තැපැල් ඡන්දයට රොද බඳිති – විශාල උනන්දුවක් : පොලිසිවල දිගු පෝලිම්

354

තැපැල් ඡන්දය අරඹා අවුරුදු 64යි – 1960 – 2024
මුතූර්, කුරුණෑගල, අවිස්සාවේල්ලෙන් පැමිණිලි
ඇතැම් ස්ථානවල ඡන්ද සියල්ලම දමා අවසන්
සියලු රාජ්‍ය ආයතන හා ත්‍රිවිධ හමුදා කඳවුරුවල තැපැල් ඡන්ද විමසීම අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ (04දා) සුළු සිද්ධීන් කිහිපයක් හැරෙන්නට සාමකාමීව සිදුවූ බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සඳහන් කරයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන ආශ්‍රිතව ඊයේ සිදුවිය. ඡන්ද විමසීම ආරම්භ වූ උදෑසන සිට ඡන්ද ප්‍රකාශ කිරීමට විශාල උනන්දුවක් තිබූ බවත් සමහර පොලිස් ස්ථානවල දිගු පෝලිම් ද දක්නට ලැබුණු බවත් එම සංවිධාන සඳහන් කරයි.

මුතූර් ඡන්ද මධ්‍යස්ථානය ඡායාරූප ගෙන සමාජ මාධ්‍යට මුදා හැරීමේ සිද්ධියක් හා කුරුණෑගල මධ්‍යස්ථාන දෙකකත් අවිස්සාවේල්ල තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකත් ප්‍රචාරක අත්පත්‍රිකා බෙදීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

වැඩිම තැපැල් ඡන්ද ප්‍රමාණයක් වාර්තා වන කුරුණැගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 977 කදී ඡන්ද විමසීම සිදු කෙරේ. කුරුණෑගලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා රජයේ නිලධාරීන් 76977 දෙනකු සුදුසුකම් ලබා ඇත.

ඊයේ දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල මහත් උනන්දුවක් තිබුණු බවත් සමහර ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද සියල්ල ප්‍රකාශ කර අවසන් වූ බවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.

තැපැල් ඡන්ද හිමියන්ගේ වැඩිම ප්‍රමාණය ඡන්ද සලකුණු කිරීම අද (05දා) සහ හෙට (06දා) සිදු කිරීමට නියමිතය. අමාත්‍යාංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවලත් ත්‍රිවිධ හමුදා කඳවුරුවලත් ඡන්ද විමසීම අද සිදුකෙරෙයි.

එමෙන්ම ඊයේ දිනයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ පිරිසට ද අද දිනයේ ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

සියලු ඡන්ද මධ්‍යස්ථාන නිරීක්‍ෂණය කිරීමට නිරීක්‍ෂණ සංවිධානවලට ඉඩ ලබාදී තිබේ. ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සෑම තැපැල් ඡන්දදායකයකුම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

තැපැල් ඡන්දය මෙරටට හඳුන්වා දී මේ වසර වන විට අවුරුදු 64කි.

1960 මාර්තු මැතිවරණයේදී ප්‍රථම වරට තැපැල් ඡන්දය හඳුන්වා දී ඇත.

එක් දිනක් තුළ මැතිවරණ පැවැත්වීමේ සම්ප්‍රදාය මෙරට මැතිවරණයට එක්වීමෙන් පසු, මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය සේවකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමේ විකල්ප පියවර ලෙස තැපැල් ඡන්ද ක්‍රමය ආරම්භ වී තිබේ.
රනිල් ධර්මසේන
පිංතූර – සිහාරා ලතීෆ්, ජවුෆර් ඛාන්
පසුබිම් වාර්තා – අනුරාධපුර – පර්සි කුරුනේරු, කුරුණෑගල – ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර, කාත්තන්කුඩිය – ශිනාරා ලතීෆ්, ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment