ත්‍රිරෝද රථ රියැදුරන්ගේ දුක් ගැනවිල්ල

1039

Auto Rickshaw යනුවෙන් ඉංග්‍රීසි කතාකරන ඉන්දියානුවන් විසින් හඳුවන්නා වූද Trishaw සහ ත්‍රීවීලර් යනුවෙන් මේ රටේ ඉංග්‍රීසි කතාකරන පන්තිය විසින් හඳුන්වනු ලබන්නා වූද මේ රටේ නාගරික ග්‍රාම්‍ය පන්තිය විසින් ආටා යනුවෙන් වහරන්නා වූද තායිලන්තයේ දී ටුක් ටුක් ලෙස හැඳින්වෙන්නා වූද ත්‍රිරෝද රථය මුලින්ම නිෂ්පාදනය කරන ලද්දේ 1931 දී ජපන් ජාතිකයන් විසිනි. මේ කියන කාලයේදී ආසියාවේ සංසරණය වූ මුදල්වල මිලදී ගැනීමේ ශක්තියේ හැටියට මෝටර් රථයක් යනු මිල අධික සහ වියදම් අධික භාණ්ඩයකි. ඒ නිසා පොදු ප්‍රවාහනයෙන් බැහැර වී පෞද්ගලික වාහනයක් තබා ගැනීමට ප්‍රිය කරන ජනයා වෙනුවෙන් ජපානය විසින් ත්‍රිරෝද රථ්ය නිර්මාණය කළ බව විශ්වාස කෙරේ. ආසියාවේ රටවල් ගණනාවකම පහළ මධ්‍යම පාන්තික ජනයා වැඩියෙන්ම හයර් කරන රථය ත්‍රීවීලරය වේ. එසේම ඊජිප්තුව, පලස්තීනයේ ගාසා තීරය, මැඩගස්කරය, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, සුඩානය, ටැන්සානියාව, උගන්ඩාව, සිම්බාබ්වේ, බංගලාදේශ්, ඉන්දියාව, නේපාලය, පකිස්තානය, කාම්බෝජය, පිලිපීනය, චීනය, ප්‍රංශය, ඉතාලිය, පෘතුගාලය, බි්‍රතාන්‍ය, එල්සැල්වදෝරය, ගෝතමාලාව, ඇමරිකාව, කියුබාව යන රටවල් වලද පොදු ජනයාගේ වාහනය ලෙස ත්‍රීවීලරය ක්‍රියාත්මක වෙයි. ලංකාවේ තිබෙන සමස්ත ත්‍රීවීලර් ප්‍රමාණය දා හත් ලක්ෂයකි.

ලංකාවේ පළමු වරට ත්‍රීවීලරයක් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා සමාජගත කරනු ලබන්නේ 1978 දීය. එම ත්‍රීවීලරය මෙහි ගෙන්වන්නේ කොළඹ ආමර් වීදියේ හෙබ්තුල්ලා බෝයි නමැති සමාගමය. මෙරට ත්‍රීවීලරයේ ආරම්භක මිල රුපියල් 35000 කි. එයට රිවස් ගියරයක් නැත. එකල අවම ත්‍රීවීලර් ගමනක මිල රුපියල් 5 කි. රුපියල් පහට දුවන උපරිම දුර කිලෝමීටර් 5කි. රිවස් ගියරයක් නැති බැවින් ත්‍රීවීලරය හැරවීමට වුවමනා වූ කල්හි රවුමක් ගසනු ලැබේ. ලංකා ඉතිහාසයේ ත්‍රීවීල් ඉතිහාස පාඩම හතළිස් අවුරුද්දකට වඩා පැරණි වුවද ඉතා කෙටි එකකි. අදටත් මෙරට ත්‍රීවීලර් ඒකාධිකාරය ඉන්දියාව අතේ තිබේ. මේ රටේ හැම පාරකම දුවන්නේ ඉන්දියන් ත්‍රීවීලර් ය. පිට රටින් ගෙන්වන ලද අමතර කොටස්ද ලංකාවේ නිපදවන අමතර කොටස්ද යොදා ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් මරදානේදී මෙයට අවුරුදු 25 ට පමණ පෙර ආරම්භ කරන ලදී. ඒ මිනිහාට ඒ වැඩේ ඉස්සරහට ගෙන යෑමට කවුරුත් උදව් කළේ නැත. අද වනවිට ඒ මනුස්සයා මෙන්ම ඔහු නිපදවූ ත්‍රීවීලර් ස්වල්පයද ආගිය අතක් නැත.

ඉහත සඳහන් ත්‍රීවීලර් පාඩම අප විසින් ඉදිරිපත් කරන ලද්දේ නූතන ත්‍රීවීලර් රථ රියැදුරා මුහුණ පා සිටින විශාල අර්බුදයක් ගැන සාකච්ඡා කිරීම සඳහා වූ පෙරවදනක් ලෙසය. අපි ප්‍රයිවට් බස්කාරයන්ටත් ප්‍රයිවට් බස්වල සේවය කරන කොන්දොස්තරලාටත් ත්‍රිරෝද රථ රියැදුරන්ටත් නිරන්තරයෙන් දොස් පවරමු. ඔවුන්ගේ සාහසික හැසිරීම්, හොර මගඩි, වනචර වැඩ යනාදිය ඉදිරියේදී මේ පුවත්පත අනුකම්පා විරහිත වූ අවස්ථා ඕනෑ තරම් තිබේ. එහෙත් අද අප කතා කරන්නට යන්නේ QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන්නට නම් ත්‍රිරෝද රථය පරිහරණය කරන රියැදුරාගේ නමටම එය තිබිය යුතුය යනුවෙන් ගෙනෙන ලද අලුත් නීතියක් නිසාය.

ලංකාවේ ත්‍රිරෝද රථවලින් 20% ක් පමණ ඇත්තේ ඒවායේ මුල් අයිතිකරුවන්ගේ නමිනි. බොහෝ දෙනෙක් වෙනත් අයකුගෙන් ත්‍රිරෝද රථයක් මිලට ගත් පසු එය තමන් නමට හරවා ගැනීම කල් දමයි. එයට හේතු කීපයක් තිබේ. පළමුවැන්න ජීවන ගමනේ දෛනිකව යෙදිය යුතු බැවින් ත්‍රීවීලරය තම නමට හරවා ගැනීම සඳහා ආර් එම් වී එකේ රස්තියාදු වීමට ත්‍රිරෝද රථයේ අලුත් හිමිකරුට වෙලාවක් නැති වීමය. දෙවැන්න නම් එකී පැවරුම් කටයුතු සඳහා අවශ්‍ය මුදල අලුත් හිමිකරු අතේ නොතිබීමය. අලුත් හිමිකරු ජීවත් වන්නේද ත්‍රිරෝද රථය හයර් කිරීමෙනි. ත්‍රීවීලරය ගැනීමට සල්ලි ඇත්නම් ට්‍රාන්ස්වර් හෙවත් තම නමට හරවා ගැනීම සඳහා සල්ලි නැත්තේ මන්දැයි කිසියම් න්‍යායවාදියෙක් තර්ක කිරීමට පුළුවන. මෙය අලියා මිලදී ගැනීමට හැකිනම් හෙන්ඩුව මිලදී ගැනීමට බැරි ඇයිද යන මෝඩ ප්‍රශ්නයේම දිගුවකි. මේ රටේ වැඩි දෙනකුට හෙන්ඩුව මිස අලියා මිලදී ගැනීමට මුදල් නැත. දැන් දැන් හෙන්ඩුව මිලට ගැනීමටද මුදල් නැත. ආණ්ඩුවේ අලුත් නීතිය නිසා QR කේතය ලබා ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථ රියැදුරන් විශාල පිරිසකට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවී තිබේ. එබැවින් ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා QR කේතය නිකුත් කිරීමේදී කිසියම් සහනදායි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුමය. නැත්නම් ත්‍රිරෝද රථවලට පෙට්‍රල් ගසා ගැනීමට බැරිවන රියැදුරන් වෙනත් අනීතික මාර්ගවලින් මුදල් ඉපැයීමට පුරුදු වීමට ඉඩ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment