ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව අසරණද?

661

ආණ්ඩුවට ජිනීවා තොණ්ඩුව අමතකය. සේවයේ නියුතු සහ විශ‍්‍රාමික හමුදා නිලධාරීන් හට ගමන් තහනම් පැනවීම මොස්තරක් බවට පත් වී ඇත. ඉතාමත් නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදය, නිදහස් ලංකාවේ ප‍්‍රථම වරට ඇතිවී ඇති ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අවිනිශ්ෂිත බව (පොහොර අර්බුදය හේතුවෙන්), ආණ්ඩු පක්ෂය තුළ බරපතළ දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත්වී ඇති යුගදනවි ගිවිසුම, ‘වසංගතයක් බවට පත්වී ඇති ‘ගෑස් සිලින්ඩර් අනතුරු, ගෙවුම් ශේෂ ගැටලූව, පාලනය කර ගත නොහැකි ජීවන වියදම රජය පීඩාවට පත්කර ඇත. ජිනීවා අභියෝගය අමතක වීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. කොවිඞ් ව්‍යසනයකි. නමුත් රජය සාර්ථක ලෙස එය පාලනය කිරීමට කටයුතු කර ඇත. දේශපාලන කුහකයින් මොනවා කීවත් පොහොට්ටු රජයට එම ගෞරවය හිමි විය යුතුය. නමුත් ඉහත සඳහන් අනෙකුත් බොහෝ අර්බුද විහින් ඇතිකර ගත් බව කිව යුතුය. දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා වර්තමාන අර්බුදකාරී තත්ත්වයට කොපමණ හේතුවී ඇතිද? පාර්ලිමේන්තු වාරය අවසාන කර, වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා විමර්ශනය කරන කමිටු අහෝසි කර වර්තමාන අර්බුද වලට කෙටි කාලීන විසඳුම් සෙවිය හැකිද?

ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව අසරණද?

ත‍්‍රස්තවාදය පරාජය කළ ශ‍්‍රී ලංකාව තවමත් ජිනීවා යුද අපරාධ උගුලේ හිරවී ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකාවට එරෙහි බටහිර ක‍්‍රියාදාමය තවදුරටත් තීව‍්‍ර කර ඇත. ඇමෙරිකාව ඒ මෙහෙයුමට නායකත්වය සපයන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. දෙසැම්බර් 5 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඇමෙරිකාව ත‍්‍රස්තවාදය පරාජය කළ ශ‍්‍රී ලංකා යුද හමුදාවට බලවත් අරියාදුවක් කළේය. අවාසනාවකට එම කෙනෙහිළිකමට අවධානය යොමු නොවීය. ඇත්ත වශයෙන්ම විශ‍්‍රාමික මේජර් ජෙනරාල් උදය පෙරේරාට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීම යම් පුද්ගලයෙකුට එරෙහිව ගත් ක‍්‍රියාමාර්ගයකට වඩා ශ‍්‍රී ලංකාවට කළ අනිසි බලපෑමකි. අපහාසයකි. සමස්ත රාජ්‍යත‍්‍රන්තයේ අසමත්වීමකි. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන කිසිදු දේශපාලන පක්ෂයක් මේජර් ජෙනරාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටියේ නැත. සියලූම දේශපාලන පක්ෂ මෙම පුවත සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.

ශ‍්‍රී ලංකාව වටලීමේ මෙහෙයුම අවධාරණය කරමින් ඇමෙරිකාව මේජර් ජෙනරාල්වරයා සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකට ගොඩවීම වළක්වන්නේ අන්තිම මොහොතේදීය. ඒ වනවිට විශ‍්‍රාමික හමුදා නිලධාරියා හට සේවක මණ්ඩලය විසින් ගුවන් යානයට නැගීමට අවශ්‍ය අවසරය ලබා දී තිබුණි. ගුවන් සේවයේ නියෝජිතයෙකු මේජර් ජනරාල්වරයාට දන්වා සිටියේ ගුවන් යානයට ගොඩවීමට ඔහුට අවසර නැති බවයි. ඊට හේතුව ඇමෙරිකානු බලධාරීන් කළ හදිසි දැනුම් දීමක් බව අවධාරණය කෙරිණි. තමන් උපන් බිමේ තමන් අන්ත අසරණ වූ බවක් මේජර් ජෙනරාල්වරයාට දැනෙන්නට ඇත.

දශක තුනකට වඩා තම දිවිය පරදුවට තබා ශ‍්‍රී ලංකා රාජ්‍යට සේවය කළ හමුදා නිලධාරියෙකුට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහණ දීමට සිදුවීම මහත් ඛේදවාචකයක් නොවන්නේද? විශ‍්‍රාමික නිලධාරියා ආපසු හැරී තම නිවසට ගිය අතර ඔහුගේ බිරිඳ සහ පුත‍්‍රයා ගුවන් යානයට ගොඩවිය. ඔවුන්ගේ ගමනාන්තය වූයේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළයි. කොළඹ -සිංගප්පූරුව-ලොස් ඇන්ජලීස් ගමනේ පරමාර්ථය වූයේ ජෙනරාල්වරයාගේ මිණිබිරිය පළමුවරට දැකගැනීමටයි.

රජය වර්ධනය වෙමින් පවතින බටහිර බලපෑම තේරුම් ගන්නා බවක් පෙනෙන්නට නැත. කොළඹින් පිටත්වන ගුවන් යානයකට ඇතුළු වීමට මොහොතකට පෙර ඇමෙරිකාව දොර වසා දැමූ ප‍්‍රථම විශ‍්‍රාමික /දැනටත් සේවය කරන නිලධාරියා මේජර් ජෙනරාල් පෙරේරාය. නමුත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තවත් බොහෝ නිලධාරීන් ලැයිස්තු ගත කර ඇත.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ප‍්‍රබල දායකත්වයක් දැක්වූ නිලධාරීන්ට වන අසාධාරණය කිසිදු දේශපාලන පක්ෂයක සැබෑ අවධානයට ලක් නොවන්නේ ඇයි ? විශේෂයෙන්ම වර්තමාන රජය ජිනීවා අර්බුදය සම්බන්ධයෙන් ක‍්‍රියා කරන ආකාරය අදහාගත නොහැක. රජය සිවිල් සංවිධාන එකතුවක් සමඟ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ උත්සාහයක යෙදී සිටී. එහි වරදක් නැත. නමුත් කිසිදු අධිකරණ ක‍්‍රියාවලියක් තුළ සැකයකින් තොරව ඔප්පු නොවූ චෝදනා සහ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා නිලධාරියෙකු වීම හේතුවෙන් බරපතළ ලෙස අගතියට පත්වන පුද්ගලයන්ට කිසිදු ආරක්ෂාවක් නැත.

යුද්ධය දිනු හමුදාවට නායකත්වය දුන් ෆීල්ඞ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා, වර්තමාන යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා ඇතුළු නිලධාරීන් ගණනාවකට ඔස්ටේ‍්‍රලියාව සහ ඇමෙරිකාව තහංචි පනවා ඇත. මෙම තත්ත්වය උදා වූයේ යහපාලන රජය 2015 ඔක්තෝබර් මස 1 දින ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රට පවා දුන් යෝජනාවලියකට සම අනුග‍්‍රාහකත්වය දැක්වීමෙන් පසුවය. මෙම පාවාදීමට එජාපය මෙන්ම එවකට යහපාලනයේ අනෙකුත් පාර්ශ්වකරු වූ ශ‍්‍රීලනිපය වගකිව යුතුය. අද ශ‍්‍රීලනිපය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරුය.

විශ‍්‍රාමික සහ තවමත් සේවයේ දී සිටින ආරක්ෂක හමුදා නිලධාරීන් හට විදේශීය ගමන් තහනම් පැනවීම සම්බන්ධයෙන් රජය මෙන්ම පාවාදීමේ ජිනීවා ගිවිසුමට වගකිව යුතු වගවිය යුතු එජාපය සහ ශ‍්‍රීලනිපය තම ස්ථාවරය රටට හෙළි කළ යුතුය. කථානායක මහින්ද යාපා අබේවර්ධන පක්ෂ නායකයන් සමඟ කරුණු විමසීමෙන් පසුව පාර්ලිමේන්තුව වෙනුවෙන් ප‍්‍රකාශයක් කළ යුතුය. පාවාදීමේ ගිවිසුම අත්සන් කරන විට කථානායක වූ වර්තමානයේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය ද තම ස්ථාවරය රටට හෙළිකළ යුතුය.

ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකාට ඇමෙරිකාව වීසා නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළේ ඔහු යහපාලන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සමඟ 2017 එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට යෑමට සූදානම් වූ අවස්ථාවේදීය. එවකට අමාත්‍ය ධුරයක් දැරූ ෆොන්සේකාට වූ අසාධාරණය සම්බන්ධයෙන් යහපාලන රජය නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. එවකට විපක්ෂය වූ අද බලයේ සිටින කණ්ඩායම ෆොන්සේකා හතුරෙකු විය. ෆොන්සේකාට වීසා නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළේ ඔහු පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ඇමෙරිකාව බව අද බොහෝ දෙනකුට අමතකය. නැතහොත් වුවමනාවෙන්ම අමතක කර ඇත.

ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට වෙනුවෙන් ඇමෙරිකාව එජාප – ද්‍රවිඩ ජාතික සන්ධානය – ජවිපෙ දේශපාලන හවුල ගොඩනැගුවේය. ෆොන්සේකා උතුර සහ නැගෙනහිර පළාත් දෙකම කිසිදු අපහසුවකින් තොරව ජයග‍්‍රහණය කළේය. නමුත් දකුණ ඔහුව පරාජය කළේය. ඒ වැඩි ජන්ද ලක්ෂ 18 ක් දෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දීමෙනි. දේශපාලන පොර පිටියේ තත්ත්වය කෙසේ වුවත් යුද අපරාධ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පක්ෂවලට පැහැදිලි එක ස්ථාවරයක් ගත යුතුව තිබිණි. නමුත් තරු පහේ ප‍්‍රජාතන්තවාදය තුළ ක‍්‍රියාත්මක කුහක දේශපාලඥයන්ට බලයේ ඉදිරියේ කිසිවක් මතක නැත. මේජර් ජෙනරාල් උදය පෙරේරා ලැජ්ජාවට පත් කිරීම විමසා බැලිය යුත්තේ රජය ජිනීවා උගුල සම්බන්ධයෙන් අනුගමනය කරන පුදුමාකාර ප‍්‍රතිපත්තිය අවධානයට ලක් කිරීමෙනි.

මේජර් ජෙනරාල් පෙරේරා සහ අනෙකුත් සහෝදර නිලධාරීන් මුහුණ දුන් තත්ත්වය විමසා බැලිය යුතුය. ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා, එලෙසෙම මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ කළ වීසා ඉල්ලීම පිළිවෙළින් ඇමෙරිකාව සහ ඔස්ටේ‍්‍රලියාව ප‍්‍රතික්ෂේප කළේය. ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකු වූ ගාල්ලගේ කළ වීසා ඉල්ලීම ප‍්‍රතික්ෂේප වන්නේ 2016 දිය. ඒ ඔහු හමුදා සේවයේ යෙදී සිටින අවස්ථාවකදීය. ෆොන්සේකා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවීම ඇමෙරිකාව වළක්වන්නේ 2017 දිය. සිරිසේන ජනාධිපතිවරයා 2017 නොවැම්බර් මාසයේ මුල නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී හමුදා නිලධාරීන් සමඟ පැවති හමුවකදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක ජිනීවා මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එවකට හමුදාපති වූයේ ලූතිනල් ජනරාල් මහේෂ් සේනානායකය. ජනාධිපති සිරිසේන යම් රටවල් හමුදා නිලධාරීන්ට වීසා නොදීම සම්බන්ධයෙන් පියවර ගැනීමට අවශ්‍ය බව අවධාරණය කළේය. ජනාධිපතිවරයා එම තත්ත්වය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළේය. එවකට යුද අපරාධකරුවෙකු ලෙස නම්කර සිටි මේජර් ජෙනරාල් ගාල්ලගේ සහ වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද ඒ අවස්ථාවේදී එම සභාවේ විය. ජනාධිපතිවරයා වීසා ගැටලූව සම්බන්ධයෙන් නිසි ලෙස ක‍්‍රියා කළාද? ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වර්තමාන පොහොට්ටු මන්ත‍්‍රී සිරිසේන ජිනීවා අභියෝගයට මුහුණ දුන් ආකාරය විමසා බැලිය යුතුය. ජිනීවා යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීමේ වරද සම්පූර්ණයෙන්ම එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ නැසීගිය විදේශ ඇමැති මංගල සමරවීර පිට පටවා කිසිවෙකුට ප‍්‍රශ්නයෙන් නැතහොත් දෝෂාරෝපණයෙන් ගැලවිය නොහැක. එදා සිරිසේන ජනාධිපතිවරයාගේ කතාව අසා සිටි එවකට මේජර් ජනරාල් හමුදාපති ධුරයට පත් කළේ සිරිසේන ජනාධිපතිවරයාය. ඒ 2019 අගෝස්තු මාසයේදීය. අවසන් ජනාධිපතිවරණයට මාස තුනකට පෙරය.

යුද අපරාධ චෝදනා නිෂ්ප‍්‍රභ කළ හැකි ප‍්‍රබල සාක්ෂි (2011 දී ඇමෙරිකානු ආරක්ෂක උපදේශක ලූතිනල් කර්නල් ලෝරන්ස් ස්මිත්, 2017 දී නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව සහ ජාත්‍යන්තර රතු කුරුසිය කළ ප‍්‍රකාශ ඇතුළු කරුණු) කිසිවක් අද වනතුරු ශ‍්‍රී ලංකාව නිල වශයෙන් ඉදිරිපත් කර නැත. තවමත් ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය ස්ථාපිත කළ බව කීමට රජයට ශක්තියක් නැත. හතරවන ඊළාම් යුද්ධය සම්බන්ධයෙන් මහාවංශයේ වාර්තා ෆීල්ඞ් මාෂල් ෆොන්සේකා අභියෝගයට ලක් කර ඇති අවස්ථාවේ ජිනීවා හිදී ශ‍්‍රී ලංකාව අසාර්ථක වීම පුදුමයක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් ජනාධිපතිවරණය ඉහළින්ම ජයග‍්‍රහණය කළේය. හමුදාපති සිල්වාට සහ ඔහුගේ පවුලට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීමේ නියෝගයක් 2020 පෙබරවාරි 13 දින නිකුත් කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව ක‍්‍රියා කළේය. ඒ ඇමෙරිකාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක කර ඇති සමස්ත දේශපාලන මෙහෙයුමේ කොටසක් ලෙසය. ත‍්‍රස්තවාදය පරාජය කර වසර 12 කට පසුව 58 වන සේනාංකයේ සේනාධිනායක ශවේන්ද්‍ර සිල්වා හදිසියේම යුද අපරාධකරුවෙකු ලෙස නම් කෙරිණි. මහමැතිවරණයට පෙර පොහොට්ටු රජයට ප‍්‍රහාරයක් එල්ල කෙරිණි.

සමස්ත කැබිනට් මණ්ඩලය ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් වගකීම බාර ගත යුතුය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ජිනීවා අභියෝගය පිළිබදව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ වගවිය යුතුය. ත‍්‍රස්තවාදය අතුගා දැමීමෙන් පසුව පැවැත්වූ පළමුවන ජනාධිපතිවරණයේදී යුද හමුදාවට කිසිදු තත්ත්වයක් යටතේ සමකළ නොහැකි නායකත්වයක් දුන් ජෙනරාල් ෆොන්සේකාට ජන්දය ප‍්‍රකාශ කළ ද්‍රවිඩ ජාතික සන්ධානයට තව දුරටත් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය ඉදිරියේ කරුණු දැල්විය හැකිද? රජය මෙවැනි කරුණු කාරණා සම්බන්ධයෙන් ජිනීවා, වොෂින්ටන් හෝ නිව්යෝක් අදාළ රජයන්හි අවධානය යොමු නොකිරීමට විශේෂ හේතුවක් තිබේද?

ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා අපකීර්තියට පත්කිරීම සමස්ත බටහිර මෙහෙයුමේ ප‍්‍රධාන කොටසකි. මේජර් ජෙනරාල් උදය පෙරේරා එම මෙහෙයුමේ වින්දිතයෙකි. නමුත් ඔහු කිසිසේත්ම අවසාන වින්දිතයා නොවේ. බොහෝ විට ඔහුට නැවත කිසිදා ඇමෙරිකාවට ඇතුළු වීමට ඇති අවස්ථාවක් ලැබෙන්නේ නැත. අමිහිරි සත්‍ය එයයි. චාගි ගාල්ලගේට ඔස්ටේ‍්‍රලියාවට හෝ ෆොන්සේකාට සහ ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේද නැත. මෙම තත්ත්වයට මුහුණ දී ඇති අනෙකුත් නිලධාරීන්ගේ තත්ත්වයද වෙනසක් නැත.

දැනට ජිනීවා මැදිහත් වීමෙන් ක‍්‍රියාත්මක නව පරීක්ෂණ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට නුදුරු අනාගතයේදී ලැබෙනු ඇත. එවිට තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇත. රජය වර්ධනය වෙමින් පවතින තර්ජනය නිසියාකාරව තේරුම් ගෙන නැත.

ඔහුට වසර පහකට වලංගු වන පරිදි කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වීසා බලපත‍්‍රයක් නිකුත් කර ඇත්තේ 2019 අගෝස්තු මාසයේදීය. ඒ ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙරය. එම වසරේ සැප්තැම්බර් මස ඔහුගේ දුවගේ විවාහ මංගල්‍යට සහභාගි වීමට ඇමෙරිකාව බාධා කර නැත. නමුත් 2019 සැප්තැම්බර් සහ 2021 දෙසැම්බර් අතර හිටපු ජෙනරාල්වරයා සම්බන්ධයෙන් ඇමෙරිකාව තීන්දුවකට පැමිණි ඇත. ඒ යුද සමයේ මෙහෙයුම් අධ්‍යක්ෂ වූ , 2009 අපේ‍්‍රල් සහ 2011 ජුනි 2011 අතර මලයාසියාවේ නියෝජ්‍ය මහා කොමසාරිස් ලෙස සේවය කළ මේජර් ජෙනරාල්වරයා යුද අපරාධකරුවෙකු බවයි.

ඇමෙරිකාවේ උසස්ම යුද හමුදා ආයතනය වන ‘US Army War College’ 2012 දී උසස් අධ්‍යාපනය (යුද්ධය අවසන් වී වසර 4 කට පසුව ) Master’s Degree ලබා ඇති මේජර් ජෙනරාල් පෙරේරා හදිසියේම යුද අපරාදකරුවෙකු වූයේ ඇයි ?

මෙහිදී 2018 දී විශ‍්‍රාම ගිය මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී කළ ආන්දෝලනාත්මක කතව සිහියට නැගේ. දශක තුනකට වැඩිකාලයක් සේවය කළ තමා විශ‍්‍රාම යන්නේ යුද අපරාධකරුවෙකු ලෙස බව ගජබා විරුවා ප‍්‍රකාශ කළේ කෝපයෙන් බවට සැකයක් නැත. විශ‍්‍රාම යෑමේදී එවැනි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ එකම නිලධාරියා ඔහුය. දේශපාලන නායකත්වය භූමියේ සැබෑ තත්ත්වය තේරුම් ගත යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment