වසර 9කට පෙර සිදුවූ දත්ත මගඩිය
ආර්.එම්.වී 7කට එරෙහි නඩුව ජුනි 18 වැනිදාට කල් යයි
එක් විත්තිකරුවෙක් දැන් රජයේ ඉඩම් ලොක්කෙක්
පරිගණක දත්ත වෙනස් කොට ත්‍රිරෝද රථයක අංකය යටතේ රුපියල් කෝටි ගණනක් වටිනා මිනිකූපර් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 60ක් යටතේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු එම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් හත්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවක් ලබන ජුනි 18 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (27දා) නියෝග කළේය.
එවකට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ වර්තමාන ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු වන රෝහිත සමරවීර, උපුල් ප්‍රියන්ත ද සිල්වා, කේමන්ත මුත්තුංග, චන්න රෝහිත, ධර්මරත්න ජයන්ත හා අජිත් කුමාර වනිසුන්දර යන විත්තිකරුවන් හත්දෙනාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
මේ වනවිට විදේශගත වී ඇතැයි කියන හතරවන විත්තිකරු හැර අනෙකුත් විත්තිකරුවන් හයදෙනාම අධිකරණයෙන් නිකුත් කළ නොතිසි අනුව ඊයේ (27දා) මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමට සූදානම් වන අවස්ථාවේදී දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් පාරිස් මහතා කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති එම අධිචෝදනා පත්‍රය අභියෝගයට ලක්කරමින් සිය සේවාදායකයා වන මේ වනවිට ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කර ඇති බව පැවසීය.
එම පෙත්සම පෙරේදා (26දා) පස්වරුවේ අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ බවත් ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා වැඩිදුර කරුණු දැක්වීම ලබන ජුනි 04 වැනිදා දක්වා කල් තැබූ බවත් අධිකරණයට පැවසූ නීතිඥ හෆිල් පාරිස් මහතා තමා පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කළ බවට මහාධිකරණයට දැනුම් දෙන ලෙසට ගරු අගවිනිසුරුවරයා තමාට දැනුම් දුන් බවද ප්‍රකාශ කළේය. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සම කැඳවීමෙන් පසුව මෙම මහාධිකරණය හමුවේ මෙම නඩුකරය කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටි නීතිඥවරයා යම්කිසි හෙයකින් අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකළ හොත් ආයතන සංග්‍රහය අනුව සිය සේවාදායකයා වැඩ තහනමකට ලක්විය හැකි බවද අධිකරණයට පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විත්තිකරුගේ පෙත්සම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් ලබාදී නොමැති බැවින් එම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදී නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට මහාධිකරණයට නීතිමය බාධාවක් නොමැති බැවින් විත්තියේ නීතිඥවරුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට නියෝගයක් කරන්නැයි අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම විත්තිකරුගේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම ආරම්භ කොට වැඩිදුර කරුණු දැක්වීමට දින නියම කිරීම ඇතුළු හේතු නිසා විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීම කල් දැමීමට තම අධිකරණය තීරණය කළ බව විනිසුරු නවරත්න මාරසිංහ මහතා පෙන්වා දුන්නේය.
2015.05.16 හා 2015.09.23 අතර කාලය තුළදී කොළඹදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කටයුතු කරමින් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුල් වී එකී මිනිකූපර් රථය අජිත් කුමාර වනිසුන්දර නමැති විත්තිකරුගේ නමින් ලියාපදිංචි කිරීමෙන් ශ්‍රී ලංකා රේගුවට අයවිය යුතු රුපියල් ලක්ෂ 26කට අධික රේගු ගාස්තුවක් අහිමි කිරීමත් ඒ සඳහා ආධාර අනුබල දීමත් එම විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා වේ.
ඒ. ජේ. ඒ. අබේනායක