ත්‍රිවිධ හමුදාවේ වැඩිම වාර ගණනක් ලේ දන් දුන් යුද්ධ හමුදා නිලධාරියා කියන කතාව

264

ඔහු නියෝජනය කරන්නේ ලෝකයේ මානුෂීයම හමුදාව විදිහට හඳුන්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ගෙන් සුවිශේෂී චරිතයක් වෙන්නේ ඔහු යුද බිමේදී වගේම යුද්ධයෙන් පසුවත් රට වෙනුවෙන් රුධියර පරිත්‍යාග කරන්න සූදානම් නිසා. ඔහු ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සියලුම සාමාජිකයන් අතරින් වැඩිම වාර ගණනක් රුධිරය දන් දුන් පුද්ගලයා ලෙස හැඳින්වීම වරදක් නොවේ. මේ ඔහු අප සමඟ කී කතාවයි.

ඔබ කවුද ?

මම ඉපදුණේ කඩවත. මම තමයි අපේ පවුලේ එකම දරුවා. මගේ තාත්තා ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ කේරි විද්‍යාලයේ. එක වසරේ ඉඳන් උසස් පෙළ දක්වාම කේරි විදුහලේ තමයි අධ්‍යාපනය ලැබුවේ. උසස් පෙළ හදාරමින් ඉන්න කාලයේදී තමයි මට යුද්ධ හමුදාවට බැඳීමේ අවශ්‍යතාවය තිබුණෙ. පාසලේදී ගුරුවරුන් ඇහුවත් අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා අනිත් අය වගේ නෙවෙයි මගේ ඔළුවේ තිබුණේ සෙබළෙකු වීමේ බලාපොරාත්තුව.

ඒ කියන්නේ ඔබේ ලේවලට තිබුණා හමුදා සේවයට ඔබ එක්විය යුතුයි කියන දේ නේද ?

එහෙම වෙන්න පුළුවන්. මොකද මගේ පවුලේ කිසිම කෙනෙක් යුද්ධ හමුදා සේවයේ හිටියේ නැහැ. නමුත් මට ඒ කාලේ ඉඳලාම හමුදාවට බැඳීමේ අවශ්‍යතාය තිබුණා. පසුකාලීනව මම දැන ගත්තා අපි නිලධාරියෙකු වීම තමයි කළ යුතු වෙන්නේ කියන දේ. ඒ අනුව අධ්‍යාපනය ලබමින් ඉන්නකොට යුද්ධ හමුදාවට බැඳෙන්න අයදුම්පත් යොමු කළා. ඒ අනුව 1990 ජනවාරි මාසෙදි බඳවා ගැනීම් අංක 33 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස මම යුද්ධ හමුදාවට බැඳුණා.

කොළඹ ඉපදිලා කොළඹ පාසලකට ගිය ඔබ යුද්ධ හමුදාවට බැඳුණ ඔබට ඒ ජීවිතේ දැණුනේ කොහොමද ?

කුඩා කාලයේ ඉඳලම මගේ බලාපොරොත්තුව තිබුණේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එකතුවීම. ඒ නිසා මගේ මේ අලුත් ජීවිතය සඳහා මගේ පෙර සූදානමකුත් තිබුණා කිව්වොත් නිවැරදියි. ඒ නිසා ලොකු වෙනසක් නම් දැණුනේ නෑ. නමුත් පාසල් ජීවිතයේදී පාසල් යුනිෆෝර්ම් එකෙන් ඉඳලා කාකි යුනිෆෝර්ම් එකට මාරු වුණාට පස්සේ ඒ පරිවර්තනය අනිවාර්යෙන්ම දැනෙනවා. මොකද නිවසින් බැහැරව ඒ කාලයේ හිටපු යාළු මිත්‍රයන්ගෙන් බැහැර වෙලා අලුත් සමාජයක්, අලුත් පුහුණු වටපිටාවක් අලුත් අණකට යටත්වීමක් වගේ පරිවර්තන රැසකට අපේ ජීවිත මුහුණ දෙනවා. ඒ අවස්ථාවේදී මූලිකම අවශ්‍යතාවය වුණේ දරාගැනීම තමයි. පොඩි කාලයක් යනකොට අපි ඒකට අනුගත වුණා.

මේ විදිහට යුද්ධ හමුදාවට බැඳිලා නවක නිලධාරියෙකු ලෙස ඔබ ඔබේ පළමු රාජකාරිය කළේ කොහෙදිද ?

ත්‍රිවිධ හමුදාවේ වැඩිම වාර ගණනක් ලේ දන් දුන් යුද්ධ හමුදා නිලධාරියා කියන කතාව

මගේ පළමු රාජකාරි ප්‍රදේශය වව්නියාව. ඒ වෙනකොට වන්නි වික්‍රම 02 ක්‍රියාන්විතය අවසන් වෙන්න තිබුණේ දවස් දෙකක් විතර මගේ මතකයේ හැටියට. වන්නි වික්‍රම 02 ක්‍රියාන්විතය අවසන් වෙලා මට මතක හැටියට අකුණු පහර ක්‍රියාන්විතය පටන් ගත්තා. ඊළඟට මම සහභාගී වුණු ප්‍රධානම ක්‍රියාන්විතය වුණේ බලවේගය 1 ක්‍රියාන්විතය. ඒ ක්‍රියාන්විතයට අණ දුන්නේ ජෙනරල් කොබ්බෑකඩුව.

පළමු ක්‍රියාන්විතයේ ඔබ ලැබූ සුවිශේෂී අත්දැකීම් මොනවාද?

අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. ඒ ක්‍රියාන්විතයට අපි සහභාගී වුණේ කාලතුවක්කු ආරක්ෂක නිලධාරීන් විදිහටයි. මුල්ලියාන් කෝවිල ගාවදි එල්ටීටීඊ එකෙන් එල්ල කරපු ප්‍රහාරය මට හොඳටම මතකයි. ඒ ප්‍රහාරයේ දී අපි කොටස් දෙකකට කැඩුණා. ඒ වෙලාවේ මැදින් ප්‍රහාරයක් එල්ල කරමින් තමයි එල්ටීටීඊ එක අපේ පාබල සේනාංක වලට ප්‍රහාර එල්ල කළේ. ඒක තමා කාලතුවක්කුවක් එල්ටීටීඊ සංවිධානයට නතු වෙන්න තිබුණු පළමු අවස්ථාව. නමුත් යුද්ධ හමුදාවේ සහ රටේ වාසනාවට එවැන්නක් සිදුවුණේ නැහැ. අපි අපේ කාලතුවක්කු ආරක්ෂා කරගත්තා. ඒක තමා ප්‍රධානම අත්දැකීම වුණේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ සටනෙදි.

ඒ වගේම 1995 වැලිඔය ක්‍රියාන්විතයේ දී අපේ ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම විශාල පිරිසක් තුවාල ලැබුවා. ඒක ඔවුන්ගේ දුරකතන සංඥා වලින් තහවුරු වුණා. ඒකෙදිත් මම කාලතුවක්කු වෙඩි බලය ලබාදෙමින් හිටියේ. ඒ මෙහෙයුමේදී මට වීර පදක්කමක් ලැබුණා.

වර්තමානයේ යුද්ධ හමුදාවේ ඔබේ භූමිකාව කුමක්ද ?

මම මේ වෙනකොට ජාතික ආරක්ෂක විද්‍යාපීඨයේ පාඨමාලාවක් හදාරමින් ඉන්නේ. ඊට පෙර කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති වශයෙන් කටයුතු කළා. ඒක මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. මොකද කාලතුවක්කු රෙජිමේන්තුවේ නිලධාරියෙක් හැටියට බලසේනාව අණදීමට ලැබෙනවා කියන්නේ ඒක සුවිශේෂී අවස්ථාවක්.

ඕනෑම හමුදා සාමාජිකයෙකුගේ අභිමානය සහ වීරත්වය සමාජයට පෙනෙන්නේ ඔහු සතු වීරපදක්කම්වලින්. ඔබත් එවැනි වීරපදක්කම් ලාභියෙක්. මොනවද ඔබ සතු වීරපදක්කම් ?

කාලතුවක්කු රෙජිමේන්තුවේ වීරවික්‍රම විභූෂණය ලබපු පළවෙනි නිලධාරියා මම. 1995 රිවිරැස ක්‍රියාන්විතයේදී සිදුවුණු සිදුවීමකින්. ඒක වීර ක්‍රියාවක් කියලා මම කියලා මම කරපු දේ අභිමානයකට ලක් කරන්නේ නෑ. එවකට එහි සිටි සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පැසසුමට මම ලක්වුණා. ඒ කාලේ මම අටවන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඉදිරි නිරීක්ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කරමින් ඉන්නකොට ත්‍රස්තවාදීන් ඉදිරි ආරක්ෂක වළල්ල කඩාගෙන ඒමට උත්සාහ කිරීමේදී වර්ෂාව මෙන්ම දුරකතන සංඥා බිඳවැටීම නිසා අපි ඉතාම දුෂ්කර අඩියකට වැටිලා සිටි අවස්ථාවේදී ඉදිරි ආරක්ෂක වළල්ල බිඳවැටීමට නොදී රැකගෙන සිටීම නිසයි වීරවික්‍රම විභූෂණය මට ලැබුණේ.

වීරපදක්කමක් ලැබෙන්නේ තමුන් කරපු සේවය ඇගයීම වෙනුවෙන්. මෙතනදි හැමදේම සිදුවුණේ යුද්ධ හමුදාවේ අභිමානයක් රටේ ආරක්ෂාව තහවුරු කිරීමත් සඳහා පමණයි. ඒ අවස්ථාවේදී මගෙන් ඉටුවිට යුතු රාජකාරිය මම ඉටුකළා. ඒ නිසා මට මේවනකොට වීරපදක්කම් ලැබිලා තියෙනවා. මේ වෙනකොට මට වීරවික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම දෙවරක්, රණශූර පදක්කම වගේ සියලුම පදක්කම් මට ලැබිලා තියෙනවා.

ඔබ තමයි ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සියලුම දෙනා අතර වැඩිම අවස්ථා ගණනක් ලේ දන් දුන් නිලධාරියා. ඒ වගේම ඔබ යුද බිමේදීත් රට වෙනුවෙන් ලේ දන්දුන් පුද්ගලයෙක්. ඔබ රුධිරය දන් දෙන්න එහෙමත් නැත්නම් රුධිර පාරවිලයනය සඳහා යොමුවුණේ කොහොමද ?

දැනට තියෙන ලිඛිත දත්තයන්ට අනුව මම 186 වතාවක් රුධිරය දන් දීලා තියෙනවා. නමුත් ඊට වැඩි ප්‍රමාණයක් මම ලේ දන්දීලා තියෙනවා. පාසල් කාලයේ මම උසස් පෙළ හදාරද්දි තමයි මම පළවෙනි වතාවට ලේ දන් දුන්නේ. ඉන් පසුවත් කීප අවස්ථාවකදී මම ලේ දන්දීලා තියෙනවා. නමුත් එය අඛණ්ඩව සිදුවුණේ නැහැ. 1997 අවුරුද්දේ එවකට මම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරන කාලෙදි එහි සේවය කරපු සෙබළකුගේ දරුවෙකුට මගේ තියෙන බී පොසිටිව් වර්ගයේ රුධිරය අත්‍යවශ්‍ය වුණා. පසුව ඒ සඳහා මම ඉදිරිපත් වුණා. එතන තමයි රුධිය දන්දීමේ දෙවැනි ආරම්භය. එතැන ඉඳලා මම දිගටම මේ කටයුත්තුට සම්බන්ධ වුණා.

පසුගිය කොවිඩ් සමයේ මම තමයි වැඩිම අවස්ථා ගණනකදී රුධිරය දන්දුන් පුද්ගලයා. හැබැයි මම මේ දේවල් කරන්නේ කිසිම ජනප්‍රියත්වයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම මේ දේ සිදුකරන්නේ හුදෙක්ම මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් පමණයි. මගෙන් රුධිරය ලබා ගන්නා පුද්ගලයා නැවත ජීවයක් ලබනවා නම් ඒ තමයි මගේ සතුට. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ තමන්ගේ ශරීර අවයව දන් දීම උතුම්ම සත්ක්‍රියාවක් කියලා.

ලේ දන් දීමේදී ඔබ රුධිර පට්ටිකා දන්දීම සිදුකරනවා නේද?

ඔව්. රුධිරය දන්දීම ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය රුධිර පරිත්‍යාගය. අනිත් ක්‍රමය තමයි රුධිර පට්ටිකා පරිත්‍යාගය. සාමාන්‍ය රුධිර පරිත්‍යාගය සඳහා විනාඩි දහයක් පමණ ගත වුණත් රුධිර පට්ටිකා පරිත්‍යාගයේ දී ඊට වඩා කාලයක් ගතවෙනවා.

ඔබ රුධිර පට්ටිකා දන්දීම සඳහා යොමුවුණේ කොහොමද ?

මම මුලින්ම සාමාන්‍ය රුධිර පරිත්‍යාගය සිදු කළත් මාව පරීක්ෂණයකට භාජනය කරලා එවකට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හිටපු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු විසින් කිව්වා රුධිර පට්ටිකා ලබා ගැනීම සඳහා ඔබව තෝරාගෙන තියෙනවා කියලා. ඒ විදිහට ආරම්භ කරලා මම 138 වතාවක් රුධිර පට්ටිකා ලබාදීලා තියෙනවා. එක් අවස්ථාවක රුධීර පට්ටිකා ලබාදීම සඳහා පැය එකහමාරක දෙකක අතර කාලසීමාවක් රුධිරය ලබා ගන්නවා. සාමාන්‍ය රුධිර පරිත්‍යාගයකදී එක් පට්ට්කාවක් ලබාගත හැකි වුණත් රුධිර පට්ටිකා පරිත්‍යාග කිරීමේදී රුධිර පට්ටිකා ඒකක 16ක් ලබා ගැනීම සිදු කෙරෙනවා. ඉන් ශරීරයට කිසිම හානියක් සිදුවෙන්නේ නැහැ. මොකද පට්ටිකා ප්ලාස්මා වෙන් වුණාට පස්සේ නැවතත් පට්ටිකා ලබාගන්නා යන්ත්‍රය මඟින් ශරීරයට ලබා දීම සිදුවෙනවා . ඒ නිසා දින 14කට වතාවක් රුධිර පට්ටිකා ලබා දීම සිදුකරන්න පුළුවන්.

ඔබ යුද බිමේදී රට වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කළා. යුද්ධයෙන් පසුවත් ඔබ රට වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරනවා. මේ තමයි ලෝකයේ මානුෂීයම හමුදාව කටයුතු කරන විදිහ. හැබැයි මොවුන් පිළිබඳ සමාජයේ විවිධ මත තියෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

රටේ අනෙකුත් අවශ්‍යතාවලදි වගේම රුධිර අවශ්‍යතාවය ආපු හැම අවස්ථාවකම ඒ සඳහා ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. ඇතැම් අවස්ථාවලදී යම් පිරිස් විශ්වාස කරනවා එයාලගේ ආගම අනුව රුධිය දන්දීම අකැපයි කියලා. නමුත් යුද්ධ හමුදාව ගත්තාම එහෙම දේවල් තිබ්බේ නෑ. උතුරෙද දකුණෙද නැගෙනහිරද කියලා නෑ යුද්ධ හමුදා සෙබළු ලේ දන්දීම සිදුකරනවා. ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාග කිරීමේ ප්‍රථමයා තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. අපි මානුෂීයම හමුදාවක් කියනදේ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. මහජනාතව අපි දිහා එදා යුද්ධය අවසන් කරපු කාලෙදි තිබුණු හැඟීමෙන්ම බලනවා. හැබැයි ඒ මතය වෙනස් කරන්න ඉතාමත් සුළු පිරිසක් කටයුතු කරනවා. නමුත් අපි ඒ දේවල් තැකිය යුතු නැහැ. මොකද සෑම අවස්ථාවකදීම රටේ යම් ව්‍යසනයක් එහෙම නැත්නම් හදිසි අවස්ථාවක් ඇති වුණොත් පළමු ප්‍රතිචාර දැක්වීම සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. පසුගිය කොවිඩ් සමයේදීත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටේ ජනතාව වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. යුද්ද හමුදාව ඉන්නේ පටු ලාභ ප්‍රයෝජන ගන්න නෙවේ. ඒ නිසා ඔය සුළු පිරිසක් කරන චෝදනා රටේ ජනතාව පිළිගන්නේ නෑ.

දිලංක ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment