ඉන්දියාව, ඉරානය, ඊජිප්තුව ලූනු අපනයනය නතර කරලා පාකිස්ථානය ලූනු මිල වැඩි කරලා…
උත්සව සමයට රට ලූනු මිල තව වැඩි වෙනවා…
රට ලූනු තොග ගබඩා කරගෙන මිල වැඩි කරන්නෙ ආනයනකරුවො…
අල, ලූනු සිල්ලර වෙළෙඳුන්…
ඒක බොරුවක්…මේක ගෝලීය අර්බුදයක්…
ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක
රට ලූනු ගොවියො 80%ක් වගාවෙන් ඈත් වෙලා…
රට ලූනු ගොවියො
අඩුවට තිබුණේ රට ලූනු විතරයි…දැන් ඒකත් අස්ප ගණන්
පාරිභෝගිකයන්
‘බොම්බයි ලූනු’ ඉන්දියන් නාමයකි. බී ලූනු, ලොකු ලූනු, රට ලූනු තවත් නම් කිහිපයකි. ලොකු ලූනු සුද්ධ කරනවිට මිනිසුන්ගෙ ඇස් රතු වන තරමට සැරය. එහෙත් දැන් මිනිසුන්ගේ දෑස් රතු වනුයේ ලූනුවල සැරට නොව, මිල දකින විටය. පසුගිය 13 වැනිදා (බදාදා) පිටකොටුව බෝගහ යට පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 400 සිට 500 දක්වා වැඩි වී තිබිණි. ලූනු මිල විමසමින් හූල්ලමින් අල, ලූනු තට්ටුවෙන්, තට්ටුවට මාරු වන පාරිභෝගික ජනතාව දකිනවිට මගේ සිත ද තෝන්තු විය.
බොම්බයි ලූනු මිල කොහොමද…?
කන්න පුළුවන්ද…?
දැන් සැපද…? පසුගිය මැතිවරණ වේදිකාවක රැව්පිළිරැව් දුන් වචන පෙළක් මගෙ මනසේ හොල්මන් කරන්නට විය. එදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම විවේචනය කිරීමට දේශපාලන නායකයන් සිටිය ද අද එහෙම අය නැත. මෙදා සේරම යාළුවොය. පවතිනුයේ රනිල්, රාජපක්‍ෂ හවුල් ආණ්ඩුවකි. එදාට වඩා කිහිප ගුණයකින් මෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වී තිබුණ ද ඒ සම්බන්ධයෙන් විපක්‍ෂයෙන් නැගෙන හඬ ද ප්‍රබල නැත.
‘මම රෝහල් සේවයේ ඉඳලා පැන්ෂන් ගිහින් ඉන්නෙ. පැන්ෂන් පඩිය ලැබෙන්නෙ 37500 යි. ලයිට් බිල, වතුර බිල ගෙව්වට පස්සෙ කෑම, බීමටවත් පඩිය මදි. දැන් කාලයක ඉඳල රසට, ගුණට ආහාර වේලක් කන්න ලැබුණෙ නෑ. ඉඳල හිටලවත් දරුවන්ට රසට කෑම වේලක් දීගන්න බැරි වුණාම ඇඬෙනවා…’ පිටකොටුව බෝගහ යට පොළේ එළවළු මිලදී ගනිමින් සිටි කඩුවෙල හේමචන්ද්‍ර පැවසූ වචන විදුලි සැර මෙන් හදවට දැනිණි.
“වෙනදා මම පොළට ඇවිත් මලු දෙකක් පිරෙන්න බඩු ගෙනියනවා. අද එක වර්ගයකින් එළවළු ග්‍රෑම් 250 ට වඩා ගන්න බෑ. ඒ තරමට එළවළු මිල වැඩියි. අල, ලූනු දිහා බලන්න බැරි තරම් ගණන්. ඒත් ලූනු නැතිව සම්බෝලයක් කන්නවත් බෑ. කීය වුණත් චුට්ටක් හරි අරගෙන ගිහින් ලූනු බිකක් හරි සම්බෝලයට, හොද්දට එකතු කරන්න ඕන. අපි කන බොන හැටි කියන්න ගියොත් ලිපියක් නෙමෙයි, පොතක් ලියන්න පුළුවන්…” හේමචන්ද්‍ර නිහඬ විය. මෝදර විග්නේෂ්වරී හඬ අවදි කළාය.
දැන් වෙළෙඳපොළේ තියෙන රට ලූනු පැණි රසයි. වතුර වගෙයි. හොදිවලට දැම්මම හොද්දත් පැණි රසයි. සම්බෝලයක් කන්නවත් බෑ. ඒත් ඉතිං රතු ලූනු ගිනි ගණන් නිසා කෑමට ගත්තෙ රට ලූනු. දැන් ඒකත් මිල වැඩියි. ලංකා අල කෑල්ලක් කාපු කාලයක් මතක නෑ. පිටි ගුලි ගිලිනවා වගේ රට අල කනවා. අපි දවස තිස්සෙ නැහෙන්න කාලා, ඇඳලා සතුටින් ජීවත් වෙන්න. ඒත් දැන් ලැබෙන පඩිය කෑමට බීමටත් මදි. අස්ප ගණන් මුදල් වියදම් කරලා ගන්න තියෙන්නෙත් රසක්, ගුණක් නැති ආහාර. විග්නේෂ්වරීගේ හඬ යටපත් කරමින් ‘මේ තියෙන්නෙ රුපියල් 3000 ක බඩු. තවම අල, ලූනු ගත්තෙත් නෑ…’ කියමින් අත රැඳි බඩු මල්ල අප දෙසට දිගු කළ නියාස් වක්කඩේ කෑඩු ගානට වේදනාව වචන කළේය. පිටකොටුව පොළේදී හමු වූ පාරිභෝගිකයන් කිහිපදෙනෙක්ම අදහස් ඉදිරිපත් කළහ. ඒ සියලු කතාවල හරය ජීවන බර දරාගැනීමට නොහැකි බවය. පාරිභෝගික ජනතාව අතරින් ඈත් වූ අපි අල, ලූනු වෙළෙන්දෙක් සමඟ කතා කළෙමු. ඔහු නලින්ය. මේ ඔහු කියන කතාවය.
“සාමාන්‍යයෙන් ආනයනකරුවො ලූනු ආනයනය කරන්නෙ මාසෙකට, සති දෙකකට සැරයක්. කූල් රූම්, ගබඩාවල තියාගෙන ටික, ටික වෙළෙඳපොළට නිකුත් කරනවා. ඉන්දියාවේ ලූනු අපනයනය මාස තුනකට නතර කර බව දැනුම් දෙනකොට ලංකාවේ වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල වුණේ රුපියල් 240 – 250 යි. මෙරට මාසයකට වැඩි කාලයකට පරිභෝජනයට ඇති වෙන්න ගබඩාවල ලොකු ලූනු තොගත් තියෙනවා. ඒත් ඉන්දියාවේ ලූනු අපනයනය නතර කරපු බව දැනුම් දුන් දවසෙ ඉඳලා මෙරට ආනයනකරුවො දවසින්, දවස ලූනු මිල වැඩි කරනවා. 240, 250 ට සිල්ලරට විකුණපු ලොකු ලූනු මේ වෙනකොට හාරසීයට, පන්සියට වැඩි වෙලා තියෙනවා. හරිම අසාධාරණයි. අසරණ පාරිභෝගිකයින්ව සූරගෙනම කනවා. ඒකෙන් අපිත් අසරණ වෙනවා. මේ තියෙන්නෙ ඉන්දියන් ලොකු ලූනු. තොග මිල 450 යි. අපි විකුණන්නෙ 500 යි. ලාබය රුපියල් 50 යි. ඒකෙන් තට්ටු කුලී රුපියල් 1600 ක් ගෙවන්න ඕන. කරත්ත කුලී, නට්ටාමි කුලී, ගෝල පඩි ගෙව්වට පස්සෙ අපතේ යෑම් ගණනය කරල බලනකොට ලූනු කිලෝවකින් රුපියල් 10 ක් අපිට නෑ. එහෙමයි කියලා පලුදු වෙච්ච, කුණු වෙච්ච ලොකු ලූනු මම විකුණන්නෙ නෑ. පාරිභෝගිකයන්ට කුණු බඩු දීලා පව් පුරවගන්න මම කැමැති නෑ. අවුරුදු 22 ක් මම මෙතැන අල, ලූනු බිස්නස් කරන්නෙ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගෙන තියෙන නිසයි. ඒත් අපි වගෙ හැම වෙළෙන්දෙක්ම හිතන්නෙ නෑ. විශේෂයෙන්ම ආනයන වෙළෙන්දො ලාභය ගැනම විතරයි හිතන්නෙ. අඩුවට තිබුණු ලොකු ලූනු දවසින්, දවස වැඩි කරන්නෙ ඇයි කියල අහනකොට ‘කැමැති නම් ගනිං. නැති නම් පලයං කියලා තොග කඩකාරයො අපිට සත්තම දානවා. ලොකු ලූනු මිල වැඩිවීමට රජයේ බදු අය කිරීම්වල කිසිම සම්බන්ධයක් නෑ. මේක තනිකරම කරන්නෙ ආනයනකරුවො. අපේ රටේ ආනයන වෙළෙඳාම කළු කඩයක්. ඒත් මෙරට ආනයන වෙළෙඳාම නියාමනය කරමින් මිල පාලනයක් සහිතව වෙළෙඳාම පවත්වාගෙන යන්න මේ රජයටවත් පැවැති කිසිම රජයකට වැඩපිළිවෙළක් තිබුණේ නෑ…” වෙළෙඳාම ගෝලයාට බර දුන් නලින් මෙරට තොග වෙළෙඳපොළේ තුප්පහි මාෆියාව සරලව පැහැදිලි කළේය. ඒ කතාවට තවත් අල, ලූනු සිල්ලර වෙළෙන්දෙක් හොඳ හැටි ලුණු ඇඹුල් එකතු කළේය. හේ රාජුය. ගම බණ්ඩාරවෙලය. වසර දෙකකට ආසන්න කාලයක සිට පිටකොටුව බෝගහයට පොළේ අල, ලූනු විකුණන වෙළෙන්දෙකි. මේ ඔහුගේ ඇඹුලය.
“බංගලාදේශය, ඉන්දියාව එක්ක සාකච්ඡා කරල එරටට අවශ්‍ය ලූනු මිලදීගන්න පසුබිම හදාගත්තා. මෙරට රජයටත් ඉන්දියාව සමඟ සාකච්ඡා කරලා අපේ රටට අවශ්‍ය ලොකු ලූනු ගන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. ඒත් මේ රටේ ආණ්ඩුව එහෙම කරන්නෙ නෑ. ඒ වගේම මෙරට වෙළෙඳපොළේ ලූනුවලට පාලන මිලක් නියම කරලා තිබුණා නම් ආනයනකරුවන්ට හිතු මතේ මිල වැඩි කරන්නත් බෑ. ඒක පාරිභෝගිකයන්ටත් සහනයක්. අපිටත් පාඩුවේ වෙළෙඳාම කරගෙන යන්න පුළුවන්…” සිල්ලර වෙළෙඳපොළේ නලින්, රාජු ඇතුළු වෙළෙඳුන් කිහිපදෙනෙක්ම ලොකු ලූනු මිල වැඩිවීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා කළේ ආනයන වෙළෙඳුන්ටය. එමෙන්ම රට ලූනු වගේම රතු ලූනු මිලත් තවම පවතිනුයේ රුපියල් 600 ක් වැනි ඉහළ මිලකට බවත්, රුපියල් පන්සීය පනහට, පන්සීය හැටට රතුලූනු තොග මිලට ගෙන රුපියල් 600 ක් වැනි මුදලකට අලෙවි කර ලාභයක් ලබන්න බැරි බව ද සිල්ලර ව්‍යාපාරිකයො අපට කීහ. සිල්ලර ව්‍යාපාරිකයන්ගේ ඒ සියලු චෝදනාව පැනයක් ලෙස ආනයනයකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති, වර්තමාන මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතාට අපි ඉදිරිපත් කළෙමු. මේ අපේ පැනයට ඔහු ලබා දුන් පිළිතුරය.
“ලූනු තොග යම් ප්‍රමාණයක් ගබඩා කරගෙන තියාගන්න පුළුවන් බව ඇත්ත. ඒත් මාස ගණන් ලූනු තොග තියාගන්න බෑ. ගබඩා කරගෙන තියාගෙන ලූනු මිල වැඩි කරනවා කියන කතාවේ සත්‍යතාවක් නෑ. මේ අර්බුදයට ප්‍රධාන ඉන්දියාවේ ලොකු ලූනු අපනයනය නතර කිරීම. මේක අපේ රටට විතරක් බලපාන ගැටලුවක් නෙමෙයි, මුළු ලෝකයටම බලපාන අර්බුදයක්. ඒ වගේම ඉන්දියාවේ අපනයනය නතර කිරීමත් සමඟ ලොකු ලූනු නිෂ්පාදනය කරන වෙනත් රටවල් ලූනු මිල වැඩි කළා. මේ වෙනකොට පාකිස්ථානයෙන් ලොකු ලූනු මිලදී ගන්නෙ වැඩි මිලට. ඒ වගේම ඔවුන්ට ලොකු මූලික ගෙවීමක් කරන්න ඕන. කූල් කන්ටේනර්වල ලූනු ආනයනය කරන නිසා තවත් මිල වැඩි වෙනවා. මේ වෙනකොට ලූනු ආනයනය කරන්නෙ පාකිස්තානයෙන් විතරක් නිසා ඉදිරි සති දෙකෙදී ලූනු මිල තවත් වැඩි වෙයි. ඒත් මේ අර්බුදය තවකාලිකයි. ජනවාරි මාසය වෙනකොට ඉන්දියාවේ විශාල ලොකු ලූනු අස්වැන්නක් ලැබෙනවා. ඒ සමඟ ඉන්දියාවේ ලූනු අපනයන තහනම ඉවත් කරයි කියලා අපි හිතනවා. ඉන්දියාවේ ලොකු ලූනු ලැබෙනකොට මෙරට වෙළෙඳපොළේ ලූනු මිල විශාල වශයෙන් අඩු වෙයි. ඒත් මේ අර්බුදය උත්සවය සමයේ පැමිණීම ලොකු ගැටලුවක්. මෙරට රජය, ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරලා උත්සව සමයට ලොකු ලූනු ටිකක් ගන්න වැඩපිළිවෙළකට යන්න ඕනෑ…” ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති පවසන ආකාරයට උද්ගතව ඇති ලොකු ලූනු අර්බුදයට එලැඹෙන ජනවාරි මාසය වෙනකොට විසඳුමක් ලැබේ.
ලෝක වෙළෙඳපොළට 80% ක පමණ ලොකු ලූනු සැපයුම් කරනුයේ ඉන්දියාවෙනි. පසුගිය කාලයේ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට ඇදහැලුණු වාර්ෂාව සහ එළැඹෙන ඉන්දියානු මැතිවරණය ඉලක්ක කරගෙන එරට භාණ්ඩ වර්ග කිහිපයක් අපනයනය සීමා කර තිබේ. ලොකු ලූනු අපනයනය මාස කිහිපයකට නතර කර තිබේ. එමෙන්ම ඊජිප්තුව, ඉරානය ලොකු ලූනු අපනයනය නතර කර තිබේ. නෙදර්ලන්තයේ ලොකු ලූනු මිල ඉතා ඉහළය. එරටින් ලොකු ලූනු ආනයනය කරන විට කිලෝවක මිල රුපියල් 550 ට වැඩි වේ. සිල්ලර වෙළෙඳපොළෙන් පාරිභෝගිකයන් අතට පත් වෙන විට ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 650 ට වැඩි වේ. එමෙන්ම නෙදර්ලන්ත ලූනු ඉන්දියාවේ ලූනු තරම් සැර නැත. පාකිස්තාන ලූනු ද ඉන්දියාවේ ලූනු තරම් තත්ත්වයෙන් උසස් නැත. එහෙත් ඉන්දියාවෙන් ලූනු නොලැබෙන විට නෙදර්ලන්තයේ, පාකිස්තානයේ ලූනු වැඩි මිලට හෝ ආනයනය කළ යුතුය. ලූනු නොමැති කෑමක් නැති තරම්ය. එහෙයින් ලූනු අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එහෙත් මෙරට ලොකු ලූනු වගාව දියුණු කිරීමට රජයට සාර්ථක වැඩපිළිවෙළක් නැත. දැනටත් ලොකු ලූනු වගාව මහා පරිමාණයෙන් සිදු කෙරුණුයේ මාතලේ දිස්ත්‍රිකකයේ දඹුල්ල, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි පමණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව ආදී ප්‍රදේශවල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය,
අරලගන්විල ප්‍රදේශවල සුළු පරිමාණයෙන් වගා කෙරෙති. මෙරට වියළි කලාපයේ සාර්ථකව ලොකු ලූනු වගා කර හැකි බව ද ලූනු ගොවීහු අප සමඟ පැවසූහ. එහෙත් මෙරට ලොකු ලූනු වගාව රට පුරා ව්‍යාප්ත කරවීමට නොව පසුගිය කන්නවල අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ණය වී නන්නත්තාර වී ලූනු වගාවෙන් ඉවත් වී සිටින ගොවීන් නඟාසිටුවීමට හෝ රජයට වැඩපිළිවෙළක් නැත. එහෙයින් මෙරට ලොකු ලූනු වගාකරුවන්ගෙන් 80% ට වැඩි ප්‍රමාණයක් වගාවෙන් ඉවත් වී සිටින බව දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ ලූනු ගොවියෙක් අප සමඟ පැවසුවේය. හේ ටී. බී. සෙනෙවිරත්නය. මේ ඔහු පැවසූ කතාවය.
“1980 දශකයේ ඉඳලා දඹුල්ල, ගලේවෙල, ගලෙන්බිදුණුවැව, ගල්නෑව ප්‍රදේශවල රට ලූනු වගාව ව්‍යාප්ත වෙලා තිබුණා. ආර්ථික වගාවක් විදිහට ටිකෙන්, ටික රට පුරා ව්‍යාප්ත වෙලා 2015 වර්ෂය වෙනකොට හොඳ අස්වැන්නක් ලැබෙමින් තිබුණා. අවුරුද්දෙ මාස කිහිපයකට රටටම ඇති වෙන්න ලොකු ලූනු, රතු ලූනු අස්වැන්නක් ලැබුණා. ඒත් තෙල්, බෙහෙත්, පොහොර අර්බුදයත් එක්ක ලොකු ලූනු වගාවෙන් ගොවීන් ඈත් වුණා. ඒ වගේම ලොකු ලූනු අස්වැන්න නෙළන කාලයට සාධාරණ මිලක් ලැබෙන්නෙත් නැතිව ගියා. ලොකු ලූනු වගා කරලා අස්වැන්න නෙළන තෙක් එක දිගට හොඳට පායන්න ඕනෑ. දැන් නිතරම වහින වැස්සත් ලූනු වගාවට ලොකු හානියක්. මේ වගාව දියුණු කරන්න රජයෙන් කිසිදු පිළිසරණකුත් නෑ. දඹුල්ල, ගලේවෙල ලොකු ලූනු බීජ නිෂ්පාදනය කරන්න ශීත ගබඩා පනහක් ආරම්භ කරලා තියෙනවා. දැන් ඒවා කැලයට යනවා. ඒ වගේම ලොකු ලූනු කල් තබාගන්න බෑ කියන කතාව අමූලික බොරුවක්. අපි ලූනු අස්වැන්න නෙළන්නෙ ඔක්තෝබර් මාසෙදී. ඊළඟ මැයි මාසය වෙනකම් බීජ නිෂ්පාදනය කරන්න ලූනු තියාගන්නවා. අපේ ගෙවල්වල අවුරුද්දටම කන්න ලොකු ලූනු තියෙනවා. අධික ශීතල කාලයට ටිකක් ආරක්‍ෂා කරගත්තට පස්සෙ කිසිම ගැටලුවක් නැතිව ගබඩා කරලා තියන්න තාක්‍ෂණය තියෙනවා. ඒ වගේම පිටරටවල ලූනුවලට වඩා අපේ රටේ ලොකු ලූනුවල ගුණාත්මකභාවයත් වැඩියි. සැරත් වැඩියි. ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් ලූනු කල් තබාගන්න රසායනික භාවිත කරනවා. අපේ රටේ ගොවියො පසු අස්වැන්නට බෙහෙත් ගහන්නෙ නෑ. සෞඛ්‍ය ආරක්‍ෂිතභාවයත් ඉතා ඉහළයි. ඒත් ලොකු ලූනු ආනයනයෙන් ලැබෙන කොමිස් එක වැඩි නිසා මේ රටේ දේශපාලනඥයන් මේ වගාවත් නැතිභංගස්ථාන කරනවා. අපේ රටට කෟෂිකර්මාන්තයෙන් දියුණු වෙන්න දෙන්නෙත් නෑ. කාර්මීකරණයෙන් දියුණු වෙන්න දෙන්නෙත් නෑ. පිටරටවල නිෂ්පාදන මතම යැපෙනවා…” සෙනෙවිරත්න මහතාගේ කතාව අගනේය. එහෙත් අපි ඔහුව නිහඬ කළෙමු.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති අයි. එම්. එෆ්. දෙවැනි වාරික මුදල ඩොලර් මිලියන 337 කි. මේ වසරේ අල, පරිප්පු, එළවළු ආනයනයට පමණක් ඩොලර් මිලියන 300 ක් වැය කර තිබේ. මේවා ඇසෙනකොට, දකිනකොට විලිලැජ්ජාව කකුල් දිගේ බේරෙන තරම්ය. පිටරට, නිෂ්පාදන මත යැපෙමින්, දිනෙන් දින ණය බරෙන් තර වෙමින් සංවර්ධනයේ සේයාවක් හෝ නොදකින රටක පවුලක් ජීවත් කරවීමට මහ යුද්ධයක් කරන පියෙකුගේ හදවතේ දැවෙන ගින්නෙන් උපදින අදහස් බොහෝය. ඒ සියලු අදහස් වචන කර ‘බොම්බයි ලූනු’ ගැටලුව තව තවත් පල් කිරීමට මම අකැමැතිය. එහෙත් මේ වචන ටික කිව යුතුමය.
ජීවන බර අඩු වී, නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය වනු දැකීම රටේ මිනිසුන්ගෙ සිහිනයකි. ජනතා සිහින බොඳවන පසුබිමක ආණ්ඩුවේ ආයුෂ ද අවසාන වන බව සැබෑය. මහා පරිමාණ ආහාර ආනයනකරුවන්, මෙරට හාල් මාෆියාවට වගකිවයුතු හාල් මෝල්ලු, එළුවළු වෙළෙඳාමත් මාෆියාවක් කරගෙන සිටින නුවරඑළියේ මහ ගොවියගෙ සිට අතරමැදි එළවළු වෙළෙඳ මාෆියාව සමඟ සුහදව ජනතාවගෙ රීරීමාංස උරා බොන ව්‍යාපාරික දේශපාලුවන් රොත්තක් සමඟ ගමනක් යන මේ ආණ්ඩුවට ද වැඩි ආයුෂ නැති බව පෙනේ. රට තුළ කර්මාන්තයක්, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යෑමේදී අදාළ ආයතනවල පියන්ගෙ සිට අදාළ විෂය භාර අමාත්‍යවරයා දක්වා දෝල පිදෙණි ලබාදීමට සිදුව ඇති මෙරට ‘සිස්ටම්’ වෙනස් නොවෙන්න දැයේ දරුවන්ටත්, අපට අත්ව ඇති ඉරණම ම උරුම වන බව මොළ කළඳක් හෝ තිබෙන මේ රටේ පුරවැසියන් තේරුම් කරගත යුතුය.
තරංග රත්නවීර
ඡායාරූප – කමල් බෝගොඩ