තිනියාවල හිමිගේ පැමිණිල්ල ඉවත දමන්න- කබ්රාල්ගේ නීතිඥ උසාවියෙන් ඉල්ලයි

150

පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛන මගින් සිය සේවාදායකයාට එරෙහිව නඩුවක් ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් කරුණු පෙන්වාදී නොමැති බැවින් තීනියාවල පාලිත හිමියන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මුල් අවස්ථාවේදීම ප්‍රතික්‍ෂේප කරන ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඊයේ (23දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඉල්ලා සිටියේය.

තිනියාවල හිමියන්ගේ පැමිණිල්ලේ සඳහන් චෝදනා සනාථ කිරීමට ඉදිරිපත් කර ඇති ලේඛන එකිනෙකට පරස්පර බවත් සිය සේවාදායකයා මුදල් පිළිබඳව සාපරාධී විශ්වාසය කඩකළ බවට එමගින් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවත් මූලික විරෝධතාව ඉදිරිපත් කරමින් පැවසූ ජනාධිපති නීතිඥවරයා පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති ලේඛන අනුව එම මුදල් අදාළ පාර්ශවලට ලැබී ඇති බවට සනාථ වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

එමෙන්ම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති කරුණු ඔස්සේ නඩුවක් විභාග කිරීමට එම අධිකරණයට නීතිමය බලයක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා සිය ලිඛිත විරෝධතා මගින් අධිකරණයට පෙන්වා දුන්නේය.

දෙවන සැකකරු ලෙස නම්කර ඇති හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම සඳහා දින ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම විරෝධතා ගොනු කිරීම සඳහා එම පැමිණිල්ල ලබන මස 6 වැනිදා කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළින ගමගේ මහතා නියෝග කළේය.

නීත්‍යානුකූල අවසරයකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ දැමීමට යැයි කියමින් ඇමෙරිකාවේ පදිංචි පාකිස්ථාන ජාතිකයකු වන ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට ගෙවීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් තීනියාවල පාලිත හිමියන් පෞද්ගලිකව එම පැමිණිල්ල ගොනුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment