තැපැල් ඡන්දය අද සිට

70

ඡායාරූපගත කිරීම්, පෙළඹවීම් බැහැ

දැම්මේ කාටද පෙන්වීම සිරගත වන වරදක්

● බාධා කළොත් විමසීම් අවලංගුයි

● මධ්‍යස්ථාන පරිශ්‍රයේ

අපේක්ෂක ප්‍රචාර බැහැ

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04දා) සිට ආරම්භ වෙයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවට අයත් කාර්යාලවල නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අධිකාරි, පොලිස් ස්ථානවල නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය, විශේෂ පොලිස් ඒකක හා ප්‍රභූ ආරක්‍ෂක කොට්ඨාස නිලධාරීන් ඒ අනුව තම ආයතනයේදී අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිතය.

තැපැල් ඡන්ද සලකුණු කරන අවස්ථාව නිරීක්‍ෂණයට අපේක්‍ෂකයකු වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනකු, මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන නියෝජිතයන් එක් අයකු බැගින් ඇතුළු වීමට අවසර හිමිවේ.

තැපැල් ඡන්ද සලකුණු කිරීම්, තැපැල් ඡන්ද විමසන ස්ථාන හා පරිශ්‍ර ඡායාරූපගත කිරීම, වීඩියෝගත කිරීම තහනම් වෙයි.

තැපැල් ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවන පරිශ්‍රයේ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය කරන කිසිදු ඡායාරූපයක්, පත්‍රිකාවක්, සලකුණක් හෝ ලකුණක් ප්‍රදර්ශනය කිරීම තහනම් වෙයි. එමෙන්ම එම ස්ථානවල ඡන්ද ආයාචනය කිරීම ඡන්දය ලබා ගැනීමට ඡන්දදායකයන් පෙලඹවීම ද, අපේක්‍ෂකයකුට ඡන්දය නොදෙන ලෙස ඡන්ද හිමියකු පෙලඹවීම ද වරදක් වෙයි.

ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් ප්‍රදර්ශනය කිරීම තහනම් ක්‍රියාවක් වන අතර එය වසර දෙකක් බන්ධනාගාරගත කළ හැකි වරදක් බව මැතිවරණ කොමිසම පවසයි.

තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු සාමකාමීව පවත්වන බවට ද පොලිස් ආරක්‍ෂාව යොදවා ඇති බවද කොමිසම සඳහන් කරයි.

යම් තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය දීමට බාධා වන හෝ බලපෑම් කිරීමට උත්සාහ කළහොත් එකී ඡන්ද ස්ථානයේ ඡන්ද විමසීම අවලංගු කරන බව ද කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර හෙට (05දා) හා අනිද්දා (06දා) දිනවල ද තැපැල් ඡන්ද විමසීම සිදුකෙරේ.

මේ අතර අද තැපැල් ඡන්ද භාවිතා කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා මැතිවරණ කාර්ය මණ්ඩලවලට අවස්ථාව සැලසී ඇතැයි කොළඹ තේරීම් භාර නිලධාරි ප්‍රසන්න ජනක කුමාර ගිනිගේ මහතා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ 35,636 ක පිරිසක් තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා ඇත. අද, හෙට සහ 06 යන දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි පොලිස් නිලධාරීන් සඳහා සැප්. 11 හා 12 යන දෙදින මැතිවරණ කාර්යාලය සූදානම් කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

කොළඹ රාජකීය විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විදුහල ඇතුළු ඡන්ද ගණන් කිරීමේ ශාලා 165 කදී ඡන්ද ගණන් කිරීම සිදුකෙරේ.

ඉදිරියේ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනාධිපතිවරණයට බාධා නොවන අයුරින් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව සමගින් අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවත්, හෙතෙම පැවැසීය.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්විය.

රනිල් ධර්මසේන, ජූඩ් ඩෙන්සිල් පතිරාජ


advertistmentadvertistment