කුමන වගන්තිය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට යෝජනා කරන්නේ දැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කරුණු දක්වන අවස්ථාවේදී විනිසුරු මඬුල්ල විමසා සිටි අතර පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසීමක් කිරීමක් සිදුකර නොමැති බැවින් සියලුම වගන්ති සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව තම මතය වන්නේ යැයි එම නීතිඥවරයා විනිසුරු මඬුල්ලට පැවසීය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ පුලස්ති රූපසිංහ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

එකී පෙත්සම් 38 මෑත කාලයේදී පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්වූ හෝ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කළ පනත් කෙටුම්පතකට එරෙහිව ඉදිරිපත්වූ වැඩිම පෙත්සම් ප්‍රමාණය ලෙස සැලකේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment