රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි
හොඳම විසඳුම පෞද්ගලික වෛද්‍ය සේවා ආඥා පනත සක්‍රීය කිරීම
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව
හොර දොස්තරලා ගැන 1907 ට දැනුම් දෙන්න
ඇතැම් දේශීය වෛද්‍යවරු දියවැඩියාවට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නියම කරනවා මේවා නීති විරෝධියි
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ
ඩොක්ටර්ට හා ෆොක්ටර්ට බොරු නොකියන්නැයි අප සමාජයේ කතාවක් ඇත. මේ කතාව වඩාත් පැහැදිලි කිරීමට අපි දොස්තර හා නීතිඥයා යැයි සිංහලෙන් කතාකරමු. කතාව මෙසේය. දොස්තර ළඟට එන ලෙඩා ලෙඩේ ගැන බොරු කිව්වොත් ලෙඩාට වෙන්නේ තවත් ලෙඩ වන්නටය. ඔහු ළඟට එන රෝගියා බොරු කිවහොත් ලෙඩේට හරියන බෙහෙත් ඔහුට ලැබෙන්නේ නැත. ඒ නිසා ලෙඩාට වෙන්නේ ලෙඩේ වැඩි වී අවශ්‍ය ඖෂධ නොමැතිවීමෙන් පරලොව යන්නටය. නීතිඥයාට බොරු කිවහොත් සිදුවන්නේ නඩු කටයුත්තට අදාළ කරුණු කාරණා ගොනු කර ගැනීමට නීතිඥයාට නොහැකි වී නඩුව පැරදීමටය. අද අපි නීතිඥයා යන මාතෘකාව පසෙක තබා අපි අද කතා කරන්නේ ලංකාවේ දොස්තරලා ගැනය. ලෙඩා දොස්තරට බොරු කළොත් ලෙඩා අමාරුවේ මෙන්ම දොස්තර බොරු කළොත් ඒත් අමාරුවේ වැටෙන්නේ ලෙඩාමය. දොස්තරලා බොරු කරනවා යන්නෙන් අප අදහස් කරන්නේ ලංකාවේ මේ වනවිට වැඩිමනක් දෙනා කතාකරන හොර දොස්තරලා ගැනය.
මේ සම්බන්ධව අප බොහෝ කලක සිට ලිපි පෙළක් මගින් කතාබහට ලක්කළ ද මේ වනවිටද හොර දොස්තරලා හෙවත් නීති විරෝධීව රෝගීන් සඳහා ඖෂධ නිකුත් කරන්නන් වැඩිවී ඇති බැවින් ඒ ගැන නැවතත් රටට හෙළිකිරීම මෙම ලිපියේ අරමුණ වන්නේය.
ලංකාවේ හොර දොස්තරලා 40,000 ට වැඩියි
ලංකාවේ හොර දොස්තරලා ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පසුගියදා වෛද්‍ය චමිල් විජේසිංහ විසින් ප්‍රකාශ කරනු ලැබීය. ඔහු කියන ආකාරයට මේ වනවිට මෙරට තුළ බටහිර, දේශීය, හෝමියෝපති වැනි වෛද්‍ය ක්‍රම ඔස්සේ ඖෂධ නිකුත් කරන්න බිහිවී ඇති හොර දොස්තරලා ගණන 40,000 කට වඩා අධික බවකි.
මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ කිසිදු වෛද්‍ය සභාවකින් අනුමත කරන ලද සහතිකයක් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන් හතළිස් දහසකට වඩා සිටින බව සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. පසුගියදා එම සංගමය හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ සෙසු උසස් නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් පසු රට පුරා සිටින ව්‍යාජ දොස්තරවරුන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කොට ඇත. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයද දැනුවත් කර ඇති අතර ශ්‍රී ලංකා පොලිසියද ව්‍යාජ වෛද්‍යවරුන් හඳුනාගැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කොට ඇති බව සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටියේය. එමෙන්ම බොහෝමයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පිරිස් වෛද්‍ය ලාංඡන අවභාවිතා කරන බැවින් ඒ සම්බන්ධවද ඉදිරියේදී නීතිමය වශයෙන් කටයුතු කරන බව එම සංගමය පෙන්වා දෙයි.
හොර බෙහෙත් මෙන්ම හොර දොස්තරලාත්
අද වනවිට රටේ සෞඛ්‍ය ක්ෂේත්රය ගැටලුකාරී තත්ත්වයක පවතින අවස්ථාවක හොර දොස්තරලා බිහිවීම තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය කෙරෙහි අබ ඇටයකුදු විශ්වාසයක්ද තැබිය නොහැක්කේය. රජයේ වෛද්‍යවරුන් පවසන්නේද මේ ආකාරයට ව්‍යාජ වෛද්‍යවරුන් බිහිවීම රටේ පවතින සෞඛ්‍ය ප්රශ්නය තවත් උග්‍ර කිරීමට සමත්ව ඇති බවකි. තවද මෙසේ හොර වෛද්‍යවරු මෙරට සියලු පළාත්වල පාහේම බිහිවී ඇති බවද ඔවුන් විසින් ඉතා සුළු මුදලක් රෝගීන්ගෙන් අයකොට ඔවුන්ට ඖෂධ නිකුත් කරන බවද එසේ ලබාදෙන ඖෂධ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට ලක්වන බවද මෙරට වෛද්‍ය සංගම් පෙන්වා දෙයි.
බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුළද ‘හොර වෙදුන්’ සිටින බවට විවිධ චෝදනා මේ වන විට එල්ල වෙමින් පවතී. ඇතැම් දේශීය වෛද්‍යවරුන් යැයි කියා ගන්නා පිරිස් ඔවුන්ගේ ඖෂධ පතා පැමිණෙන රෝගීන් සඳහා බටහිර වෛද්‍ය ඖෂධ නිකුත් කරනු ලබයි. මෙසේ ඔවුන් එම ඖෂධ නිකුත් කරනු ලබන්නේ දේශීය ඖෂධ ගන්නා අතරතුරදී බටහිර ඖෂධද මාත්‍රාවක් ගන්නා ලෙසයි. මෙසේ මොනයම් ක්‍රමයකින් හෝ රෝගියාගේ ලෙඩේ සනීප කිරීමට උත්සාහ ගන්නා මෙම හොර වෙදැදුරෝ ඇතැම් ඖෂධ නිකුත් කරනු ලබන්නේද ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ යන උපහැරණයද ලෙඩ්ඩුන්ගේ සිහියට ගන්වමිනි. මේ ආකාරයට නීති විරෝධීව ඖෂධ නියම කිරීම නිසා රටේ රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්වී ඇති බවද නොරහසකි.
නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව හදිසි මිලදී ගැනීම් යටතේ පසුගිය කාලයේ මෙරටට තත්ත්වයෙන් බාල වූ ඖෂධ නැව් පිටින් ගෙන ආ බව මතකය. එමෙන්ම ඇල්වතුර පවා එන්නත් කළ හැටිත් ඇතැම් ඖෂධ විෂ වී විවිධ ආසාත්මිකතා හා ඇතැම් අවස්ථාවල රෝගීන්ගේ ජීවිත මරණයෙන් පවා කෙළවර වන්නට විය. ඊට වගකිව යුත්තන්ද මේ වන විට සිරගතව සිටියද තවමත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය ඇත්තේ අවදානමකය. දැන් සිදුව ඇත්තේ ආර්ථික අර්බුදයෙන් බැටකන මෙරට ජනතාවට හොර දොස්තරලාගෙන්ද බැටකන්නටය. මෙවැනි සිදුවීම් තවමත් සිදුවෙමින් ඇත්තේ පවතින නීතිමය රාමුව තුළ මෙවන් ව්‍යාජ වෛද්‍යවරුන් සඳහා නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසාය. එමෙන්ම ඒ සඳහා පවතින නීති පද්ධතියේ ලිහිල් බව නිසාද රටේ හොර දොස්තරලා බිහිවන්නේය. කොටින්ම කිවහොත් මෙරට තුළ නීති විරෝධී ලෙස ඖෂධ නිකුත් කරන හා රෝගීන් පරීක්ෂා කරන ව්‍යාජ වෛද්‍යවරුන් සඳහා නීතිය මගින් නිකුත් කරනු ලබන දඩ මුදල ඉතා අවම දඩ මුදලක පැවතීම නිසා හොර දොස්තරලාට හොර වැඩකරන්නට දෙවරක් සිතන්නේද නැත.
හොර දොස්තරලා ගැන ජනතාවගෙන් පැමිණිලි
මෙරට තුළ පවත්නා ව්‍යාජ ඖෂධ මධ්‍යස්ථාන ගැන මේ වන විට ජනතාව මැසිවිලි නගමින් පවතින බවද ලැබෙන ආරංචි මාර්ග මගින් පැහැදිලිවන කරුණකි. එහිදී වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින මෙම ව්‍යාජ වෛද්‍යවරුන් අතර බටහිර, ආයුර්වේද හා හෝමියෝපති යන වෛද්‍ය සභා යටතේ ලියාපදිංචි වී ඇති නමුදු තමන් හදාරා ඇති වෛද්‍ය ක්‍රමය වෙනුවට වෙනත් වෛද්‍ය ක්‍රම භාවිත කරමින් ප්‍රතිකාර ක්‍රමවල යෙදෙන බවද ලැබෙන තොරතුරු මගින් අනාවරණය වී ඇත. මෙම කණ්ඩායම් අතර වෛද්‍යවරුන් හා සෞඛ්‍ය ක්ෂේත්රවලට යම් සම්බන්ධතාවක් ඇති හෙද නිලධාරීන් ද අතුරු වෛද්‍ය කාර්යමණ්ඩලවලට අයත් වන නිලධාරීන් පවා තමන්ට නැති සුදුසුකම් පෙන්වා ප්‍රතිකාර කටයුතු වල යෙදෙන්නන්ද මේ වන විට මෙරට තුළ ප්‍රතිකාර කටයුතු සිදුකරගෙන යන්නේය. නීතියේ ලිහිලෙන් අයුතු ප්‍රයෝජන ගන්නා මෙවැනි ප්‍රතිකාර සිදුකරනා හොර දොස්තරවරු නිසා මෙරට ජනතාවගේ ජීවිතද වැටී ඇත්තේ කබලෙන් ළිපටමය.
දිනෙන් දින ලැබෙන ආරංචි මාර්ග අනුව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම හොර දොස්තරවරුන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර කරන බව සනාථ වී ඇත. සාමාන්‍ය රෝග තත්ත්වයන්හි සිට බරපතළ රෝග දක්වාම වෛද්‍ය කර්මයේ යෙදෙන මේ හොර දොස්තරවරු විසින් නීති විරෝධී ගබ්සා පවා සිදුකොට ඇති බවද වාර්තා වී ඇත. එමෙන්ම පිළිකා වැනි රෝගද, වකුගඩු රෝග සහ හෘද රෝග සඳහාද කිසිදු විiාත්මක පදනමකින් තොරව විශේෂ ප්‍රතිකාර ක්‍රම අසරණ රෝගීන්ට හඳුන්වාදෙමින් ජනතාවගෙන් විශාල වශයෙන් මුදල් වංචා කරමින් සිටින බවද තතු දත්තෝ පවසති. මේ ආකාරයට මෙරට ජනජීවිත දැඩි අවදානමකට හා රටේ ජනතාවගේ මුදල් අයථා ලෙස සූරාකෑමට ලක්කරන දොස්තරවරු මෙරට දිනෙන් දින වැඩිවන බැවින් මේ වනවිටත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙරට වෛද්‍යවරුන් පෙළගැසී ඇත.
හොර දොස්තරලා ගැන මුලින්ම කියන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන්ය. මේ කතාව ගැන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දක්වන්නේද මෙවන් අදහසකි.
“මෙරට වෛද්‍ය කර්මයේ යෙදෙන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සම්පූර්ණ ලියාපදිංචිය තිබිය යුතුයි. එමෙන්ම ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය තිබිය යුතුයි. එමෙන්ම හෝමියෝපති වෛද්‍ය සංගමයේ අනුමැතියද තිබිය යුතුයි. මෙම වෛද්‍ය ක්‍රම තුනෙන් පිට වෛද්‍ය කර්මයේ යෙදෙන කණ්ඩායම් සමීක්ෂණයක් විදියට ගත්විට පසුගිය කාලය තුළ 40,000ක් පමණ සිටින බවට වාර්තා වුණා. මෙතන කණ්ඩායම් කිහිපයක් සිටිනවා. එයින් පළමු වැනි කණ්ඩායම කිසිම සුදුසුකමක් නැතිව වෛද්‍යවරුන් හැටියට පෙනී සිටින අය. තවත් කණ්ඩායමක් සිටිනවා තමන් ලියාපදිංචිය ලබපු වෛද්‍ය ක්ෂේත්රය හැර වෙනත් වෛද්‍ය ක්‍රම යටතේ බෙහෙත් නිකුත් කරන අය. මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්රයේ සිටින වෙනත් වෛද්‍ය නොවන කණ්ඩායම්. ඒ අයත් මෙම වෛද්‍යවරුන් ලෙස පෙනී සිට ප්‍රතිකාර කරනවා. මේ සියලු කණ්ඩායම්ගේ එකතුව 40,000 ක් බවට සිදුකළ සමීක්ෂණ තුළින් හෙළිවී තිබෙනවා. ඇතැම් දේශීය වෛද්‍යවරු දියවැඩියාව වැනි රෝගවලට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නියම කරන අවස්ථා මේ අතර තිබෙනවා. මේවා වැරදි ක්‍රම. මේවා නීති විරෝධියි. පවතින ආර්ථික තත්ත්වයත් සමඟ මෙවැනි ව්‍යාජ වෛද්‍යවරුන් මේ වනවිට 40,000 ටත් වඩා අධික බව වාර්තා වෙනවා.”
වෛද්‍ය චමිල් විජේසිංහ කියන පරිදි මෙරට ව්‍යාජ ලෙස පෙනී සිටින වෛද්‍යවරුන් යැයි කියාගන්නා අය රෝගීන්ට ප්‍රතිකාර කිරීම හේතුවෙන් මේ වනවිට දහස් ගණනින් රෝගී ජීවිත අමාරුවේ වැටී ඇත. එමෙන්ම මෙම ප්‍රතිකාර මුවාවෙන් රෝගීන්ගේ පසුම්බියට විදින මෙවැනි ‘ගොඩ දොස්තරලා’ දිවයිනේ සුලබවම දක්නට ඇති බවද මෙරට වෛද්‍යවරු පෙන්වා දෙන තවත් කාරණාවකි.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාද ව්‍යාජ වෛද්‍යවරුන් ගැන කියන්නේ මෙවැන්නකි.
“අපි පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ට ලියාපදිංචි වෙන්න යැයි රජයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒත් නීත්‍යනුකූල දොස්තරලාත් මේ සම්බන්ධව ලියාපදිංචි වෙන්නේ නැහැ. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්න ඒ සඳහා වෙනම ලියාපදිංචිවීමක් අවශ්‍යයි. නමුත් සුදුසුකම් තියෙන වෛද්‍යවරුන්වත් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්න තවම රජයේ ලියාපදිංචි වෙලා නැහැ. මේ තත්ත්වය යටතේ හොර දොස්තරලා නීතියේ රැහැනට කොටුකරගැනීමේ ක්‍රියාව ප්‍රායෝගික වන්නේ නැහැ. මෙයට හේතුව හොර දොස්තරවරු වගේම රජයේ වෛද්‍යවරුත් ලියාපදිංචි නොවීම. පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිසම තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරනවා නම්, රජයේ රෝහල්වල වැඩ කරන වෛද්‍යවරුන් හරියට ලියාපදිංචිය සිදුකරනවා නම් ඉතුරු අය තමයි හොර වෛද්‍යවරුන් වන්නේ. රජයේ වෛද්‍යවරුන් මේ කියන ලියාපදිංචියට එකතු වෙන්නේ නැති තත්ත්වයක් යටතේ හොර වෛද්‍යවරුන් අල්ලන්න ගියාම නීත්‍යානුකූලව ගැටලු තත්ත්වයක් මතුවෙනවා. හොඳම විසඳුම වන්නේ පෞද්ගලික වෛද්‍ය සේවා ආඥා පනත සක්‍රීය කිරීමයි. මෙම පනත අද බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවී තිබෙනවා. පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන සියලුම රජයේ වෛද්‍යවරුත් මෙහි ලියාපදිංචි විය යුතුමයි. එවිට රටේ හොර වෛද්‍යවරුන් කවුරුන්ද යැයි හඳුනාගත හැකියි.”
මෙසේ ලියාපදිංචි වීමේදී මුදල් ගෙවීමක් සිදුකළ යුතු අතර මෙවැනි ගෙවීමක් සිදුකළ විට බද්දක් වශයෙන් වාර්ෂිකව ගෙවිය යුතු යැයි හැඟීමෙන් දිවයින තුළ රජයේ වෛද්‍යවරුන්ද මෙම ලියාපදිංචිය සිදුනොකරන බවද වෛද්‍යවරයා පවසයි. තවද යම්කිසි ප්‍රදේශයක හොර වෛද්‍යවරයෙකු සිටිනවා නම් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සොයාබලා අදාළ තැන් දැනුවත් කළ යුතු අතර මෙය ඔහුට පැවරී ඇති කාර්යයක් බවද පෙන්වාදෙන වෛද්‍යවරයා මෙම හොර දොස්තර ප්‍රශ්නයට හේතුවක් වන්නේ මේ වනවිට ප්‍රදේශයේ ඵධ්‍ය වරයාද බෙහෙත් දෙන තත්ත්වයක් මෙරට පවතින බව පෙන්වා දෙමිනි. එම නිසා ඔහු සිය කාර්යය භාරය මඟ හරින බවද තමන්ගේ හොරකම හෙළිවන නිසාවෙන් මෙම හොර දොස්තරවරුන් රට පුරා බිහිවී ඇතැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
හොර දොස්තරලාට නීතියෙන් වැට
හොර දොස්තරලා බිහිවීම නැවැත්වීමට වෛද්‍යවරුන්ගේ සංගමය ද කියා සිටින්නේ රටේ වෛද්‍ය පද්ධතියේ නීති පද්ධතිය මීට වඩා ශක්තිමත් විය යුතුය යන්නය. තවද මාධ්‍ය හරහා ජනතාව දැනුවත්වීමක්ද සිදුවිය යුතු බවද ඔවුන් කියා සිටියි. අනෙකුත් කාරණාව වන්නේ මේ වනවිට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ‘හොර දොස්තරලා’ අත්අඩංගුවට ගෙන සිදුකරනු ලබන්නේද දඩ මුදලකට යටත් කිරීම පමණක් වීමය. වෛද්‍යවරු පවසන ආකාරයට මෙම ක්‍රමවේදයේ ගැටලු ගණනාවක් පවතින්නේය. ඔවුන් කියා සිටින්නේ අදාළ වැටලීම් වලට වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම සහභාගිවිය යුතුය යන්නය. එමෙන්ම ඵධ්‍ය හා පොලිසිය යන කණ්ඩායම් ද මේ සඳහා සහභාගි විය යුතුය. නමුත් මේ කණ්ඩායම් සියල්ල එකට එකතු කරගැනීමට අවකාශයක් නොමැති කම හේතුවෙන් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට තවමත් මෙරට තුළ හැකියාවක්ද නැත.
රටේ ප්‍රධාන වෛද්‍ය සභා තුනෙහි ලියාපදිංචි වී සිටින වෛද්‍යවරුන්ගේ දත්ත ගොනුවක් ආරම්භ කර අඛණ්ඩව යාවත්කාලීන කිරීම හා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව පැමිණිලි භාර ගැනීමට පැය 24 පුරා විවෘතව පවතින තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීමද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා වන්නේය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ 1907 දරන දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසද එම සංගමය පෙන්වා දෙයි. එමෙන්ම සුදුසුකම් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කර වරදකරුවකු වන පුද්ගලයකුට රු.100,000 ක දඩ මුදල් සහ වසර පහක් දක්වා සිරදඬුවමක් ලැබෙන නීති අලුතින් සම්පාදනය කරන ලෙසද ඔවුන් පෙන්වා දේ. පෞද්ගලික ඖෂධ හල් වෙනුවෙන් වෛද්‍ය නිර්දේශයකින් තොරව ජනතාවට ඖෂධ ලබාදීමේ වරදට ඖෂධසල් වසාදැමීම හා එහි බලපත්‍ර අහෝසි කරන ලෙසද එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වැනි නීති ක්‍රියාත්මක කිරීම තුළින් පවතින තත්ත්වය මඟහරවා ගතහැකි බවද එම සංගමය වැඩිදුරටත් කියා සිටිති.
රට මෙන්ම එහි ජනතාවද ආර්ථික අහේනියකට ලක්වූ අවස්ථාවක හොර දොස්තරලා බිහිවීම තුළින් මෙරට සෞඛ්‍ය ගැටලුව තවත් උග්රවන්නේය. තත්ත්වයෙන් බාල ඖෂධ හා ඊට වගකිවයුත්තෝ මේ වනවිට සිරදඬුවම් ලබති. මෙරට වෛද්‍යවරුන් හා සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ බොහෝමයක් පිරිස් රට හැරගොස් ඇති අතර එයද මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට බෙහෙවින්ම බලපාන්නා වූ කරුණකි. එහෙත් එම අඩුපාඩුව හොර දොස්තරලා විසින් පිරවීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි. පවතින සෞඛ්‍ය අර්බුදයත් සමග රෝගී ජීවිත දහස් ගණනින් අසරණ වී ඇති අවස්ථාවක මෙවැනි කූට හොර වෙදුන් බිහිවී රටේ මිනිසුන්ගේ මුදල් කොල්ල කෑම බරපතළ වැරැද්දකි. සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පොලිස්පතිතුමාගේ මැදිහත්වීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නට යෙදෙන හොර වෙදුන් දඩයම අප බොහෝ අගය කරන්නෙමු.
රමින්ද මාවතගේ