තාත්තා අපිට වැඩිය ආදරය කළේ පොත්පත්වලට

409

(විශිෂ්ඨ ඉතිහාසඥයකු, පුරාවිද්‍යාඥයකු හා සාහිත්‍යවේදියකු වූ මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතාගේ අගෝස්තු 25 වන දිනට යෙදුන 10 වැනි ගුණ සමරුව නිමිත්තෙනි)

මගේ තාත්තා කොයි වගේ කෙනෙක් ද යන්න මා නිතර සිතන දෙයකි. ඔහු රටම පිළිගත් අතිප‍්‍රමාණික උගතෙකු බවට හඳුන්වන බව ඇත්ත ය. ඔහුට ඉගැන්වීම, පර්යේෂණ, පොත්පත් ලිවීම, දේශන ආදිය හැර වෙනත් ජීවිතයක් නැතැයි මට සිතුනේ මට යමක් තේරෙන වයස වනවිටය. මා නිතර දකින්නේ මොනවා හෝ පොත් ගොන්නක් පෙරළමින්, බිත්තිවල ඇති කුරුටු අකුරු සටහන් ලේඛන (සෙල්ලිපි) කියවමින් එක්කෝ මොනවා හෝ ලියමින් ඉන්න මගේ තාත්තා හෙයිනි. ගෙදර ඉන්නා විට කන්නට බොන්නට හය හත් සැරයක් තාත්තාට අ`ඩගැසීමට අම්මාට නිතර සිදුවූ බව මට මතක ය. එක්කෝ තමන් හමුවීමට එන හාමුදුරුවරු, පත්තරවල අය එක්කෝ හෝ තවත් අය හා කතාවේ ය. වල්පල් නොවෙ. ඉතිහාසයේ, සාහිත්‍යයේ කතා බහය.

තාත්තා අපිට වැඩිය ආදරය කළේ පොත්පත්වලට

අපේ අම්මා තාත්තාව හොඳින් තේරුම් ගත් නිසා තාත්තාගේ මුඵ ශාස්ත‍්‍රීය සේවය, එසේම සරසවියේ හා වෙනත් තනතුරු දක්වා පැමිණීම කරදරයක් නැතිව සිදුවූ බව මට දැන් වැටහේ. අප හතරපස් දෙනාගේ වැඩ ගැන වැඩිපුරම ඒ නිසා වෙහෙසුනේ අම්මා ය. සමහර දිනවල අප නින්දට යනවිට තාත්තා කාමරයේ ලියන කියන වැඩවල ය. හදිසියේ මට රැ ඇහැරුණහොත් තාත්තාගේ කාමරයේ විදුලි පහන් නිවා නැත. උදයේ අවදිවන විට ද තාත්තා වැඩ ය. මේ තරම් තාත්තා මොනවා ලියනවා දැයි පුංචි කාලේ මා අම්මාගෙන් කීප විටක්ම ඇසූ හැටි මට මතක ය.

කෙසේ වෙතත් මගේ තාත්තා මේ හැම අතින්ම හැඳින්වූවත් මම නම් අදත් දකින්නේ හද්දා පිටිසර අව්‍යාජ හා නිහතමානි ගැමියෙකු ලෙස ය. හැම දෙනාටම මිනිසුන්ට, සතා සීපාවට, ගහ කොළවලට මෙන්ම, රටට ජාතියට හා තම ආගමට ආදරය කළ සුන්දර ගැමියකු ලෙස ය. මගේ තාත්තා ආචාර්ය, මහාචාර්ය පදවි, තවත් සම්මාන පිට සම්මාන ලබමින් රට රාජ්‍යවල ගෞරවයට පවා ලක්වූයේ එතුමා මියයන තෙක්ම ඒ අහිංසක ගැමිකම හා නිර්ව්‍යාජත්වය සහිත අයකු ලෙසම දුටුවෙමි. ඒ තරම් නිර්ව්‍යාජ නිහතමානීකමක් ඔහුගේ දරුවන් වන අපට ළඟා කර ගන්නට තවමත් හැකිවී ඇත්දැයි මම බොහෝ විට මගෙන්ම විමසමි.

තාත්තා අපිට වැඩිය ආදරය කළේ පොත්පත්වලට

තාත්තා සතුන්ට ඉතා ආදරේ ය. ඔහුගේ වාහනයේ ඇතුළත හෝ ඩිකියේ බැළලියක් පැටවු දැමූ අවස්ථා මට මතක ය. අම්මා හෝ අපි උන් ඉවත් කරන්නට ගියත් තාත්තා ඊට ඉඩ නොදේ. අප කුඩා වියේ ගෙදර තිබුණේ එකම වාහනයකි. තාත්තා ඒ බළල් අම්මා හා පැටවුන් වාහනයේ ඩිකියේ කාඞ්බෝඞ් පෙටිටියක තබාගෙන ඉගැන්වීමට සරසවියට යයි. පැටවු ලොකුවන තෙක් එසේම ය. ඒ අපේ තාත්තාගේ සත්ව කරුණාව ය.

මගේ තාත්තා අතිප‍්‍රමාණ උගතෙකු, පර්යේෂකයකු සේම ඔහුව මා දකින්නේ රැඩිකල් ශාස්ත‍්‍රීය පර්යේෂකයකු හා වියතෙකු ලෙස ය. තාත්තා කොයි ජගතා කීවත් තමාට සාධක සහිතව නැත්නම් ඒ තොරතුරු මත පිළිගන්නේ නැති කෙනෙකි. තාත්තා හමුවීමට එන බොහෝ අය හා හාමුදුරුවරු සමග පවා තාත්තා හරි හරියට තර්ක කරමින් වාද කරනු මා පොඩි කාලයේ සිටම අසාගෙන ඇත. පෘතුගීසීන් ලංකාවට පැමිණියේ 1505 දී යන්න සම්පූර්ණයෙන් වැරදි බව පෙන්වමින් එය 1517 බව සනාථ කරන්නට ඔහු සමත් වූයේ ඒ නිසා බව මට දැන් වැටහේ. වරක් තාත්තා පරණවිතානයන් පොළොන්නරු රජවරු ගැන කියා තිබූ මතයකට එරෙහි මතයක් ඉදිරිපත් කිරීමෙන් පත්තරවල විවේචන පිට විවේචන පළවූවා මට මතක ය. තාත්තා ඒවායින් සැළුනේ නැත. නිශ්ශංකමල්ල මහ කයිවාරුකාර රජෙකි යනුවෙන් බොහෝ අය උගතුන් පවා කරන උපහාසය සම්පූර්ණයෙන්ම වැරදි බව සනාථ කරමින් තාත්තා ”කීර්ති ශ‍්‍රී නිශ්ශංකමල්ල’’ නම් පොතක් ලිව්වේ ය.

අපේ තාත්තා තනතුරුවලින් ක‍්‍රමයෙන් ඉහළට යන්නට යන්නට පොතපත හා නව මත ආදිය නිසා ජනප‍්‍රියත්වයට හා ගෞරවයට පාත‍්‍රවන්නට වන්නට තව තවත් ඔහු නිහතමානී හා පොඩි දරුවකු මෙන් වීම මට අදත් අමතක කළ නොහැක. හරියට ගෙඩි පිරි ගසක් පහතට නැමෙන්නාක් සේ ය. ඔහු අප ගැන නොබැලූවා නොවේ. ”පුතේ ඉගෙනීම තමයි ලොකුම ධනය ”උගතමනා ශිල්පයමයි මතු රැුකෙනා’’ නිතර කියන කතාවකි. තාත්තා අහල පහල හා තම දුප්පත් නෑදෑයන්ගේ දරුවන්ට පවා ඉගෙනීමට අත් දුන්නේ ය. තම පියා නැතිවූ පසු පවුලේ බඩ පිස්සා වූ තමාට ඉගැන්වීමට වැඩිමහල් සොහොයුරන් ඉගෙනීම නවතා කුලී වැඩට ගිය හැටි තාත්තා අපට අනන්තවත් කියා ඇත. ඒ වෙනුවෙන් සහෝදර සහෝදරියන්ගේ දරුවන් ගෙදරට ගෙනැවිත් කොළඹ පාසල්වලට යවා ඉහළට ඉගැන්වීමට ඔහු කටයුතු කළේය. තාත්තාගේ හැටි එහෙම ය. මා ආනන්ද විද්‍යාලයේ ඉගනගත් කාලයේ එක් සිද්ධියක් මතක් වේ. එහි බෝඩිමේ සිසුන්ට නිවාඩු කාලයේ ගෙදර යෑමට ඉඩ දෙන්නේ බෝඩිම් ගාස්තු ගෙවා නිමකළොත් පමණි. එසේ මුදල් නැතිකම නිසා ගෙදර යෑමට නොහැකි සිසුන් කීප දෙනකුටම අපේ තාත්තා බෝඩින් ගාස්තු ගෙවා දැම්මේ වරක් දෙවරක් නොවේ.

තාත්තා මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක හා සිදුවීම්වල ප‍්‍රධාන චරිතයක් වූ බව මට වැටහුනේ යමක් කමක් තේරෙන වයසේ දී ය. 1956 බණ්ඩාරනායක මහතා ඇති කළ දේශපාලන විප්ලවයේ ප‍්‍රධාන බලකරුවන් වූ සඟ, වෙද, ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයේ තාත්තා ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයකු විය. එසේම ඔහු බණ්ඩාරනායකගේ සිට පසුකාලීන චන්ද්‍රිකා දක්වාම බණ්ඩාරනායක පවුලේ ඉතාම හිතවතෙක් විය. 1978 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව නිර්මාණය කළේ ඔහු බව මා දැනගත්තේ පුවත්පතක ලිපියකිනි. සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ දී අපේ තාත්තාව හඳුන්වා තිබුණේ  ”මැතිනියගේ පුරෝහිතයා’’ ලෙස ය. ඔහු මේ කතාව ගෙදර දී අම්මා සමග කියා මහ හඩින් සිනාසෙනු මට මතක ය.

පර්යේෂණ හා ශාස්ත‍්‍රීය මතවලදී කෙතරම් රැඩිකල් ප‍්‍රතිපත්තියක් ගත්තත් අපේ තාත්තා දේශපාලන කටයුතුවල දී වැදගත් හා රැඩිකල් බවින් තොරවිය. මා දන්නා තරමට තිස්සමහාරාමය හා අවිස්සාවේල්ල ආසනවල ක‍්‍රියාකාරී සංවිධායක තනතුරු තාත්තා දරා කටයුතු කර තිබේ. 1989 මෙරට භීෂණ සමයේ කොළඹ දිස්ත‍්‍රික්කයට නාම යෝජනා ද ශ‍්‍රී ල.නි.ප. පක්ෂයෙන් ලැබුණි. තාත්තා එය ප‍්‍රතික්ෂේප කළේය. ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ක‍්‍රමයෙන් යම් ප‍්‍රචණ්ඩ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවෙන් ගිලිහීම මගේ තාත්තාට රුචි නොවූ බව මට මතක ය. ඒ නිසා පසුකාලීන ශ‍්‍රී. ල.නි.පක්ෂය හා බණ්ඩාරනායක පවුලත් අනතුරුව මහින්ද රාජපක්ෂ පවුලත් සමග සබඳතා දිගටම තබා ගත්තත් තාත්තා දේශපාලන කටයුතුවලින් මුළුමනින්ම ඈත් වී ශාස්ත‍්‍රීය අංශයටම යොමු විය.

අපේ තාත්තාගේ අව්‍යාජ හා නිහතමානී බව ගැන අපූරු කථාවක් මට දැන් සිහිවේ. ඉතා දුප්පත් පවුලක පවුලේ බාලය ලෙස දකුණේ බෙලිඅත්තේ පල්ලත්තර නම් ඈත දුෂ්කර ගම්මානයක ඉපිද තිබේ. පවුලේ දරුවන් හත් දෙනෙකි. මගේ තාත්තා හතර වසරේ දී පියා මියගොස් ඇත්තේ උණසන්නිපාතය සෑදී නිවෙසේ දී මය. දවාලට පාසලෙන් ලැබෙන බත් හා පරිප්පු හැර පාසලට යන මගේ තාත්තාට හෝ අනෙක් සහෝදර සහෝදරියන්ට වතුර උගුරක්වත් නැත. මේ නිසා මගේ තාත්තා පාසලේ දී ක්ලාන්තය සෑදී වැටුනු වාර ගණන අපමණ ය. පියා මළ පසු සහෝදරයන් කළේ මල්ලීට උගැන්වීමට තමන් කුලී වැඩට යෑම ය. තාත්තා මේ කතාව අපට කිව්වා පමණක් නොවේ පුවත්පතකට ද කියා තිබුණි. කෙතරම් ඉහළ කෙනකු වුවත් අපේ තාත්තා තම අතීතය අමතක කළේ නැත. අද යන්තම් යමක් හරිහම්බ කරගන්නා අය තමන් රත්තරන් හැඳි කටේ ගහගෙන උපන්නාක් සේ රගපාන රටක හා සමාජයක තාත්තා කොතරම් නිර්ව්‍යාජ හා නිහතමානී චරිතයක්දැයි මම නිතරම සිහි කරමි. තාත්තා තමාගේ පමණක් නොව අම්මාගේ පවා කිසිදු දුප්පත් නැතිබැරි නෑයෙකු, සහෝදරයකු කිසිවිටක අමතක කළේ නැත. හැකි සෑම විටම මගුලට මරණයට හා දානයට පවා  ගියේ අනෙක් වැඩ අතපසු කරගෙන ය.

තාත්තාගේ මතකය කටපාඩම හා ධාරණ ශක්තිය කෙතරම් උසස් ද යන්න මට වැටහුනු අවස්ථා අපමණ ය. ඔහු බොහෝ විට සාලයේ හෝ ගෙයි ඇතුළත තම කාමරයේ විවිධ අය සමග ශාස්ත‍්‍රීය සාකච්ඡා පවත්වයි. කරුණු කියයි. ඇතැම් විට ප‍්‍රශ්න කරනු ලැබූ විට සංදේශ සාහිත්‍යවල එන කවි එය අයත්වන වර්ණ කොටස ගැන කටපාඩමෙන් කියයි. සංස්කෘත, පාලි, ශ්ලෝක තේරුම් සමග කියයි. වරක් පුවත්පතක් හා සාකච්ඡා කරමින් සිටිය දී එම ලේඛකයා ඇසූ ප‍්‍රශ්නයක දී මගේ තාත්තා බරණ ගණිතයාගේ නීල කොබෝ සංදේශයේ හා ගිරා සංදේශයේ ද කවි දෙකක් ඉදිරිපත් කරමින් කෝට්ටේ එවකට තිබූ දේවාල ගැන සාධක ගෙන හැර දක්වමින් විස්තරයක් කළ අයුරු මට අද මෙන් මතක ය.

ඇත්තටම අපේ ගෙදර සාකච්ඡා මණ්ඩපයක් බඳු විය. එය නිරන්තර උගතුන්ගෙන් තොර නොවීය. බස රැසදේ සිරි සීවලී, තොටගම වාචිස්සර, හේන්පිටගෙදර ඤාණසිහ වැනි එකළ සිටි ප‍්‍රබල හා ඉහළ පෙළේ හිමිවරු මා මුල්වරට දැක්කේ අපේ ගෙදර දී ය. තාත්තාගේ දේශපාලන සබඳතා නිසා 56 බලවේගයේ මේ අය නිතර තාත්තා හමුවීමට පැමිණිය හ. තාත්තා ගීත කවි තාලයට කියන්නට ඉතා ආශා කළ සැටි අපට මතක ය. ජනකවි, ගොයම් කවි තාලයට ලස්සනට කියයි. කෙතරම් අතිප‍්‍රමාණ උගතෙකු, පර්යේෂකයකු වුවද අපේ තාත්තාගේ අව්‍යාජ ගැමි සුවඳ හා ගතිය කිසි විටෙක පහව නොගියේ ය. ඔහුගේ චරිතය ඉතා අහිංසක වූවේ ඒ නිසා යැයි මම සිතමි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසර 35 ක සේවා කාලයෙන් පසු විශ්ව කෝෂයේ ප‍්‍රධාන කර්තෘ ලෙස ද, රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද ඔහු සේවය කරන ලදී. තාත්තාගේ ජීවිතය තිබුනේ ශාස්ත‍්‍රීය පර්යේෂණ සමග ය. එය ගහට පොත්තත්, පොත්තට ගහත් මෙන් විය. තවත් විවිධ තනතුරු ගණනාවකින් තාත්තා පිදුම් ලද බව මට මතක ය. ඔහු මියගොස් වසර නවයක් පිරෙන මේ මොහොතේත් ඉතිහාසය, පුරාවිද්‍යාව හා සිංහල සාහිත්‍ය යන විෂයයන් ගැන කතා කරන හැම විටම මගේ තාත්තාගේ නම මහාචාර්ය මැන්දිස් රෝහණධීර යන්න සඳහන් වන්නේ මතක් වන්නේ ඒ නිසා බව මම විශ්වාස කරමි.

අපේ තාත්තා විශ‍්‍රාම ගිය පසුව වුවද කිසි විටෙක තම ශාස්ත‍්‍රීය පර්යේෂණ පොත පත ලිවීම නතර කළේ නැත. ඔහු වෙනදා මෙන්ම දිවා රැ පුරාම වෙනදාටත් වඩා වේගයෙන් වැඩ කළ බව මම දනිමි. කෙසේ හෝ සෙල්ලිපියක්, පුරා වස්තුවක් හමුවූ පුවතක් ආරංචි වුවහොත් වහා එහි ගොස් එහි අනුරුවක් පිටපතක් ගෙන එයි. කැඩුනු බිඳුනු සෙල්ලිපිවල කොටස් කෑලි තාත්තාගේ කාමරයේ ඕනෑ තරම් විය. මට මතක විදිහට ඓහිතාසික රම්බාවේ විහාරය කැණීම් හා රුහුණේ ඓතිහාසික තිස්සමහාරාම සිලාපස්ස පිරිවෙන් සමූපහ කැණීම් සඳහා මුලපුරා සිදු කළේ ඔහු විශ‍්‍රාම ගිය පසුව ය. අද වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී කරන එම කැණීම් පර්යේෂණ රුහුණේ ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් පුරාවිද්‍යා තොරතුරු හෙළි කරයි.

මෙම නව සොයා ගැනීම් මෙන්ම මගේ පියා ඉන් සතුටට පත්වූ කරුණක් වූවේ ”අස්ගිරි තල්පත’’ නම් අතිශය වැදගත් පෞරාණික කන්ද උඩරට තල්පත පිළිබඳ ස්වකීය පර්යේෂණයෙනි. ඔහු නිතර ඒ ගැන අප හා මෙන්ම උගතුන්, පුවත්පත් සමග කතා කළේය. ”අස්ගිරි තල්පතේ ලංකා ඉතිහාසය හා ශ‍්‍රී ලංකාවේ මහා සංඝසාමි සංඝරාජ පරපුර’’ නමින් ඒ තල්පත ඉංග‍්‍රීසියෙන් ලියූ පර්යේෂණ ග‍්‍රන්ථ දෙක මෙතෙක් හෙළි නොවූ කන්ද උඩරට ඉතිහාසය, උඩරට බුදු දහමේ වගතුග හා ඉතිහාසය පිළිබඳ විශිෂ්ඨ සම්භාව්‍ය ග‍්‍රන්ථ දෙතක් සේ පිළිගැනුණු බව මට මතක ය. එකී විශිෂ්ඨ සේවාව අගය කරමින් අස්ගිරි මහා විහාරයේ නායක ස්වාමීන්වහන්සේ විසින් ශ‍්‍රී රෝහණ ජනරංජන ගෞරව සම්මානය පියා වෙත ප‍්‍රදානය කරන ලදී.

එක් පරිවර්තනයක්, ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ නවයකුත්, චරිත කතා දෙකකුත් හා විචාර ග‍්‍රන්ථ දෙකක් ද කාව්‍ය විචාර ග‍්‍රන්ථ හා සංග‍්‍රහ දෙකක් ද මගේ පියා ලියා තිබෙන බව පසුව මම දැන ගතිමි. එතුමාගේ බස මෙන්ම කතාවේ වාග් චාතුර්යය ද අසන සෑම දෙනාගේ කියවන සෑම දෙනාගේ සිත් ඇද ගත් බව ඉතා ප‍්‍රකට ය. මගේ තාත්තාගේ ජීව ගුණය වූ නිහතමානී සංසුන් බව ඒ හැම තැනම දිස්වෙතැයි මම සිතමි. ඔහු කිසි විටෙක කිසිවකුට පරිභව කර පහතට හෝ උපහාසයට ලක් කර වේදිකාවල දී තබා සාමාන්‍ය කථා බහේ දී හෝ කටයුතු නොකළේ ය. කාගේවත් සිත් රිදවීම මගේ පියාගේ සිරිත නොවීය.

ඔහු පමණක් නොව මගේ මවගේ හා අප පවුලේ සැමගේ සිත් සදා වේදනාවට පත් කළ සිද්ධියකින් මේ ලිපිය නිමා කරන්නට කැමැත්තෙමි. ඒ මගේ ලොකු අයියා 1989 භීෂණ සමයේ ගෙය ඉදිරිපිට දී නාදුනන අය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමයි. පසුකාලයේ තාත්තා අත් වාරුව නැතිවූ අයියා ගැන කීප විටක්ම ශෝකයෙන් කතා කළ හැටි මට මතකය. ඔහු විසින් රචනා කරන ලද කවි පෙළ හඳුන්වා තිබුනේ අතුරුදන් වූ වරුණ තම අහිංසක පුතුට හා ඔහු සේම අකාලයේ මිලින කොට කපා හෙලූ දහස් ගණන් තරුණු කුසුම්වලට නිවන් සුව අත්වේවා කියා ය.

 හඹා ආපු ගිජු ලිහිණින් වැරදි ඩැහැගෙන ගියා ද
 කඩා පැන්න මිනි කිඹුලන් කැළකට ගොදුරක් උනා ද
 ගසා ගහල ගිණි හෙනයක දැවටී අළු උණාවත් ද
 හඩා දොඩා බලා සිටිමි පුතුනේ ඔබ මොළොව නැද් ද

 * හරිගුප්ත රෝහණදීර

advertistmentadvertistment
advertistmentadvertistment