‘තාත්තා’ට වෙඩි තැබීම

1379

නාරම්මල පොලිසිය යනු අවාසනාවන්ත පොලිසියකි. මෙහි ඕඅයිසී ඉතා යහපත් පුද්ගලයෙකි. ඔහු දුරකථනයෙන් කතා කළ විට ඉතා විනීත ලෙස පිළිතුරු දෙයි. එහෙත් ඔහුගේ කාරුණිකත්වයෙන් පොලිසියේ අවාසනාව දුරු වී නැති බව පෙනේ.

පසුගිය 16 වැනිදා මේ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ඕඅයිසී කසිප්පුකාරයකුගෙන් රුපියල් දහදාහක පගාවක් ගත්තේ ය. එය අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අතටම හසුවිය. ඉන් පසු දූෂණ මර්දන ඕඅයිසීගේ වැඩ තහනම් කරන ලද අතර, රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය. ඉන් පසු එම තනතුරට එන්නේ කේ. ගුණවර්ධන නමැති එස්. අයි. කෙනෙකි. ලබන අවුරුද්දේ විශ්‍රාම ගැනීමට සිටි කේ. ගුණවර්ධනට දූෂණ මර්දන ඕඅයිසීකම කටුස්සාට බැන්ද රන් මාලය හා සම විය. ඔහු පොලිසිය ඇතුළේ ද පිස්සු පොරක් ලෙස හැසිරුනු අවස්ථා ඇතැයි දැන ගන්නට තිබේ. මේ අතර පසුගියදාක නඩු එකතුකිරීම පිණිස කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයට රාත්‍රි කාලයේදී අවතීර්ණ විය. ඕඅයිසී සිටියේ සිවිල් ඇඳුමිනි. ඔහු රාජකාරි නිල ඇඳුම ඇඳ සිටියේ නැත. මේ අතර ඩීමෝ බට්ටෙක් පාරේ එන බව ඔහුට පෙනිණි. ලොරිය නැවැත්වීමට ඔහු අත දැමූ නමුත් ලොරියේ ඩ්‍රැයිවර් වූ 40 හැවිරිදි කේ. ඒ. රොෂාන්ත කුමාරසිරි ලොරිය නැවැත්වූයේ නැත. මෝටර් බයිසිකලයක නැඟී ලොරිය පස්සෙන් පන්නාගෙන ගිය කේ. ගුණවර්ධන අන්තිමේදී ලොරිය නවත්වා රියැදුරාගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කරන්නට විය. එතැනින් පසු කියැවෙන කතාව වන්නේ ඒ කළබලය නිසා පිස්තෝලය පත්තු වූ බව ය. අප නම් කියන්නේ ගුණවර්ධනකාරයා ස්ථිර වශයෙන් ම රියැදුරාගේ හිසට වෙඩි තබන ලද බවය. එයට හේතුව ඔහු ගිනි අවියේ ආරක්‍ෂක අගුල ඉවත්කර එය රියැදුරුගේ හිසට තැබීම ය. ගිනි අවියක ආරක්‍ෂක අගුල ඉවත් කරන්නේ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ විට ය. රියැදුරාගේ හිසට පිස්තෝලය තැබුවේ ඔහු බය කිරීමට යැයි මිනීමරු ගුණවර්ධන කියා තිබේ. එසේ නම් ඔහු ගිනි අවියේ ආරක්‍ෂක අගුල ඉවත් කළේ ඇයි? මෙතරම් භයානක කෙළියක් සිද්ධ වුණාට පසු තමා රියැදුරුගේ හිසට පිස්තෝලය තැබුවේ ඔහු බයකිරීමට ය යනුවෙන් ගුණවර්ධන ලොක්කා ගොං කතා නොකිය යුතු ය. මෙය චේතනාන්විත මිනීමැරුමකි. හදිසි කෝපයකට අවශ්‍ය පසුබිමක් ද මේ මිනීමැරුම තුළ නැත. එබැවින් ගුණවර්ධන ලොක්කා ගස් යන එක වැළැක්වීම ඉතා දුෂ්කරය. ඔහු ගස් යවන එක වැළැක්වීමට කළ හැකි දෙයක් වෙත්නම් ඒ වූ කලී ඔහු එල්ලන දවසට කලින් දවසේ එල්ලුම් ගස සොරකම් කරගෙන යෑම ය. එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලුත් එල්ලුම්ගහක් ඕඩර් කර ඔහු එල්ලනවා ඇත. මෙහිදී තවත් යමක් කියමු. දැන් ලංකාවේ අපරාධකරුවන් එල්ලනු නො ලැබේ. මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙකුට ඉතිරි මුළු ජීවිත කාලයම හිරේ සිටීමට සිදුවේ. මෙය අපාගත වනවා හා සමාන කාරණයකි. ඊට වඩා එල්ලුම් ගස් යෑම අත්‍යන්තයෙන් ම හොඳය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ යහපත් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ද, ගොන් වාහෙලා ස්වල්පයක් ද සිටිති. දෙපාර්තමේන්තුව කා දමන්නේ මේ ගොන් වාහෙලා විසිනි. මේ රටේ පොලිසිය මේ වෙලාවේදී මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට විශාල පරිශ්‍රමයක් යොදමින් සිටියි. එම පරිශ්‍රමයේදී හිටපු ගමන් පොඩි පොඩි වැරදිත් සිදුවෙයි. ඕනෑම දෙයක 10% ක වේස්ට්ටේජ් එකක් තිබේ. එබැවින් මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ මෙහෙයුමකදී අතපසුවීම් සහ වැරදි වැටහීම් හටගැනීම ස්වභාවිකය. පසුගිය කාලයේදී මේ රටේ පොලිසිය වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් කුඩු ටොන් කිහිපයක් ම අත්අඩංගුවට ගත්තේය. එමතුද නොව කසිප්පු ද, ගංජා ද, අයිස් ද, බාබුල් ද විශාල වශයෙන් මේ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා ලදී. එසේම ඩුබායි සිට ලංකාවේ කුඩු බිස්නස් කරන ජාවාරම්කාරයන්ගේ ලෝකල් ඉත්තන් රැසක් ද මෙහිදී අත්අඩංගුවට පත්වූහ. එසේ අත්අඩංගුවට පත් වූ අය අතර අවුරුදු විසිගණන්වල සුරූපී ගැහැනු දරුවෝ පවා සිටිති. කුඩු මර්දනය කිරීමේ සීන් එක නිසා මේ රටේ ජනතාව පොලිසිය කෙරෙහි කිසියම් ප්‍රසාදයකින් පසුවෙයි. ඒ අතර ලොරියක් එලවූ අහිංසක පවුල්කාරයෙකුට වෙඩි තබා කේ. ගුණවර්ධන මහජනතාවගේ ආතල් එක සම්පූර්ණයෙන්ම කඩා දමා ඇත. ඔහුට විරුද්ධව හැකි උපරිම පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු.

ගුණවර්ධනගේ පිස්සු කෙළියෙන් පසු නාරම්මල ගමේ ජනයා පැමිණ පොලිසිය වැටලූහ. සාමාන්‍ය ජනයා පොලිසියක් වටලන්නේ ඉතාම කලාතුරකිනි. මෙයට කලකට පෙරදී සපුගස්කන්දේ පොලිසියෙන් ගුටි කා මිනිහෙක් මියගිය අතර ඔහුගේ දේහය තැන්පත් කළ මිනී පෙට්ටිය රැගත් ගම්වැසියෝ එය පොලිසියට ගෙන ගොස් එහි තැන්පත් කිරීමට සැරසුණාහ. එහෙත් උසස් නිලධාරීන්ගේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් වශයෙන් යාන්තම් මිනී පෙට්ටිය සුසාන භූමියට යවන ලදි. කිරි කළයක් නැසීමට ගොම බිංදුවක් ප්‍රමාණවත් ය. එක පොලිසියක් නැසීමට එකම එක රාළහාමි කෙනෙක් ප්‍රමාණවත් ය. ආණ්ඩුවක් නැති කිරීමට අවශ්‍ය වන්නේ එක මන්ත්‍රී කෙනෙකුගේ පිස්සු කෙළියක් පමණි. අප ජීවත් විය යුත්තේ මේ වාස්තවික තත්ත්වයන් දැන හඳුනාගෙන ය. නාරම්මල සිද්ධියෙන් බිරිඳකට සැමියෙක් අහිමි විය. දරුවන්ට පියෙක් අහිමි විය. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම පවුලට රුපියල් දසලක්‍ෂයක් පිරිනැමීම ගැන අප ස්තුතිවන්ත වෙමු. එහෙත් මේ පවුලේ තාත්තා නැති අඩුව රුපියල් කෝටියක් දීලාවත් පිරිමසන්නට බැරි බව සඳහන් කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment