ඉකුත් වසරේ තායිලන්තයේ පැවැති මහ මැතිවරණයේ දී වැඩිම ජන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනගෙන තිබිය දීත් රජයක් පිහිටු වීම අවහිර කර තිබූ ‘ප්‍රෝග්‍රෙසිව් මුව් ෆෝවඩ්’ පක්ෂය විසුරුවා හැරීමට තායිලන්තයේ ව්‍යවස්ථාදායක අධිකරණය විසින් ඊයේ (07දා) නියෝග කර තිබේ. තායි ව්‍යවස්ථාදායක අධිකරණය විසින් අදාළ පක්ෂය විසුරුවා හැරීමට නියෝග කර ඇත්තේ තායි ව්‍යවස්ථාවේ පවතින එරට රජු විවේචනය කිරීම වැළැක්වීමේ වගන්තියට සංශෝධනයක් ඉදිරිපත් කිරීමට මුව් ෆෝවඩ් පක්ෂය විසින් ගෙන තිබූ පියවර අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි. තායිලන්තයේ මැතිවරණ කොමිසම විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 112 වැනි වගන්තිය යටතේ එරට රජතුමා අපකීර්තියට පත්වන අයුරින් විවේචනය කිරීම තහනම් කර ඇති අතර එසේ කරන අයකුට එරෙහිව වසර 15ක් දක්වා වූ සිර දඬුවමක් පැන වියහැකි වේ. ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන බලයට පත් වූ ප්‍රෝග්‍රෙසිව් මුව් ෆෝවඩ් පක්ෂය අදාළ
වගන්තිය සංශෝධනයට ලක් කිරීමට උත්සාහ දැරීමෙන් රටේ ව්‍යවස්ථාපිත රජු නෙරපීමට උත්සාහ දරා ඇති බව අධිකරණයේ මතය වී තිබේ.
මෙම තත්ත්වය යටතේ මුව් ෆෝවඩ් පක්ෂය විසුරුවා හැරීමටත් එම පක්ෂයේ විධායක තනතුරු දරන නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම වසර 10ක කාලයක් තහනම් කිරීමටත් තායි ව්‍යවස්ථාදායක අධිකරණය විසින් පියවර ගෙන තිබේ.