ඕනෑම රටක තාරුණ්‍යය යනු එම රටේ අනාගතය තීරණය කරන්නා වූ ප‍්‍රධාන සාධකයකි. එම තාරුණ්‍යය නිවැරදි ලෙස කළමනාකරණය කිරීමත් රටේ අභියෝග සහ ගැටලූවලට සාර්ථකව මුහුණ දීමටත් ඔවුන්ට සූදානම් කිරීම හා ඔවුන්ගේ හැකියාවත් යොදා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයකි. ඒ ආකාරයට රටක අභියෝග ජය ගැනීම සඳහා සූදානම් කිරීමේදී ඔවුන්ට ඉගෙන ගැනීමට ඇති අවස්ථා පුළුල් කිරීමත්, ඔවුන්ට අත්දැකීම් ලබා දීමත්, අතීත පලපුරුදු ඔවුන් සමඟ බෙදා හදා ගනිමින් අනාගත අභියෝග භාර ගැනීමට ඇති හැකියාව මුවහත් කිරීමත් අත්‍යවශ්‍ය ක‍්‍රියාවලියකි. එම තාරුණ්‍යය ඕනෑම අවදානමක් ගත හැකි මෙන්ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී රටේ අනාගතය නිවැරදි දිශානතියට යොමු කිරීමට හැකි පිරිසක් විය යුතුය.
රටේ තාරුණ්‍යය ශක්තිමත් කිරීමට නම් අපගේ අධ්‍යාපන ක‍්‍රමය නිවැරදි මඟට ගැනීම කාලීන අවශ්‍යතාවකි. දැනට රට තුළ ක‍්‍රියාත්මක වන අධ්‍යාපන ක‍්‍රමය සියලූම දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දුන්නද ඔවුන්ගේ කාලය කළමනාකරණය කිරීම හෝ ඔවුන්ගේ දක්ෂතා අනුව ඒ ඒ ක්ෂේත‍්‍රවල විශිෂ්ටයන් බවට පත් කිරීමට කෙතරම් කාර්යභාරයක් ඉටු කරන්නේද යන්න සහ නවීන ලෝකය තුළ නව නිපැයුම් තුළින් ජාත්‍යන්තරය ජය ගැනීමට යොමු කරන්නේද යන්න නැවත සලකා බැලිය යුතුව ඇත. යල් පැන ගිය මානසිකත්වයක් තුළ තාරුණ්‍යය යම් රාමුවක් තුළ කොටු කර දමා පවතින ක‍්‍රමවේදයෙන් මිදී රටේ හා ජාත්‍යන්තරයේ අභියෝග වලට මුහුණදිය හැකි අවදානම දරා ගනිමින් කටයුතු කළ හැකි තරුණ්‍යයන් නිර්මාණය කරන ආධ්‍යාපන ක‍්‍රමවේදයක් සකස් කළ යුතුව ඇත.
අද වන විට රාජ්‍ය අධ්‍යාපනය ලබන දරුවන් තමන්ගේ ජීවිතයේ වැදගත්ම කාලය පාසල් හා විශ්වවිද්‍යාල තුළ ඉතා අනවශ්‍ය ප‍්‍රමාණයකට ගෙවා දමන බවක් පෙනෙන්නට ඇත. එනම්, පවතින අධ්‍යාපන ක‍්‍රමය යටතේ වෛද්‍යවරයෙකු බිහිවන වයස අවුරුදු 30 කට ආසන්න වන අතර අනිකුත් උපාධියක් ලබා ගැනීමට අවුරුදු 28 ක් පමණ ගත වේ. නමුත් අන්තර්ජාතික අධ්‍යාපන ක‍්‍රමවේදය තුළ වෛද්‍ය උපාධියක් අවුරුදු 22 දී ද, අනිකුත් උපාධීන් අවුරුදු 20 දී ද ලබා ගැනීමට හැකියවක් ලැබි තිබේ. අප මේ වන විටත් තාරුණ්‍යයේ වසර 8 ක් කා දමමින් පැරණි ක‍්‍රමවේද අනුගමනය කරමින් සිටියි. මෙම ක‍්‍රමවේදය නිවැරදි කිරීමට අවම වයසකදී සිය ප‍්‍රාථමික උපාධි ලබා ගැනීමට හැකිවන ආකාරයේ යෝජනාවලියක් අප විසින් මේ වන විටත් රජයට යොමු කර ඇති අතර එය ක‍්‍රියාත්මක කිරීම ජාතික අවශ්‍යතාවක් වනු ඇත. එසේ නොකළහොත් රටක ශ‍්‍රම බළකායේ ඵලදායීම තාරුණ්‍යය අකාලයේ විනාශ වී යෑමත් තරුණ අසහනය වර්ධනය වීමටත් හේතු වනු ඇත. මේ ආකාරයටම තාරුණ්‍යයට තාක්ෂණික දැනුම ව්‍යවසායකත්වය වැනි අනිකුත් ක්ෂේත‍්‍රවලට අදාළ දැනුම ලබා දීම තුළින් අභියෝග භාර ගැනීමේ හැකියවත් ජීවන කුසලතාවනුත් ඉහළ නැංවීම හරහා සඵල ලෙස සංවර්ධනයට දායක කර ගත හැක. එසේ නොකොට තරුණ්‍යයේ කාලය කා දමමින් රටකට සංවර්ධන ඉලක්ක සපුරා ගත හැකිද යන්න සැක සහිතයි.
තරුණයාගේ වටිනා කාලය කා දමමින් පවත්වාගෙන යන අධ්‍යාපන ක‍්‍රමය රටේ හා ජාත්‍යන්තර ඉලක්ක දෙස අවධානය යොමු නොකිරීමද ගැටලූකාරී තත්ත්වයකි. මෙහිදී අප තවමත් සාම්ප‍්‍රදායික ලෙස අධ්‍යාපනය පවත්වාගෙන යනවා මිස නව නිෂ්පාදන, නව නිර්මාණ සොයාගැනීම්, රට තුළ නිෂ්පාදන ක‍්‍රියාවලියක් ඇති කිරීම සඳහා වූ අභියෝග ජය ගැනීම සඳහා සමත් පිරිසක් අපගේ අධ්‍යාපන ක‍්‍රමය තුළින් බිහිකර ඇත්දැයි අප විමර්ශනය කළ යුතුව ඇත. අපගේ අතීතයේ කළ කී දෑ සම්බන්ධව පම්පෝරි ගසමින් සිටිනවා වෙනුවට වර්තමාන පාලකයන් මේ රටට කළ කී දෑ සොයා බැලීමත් අවශ්‍ය තැන් වලදී විවේචනය කිරීමත් රටේ සංවර්ධනය සඳහා විකල්ප අදහස් ඉදිරිපත් කිරීමත් වර්තමාන තරුණ්‍යයට පැවරී ඇති අභියෝගාත්මක වගකීම් වේ. ශ‍්‍රී ලංකාවේ අද වන විට දේශපාලන ව්‍යාපාරික අධ්‍යාපන ඇතුළු සියලූම අංශවලට ඒ ඒ ක්ෂේත‍්‍රවල නිපුණයන්ගෙන් හා තරුණයන්ගේ දායකත්වය ලැබිය යුතුව ඇත.
මේ වන විට ශ‍්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යම් පසුබෑමක පැවතියත් මානව සම්පත අතින් ඉදිරියෙන් ගමන් කළ හැකි රටකි. ආර්ථික ක්ෂේත‍්‍රවල සිට දේශපාලන ක්ෂේත‍්‍රයන් ඇතුළු සියලූම ක්ෂේත‍්‍ර වලට මේ වන විට දක්ෂයන් ඕනෑකර ඇත. ඊට හේතුව පවතින දේශපාලන, ආර්ථිකමය, සාමාජීය වටපිටාව තුළ රටේ අනාගතය භාර ගත යුතු තාරුණ්‍යය වෙනුවට පුහු දේශපාලන චරිත වීරයන් ලෙස පුම්බා තිබීමයි. ඒ නිසා උගත්, බුද්ධිමත්, නිපුණතාවන්ගෙන් යුත් තරුණ නායකත්වයට සුදුසු තැන නොලැබීයෑමත්, සියලූම කාරණා දේශපාලනීකරණය වීමත්, හරහා සමස්ත තාරුණ්‍යයේ බලාපොරොත්තු බිඳ වැටුණු තත්ත්වයකට පත්ව ඇත. ඉන් සමහරෙක් එම අභියෝග ජය ගැනීමට සටන් කරනවා වෙනුවට රටින් පලා යෑමටත් තවත් සමහරෙක් දේශපාලනඥයන්ගේ අතකොලූ බවට පත්ව ඇත. මෙම ක‍්‍රියාවලි දෙකම රටක තාරුණ්‍යයෙන් බලාපොරොත්තු විය නොහැකි ප‍්‍රවේශයන් දෙකකි. ඒ වෙනුවට රටේ සෑම ක්ෂේත‍්‍රයකටම නායකත්වය දෙමින් අභියෝග භාර ගනිමින් අධ්‍යාපන අවස්ථා වලට යොමු වෙමින් රටේ අභියෝග වලට මුහුණ දීම හා අවදානම් දරා ගැනීම රටක තාරුණ්‍යය සතු වගකීමකි. එම තාරුණ්‍යයට අවශ්‍ය අධ්‍යාපන අවස්ථා සලසා දීමත් ඔහුගෙන් දක්ෂතා ප‍්‍රවර්ධනය කිරීමත් පාලකයන් සතු ප‍්‍රධාන කාර්යයකි.
එමෙන්ම සෑම විටම සෑම වෘත්තියකටම අදාළ වෘත්තීය ගරුත්වය ලබා දීමත් සියලූම ක්ෂේත‍්‍ර වලින් දේශපාලනය ඈත් කර තබා ගැනීමත් තරුණ ජවය රටක සංවර්ධනයට යොදා ගැනීමට ඉවහල් වනු ඇත.
රටක තරුණ පරම්පරාව එම රට ගමන් ගන්නා දිශානතිය තීරණය කළ හැකි බලවත් පිරිසකි. එසේ කළ හැකි වන්නේ නිවැරදි අධ්‍යාපනයක්, නිවැරදි චින්තනයක් හා නිවැරදි මඟ පෙන්වීමක් තුළින් පමණි. එහිදී තාරුණ්‍යයට අවස්ථා හා අභියෝග කළමනාකරණය කිරීමේ වගකීම භාර දිය යුතුමය. එම තාරුණ්‍යය අභියෝග වලට බියේ පලායෑම හෝ දේශපාලනඥයන්ට කඬේ යෑම වෙනුවට තමන්ගේ රට ගැන හැඟීමකින් අවදානම් දරා ගනිමින් අසාධාරණයට එරෙහිව ඍජුව කටයුතු කරමින් අභියෝග වලට මුහුණ දෙන යුගයක මේ රටේ දිශානතිය සංවර්ධනය දෙසට යොමු කළ හැකි වනු ඇත.
අභියෝග වලට මුහුණ දිය හැකි තාරුණ්‍යයක් තුළින් ලෝකය ජය ගනිමු.
වෛද්‍ය නවීන් ද සොයිසා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය