තිබ්බ බයිස්කල් යකඩ බඩුවලට පටවා පයින් යන මිනිස්සු

193

ඒ කාලෙ ගුරු, විදුහල්පතිවරු රැකියාවට ගියේ පාපැදියෙන්….
ප්ලාස්ටික් බේසමට, පුටුවට පාපැදිය හුවමාරු කරයි….
පරණ යකඩවලට අලෙවි කළ පාපැදි මිලට ගන්න අලුත් පෝලිමක්…
දුප්පතාගෙ හිතවතාට මොකද වුණේ…
ඔරුව පළල දරට ගත්තට පස්සෙ මෙහෙම වෙනවා

අද මෙන් උපභෝග පාරිභෝග වස්තූන් බහුල නොවූ දශක තුන හතරකට පමණ පෙර ඉතිහාසය තුළ පාපැදියට හිමිව තිබුණේ සුවිශේෂී ස්ථානයකි. “දුප්පතාගේ හිතවතා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුව ද එකල පාපැදියක හිමිකරුවෙකු එසේත් නැත්නම් පාපැදියක් සහිත නිවසක් යනු යමක්කමක් සහිත පුද්ගලයකු සේ සැලකීමට බොහෝ දෙනෙක් හුරු වූහ. “රැලේ” “හම්බර්” යන ඉහළම ප්‍රමිතියෙන් යුත් සන්නාමයන් යටතේ එකල පාපැදියක් මිලදී ගැනීම පිණිස රුපියල් තුන් හාර දහසක මුදලක් වැය කළ යුතුව තිබූ අතර වෙනත් සන්නාමයන් යටතේ (විශේෂයෙන් චීනයෙන් ආනයනය කරනු ලැබූ) පාපැදි මිල පැවතියේ ඊට බොහෝ සෙයින් පහළින්ය. ඊට හේතුව බවට පත් වූවේ කල්පැවැත්ම හා ශක්තිමත්භාවය අතින් ගත් කල චීන නිෂ්පාදනයන් ප්‍රමිතියෙන් පහත් තැනක පැවතීමය. කෙසේ වුව ද පාපැදි භාවිතය එකල මෙරට තුළ බොහෝ සෙයින් ප්‍රචලිතව පැවතිණ. උදෑසන පාපැදියෙන් ගමට පැමිණෙන “පාන් මාමාගෙන්” ආරම්භ වන දවස තිස්සේ රටේ බොහෝ දෙනෙක් තම එදිනෙදා ගමන්බිමන් පිණිස පාපැදිය බහුල ලෙස යොදා ගත් යුගයක් විය.

එකල ගුරු, විදුහල්පතිවරු පමණක් නොව වැඩබිමට යන කම්කරුවාද කාර්යාලයීය ලිපිකරුවාද කඩමණ්ඩියට, නගරයට යන සාමාන්‍ය ජනයා ද තම තමන් සතු පාපැදියේ නැගී එම කාර්යයන් සඳහා පිටත්ව යන අයුරු සුලභ දසුනක් විය. එවැනි ගමන්බිමන් තුළ මගදී මුණ

ගැසෙන දන්නා හඳුනන අයකු තම පාපැදියේ නංවාගෙන ඔවුන්ට ද ගමන් පහසුව සැලසීමට ද ඔවුහු කටයුතු කළහ. වෙහෙස නොබලා එලෙස සැතපුම්

ගණනාවක් පාපැදියෙන් ගමන් කිරීම තුළින් ඔවුහු

ගමනාගමන පහසුකම මෙන්ම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යෑම පිණිස ද සමත් වූහ.

කාලය තාලය වෙනස් කොට ගමන් කිරීම ආරම්භ කිරීමත් සමඟ සියල්ල වෙනස් විය. එතෙක් කලක් පාපැදිය විසින් අත්පත් කරගත් සියලු වටිනාකම් යටපත් කරමින් යතුරුපැදිය රට තුළට පැමිණීම ආරම්භ වන්නේ කාලය විසින් සියල්ල උඩුයටිකුරු කිරීමත් සමඟය. විශේෂයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදිය මෙරට සියලු මංමාවත් ආක්‍රමණය කිරීමට ගැනීමත් ඊට සමාන වේගයකින් ත්‍රීවිල්රථ රට වටා කරක්

ගැසීම ආරම්භ කිරීමත් සමඟ එතෙක් කල් සමාජය තුළ පාපැදියට පැවති ඉල්ලුම පල්ලම් බසින්නට විය. කලක් තිස්සේ පාපැදියෙන්

ගමන්බිමන් ගිය බොහෝ දෙනෙක් ඒ සඳහා යතුරුපැදිය භාවිතයට ගැනීමත් තවත් පිරිසක් ත්‍රීවිල්රථ හයර් කරමින් තම එදිනෙදා කටයුතු පිණිස පිටත්ව යෑමට විලාසිතාවක් බවට පත් කර ගැනීමත් හේතුවෙන් එම තත්ත්වය තවත් වර්ධනය විය.

එලෙස කලක් තිස්සේ නොසලකා හරින ලද පාපැදිය මේ වනවිට නැවත වරක් මෙරට ඉස්තරම් වාහනය බවට පත්ව ඇත. රට තුළ ඉන්ධන අර්බුදයක් හට ගැනීමත් එය දිනෙන් දින වර්ධනය වීමට ගැනීමත් සමග එම තත්ත්වය ඇති විය. එය කොතරම් ද යත් මේ දිනවල රට තුළ අලෙවි වන පාපැදි මිල ගණන් පිළිබඳ විමසිලිමත් වීම වුව ද ප්‍රමාණවත්ය. රට තුළ ඉන්ධන අර්බුදයක් මතුවීමට පෙර වෙළඳපොළ තුළ රුපියල් දහ පහළොස් දහසට අලෙවි වූ සාමාන්‍ය පාපැදියක මිල මේ වනවිට පෙර පැවති මිල මෙන් තුන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇත. නවීන අංගෝපාංගයන්ගෙන් යුත් අලුත් මාදිලියෙන් යුත් පාපැදියක් මිලදී ගැනීම පිණිස මේ වනවිට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කළ යුතුය.

එවැනි මිල ගණන් යටතේ වුව ද පාපැදියක් මිලදී

ගැනීම පසුගිය දිනවල ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ පිළිබඳව ඉකුත් දිනක අප කළ සොයා බැලීමකදී හෙළිදරව් වූවේ රට තුළ මේ වනවිට පාපැදිය පිණිස ඉහළ ඉල්ලුමක් පවතින බැවින් වෙළඳපොළ තුළ පාපැදි හිඟයක් පවතින බවය. මෙම ලිපියෙහි අරමුණ වන්නේ පාපැදි මිල ගණන් පිළිබඳව කතාබහ කිරීම නොව එහි අමිල ඉතිහාසය වෙත නැවත එබී බැලීම බැවින් මෙතැන් සිට පෙළ ගැසෙන්නේ දෙපයේ වාරුවෙන් පැදගිය පාපැදිය පිළිබඳව කීපදෙනකු අප හා දක්වන ලද අදහස් හා නැවත වරක් “දුප්පතාගේ හිතවතා” රටේ ජනතාව වෙත සමීප වෙමින් පවතින ආකාරය පිළිබඳවය. සමාජ ස්ථර කීපයක් නියෝජනය කරන කීප දෙනකු සමග සිදුකළ එම කතාබහ තුළ පළමුව අදහස් දක්වා සිටියේ විශ්‍රාමික විදුහල්පතිවරයෙක්ය. මේ වනවිට සිය ජීවිතයේ සැඳෑව ගත කරමින් සිටින ඔහු තම මතකය අවදි කරන්නට වූවේ 70 දශකයේ මතකයක් මෙනෙහි කරමින්ය.

“ඒ කාලෙ අපි තරුණ ගුරුවරු වශයෙන් රැකියාව සඳහා නිවසින් පිටත්ව ගියෙත් නැවත නිවසට ළඟා වුණෙත් පාපැදියෙන්. අද වගේ සමාජ වටපිටාවක් නොමැති තත්ත්වයක් තුළ ඒක සාමාන්‍ය දෙයක්. සැතපුම් දහය පහළොව දුර පවා දිනපතා එහෙම පාපැදියෙන් රැකියාවට ගිය ගුරුවරු ඕනතරම් හිටියා. කල්වේලා ඇතුව නිවසින් පිටත්වෙලා නියමිත වේලාවට විදුහලට යන්න ඒ හරහා පුළුවන්කම ලැබුණා. කවුරුවත් ඒ දිහා පුදුමයෙන් බැලුවෙ නැහැ. ඒ යන අතරේ තමන්ගෙ පාසලේ ඉගෙනුම ලබන කුඩා දරුවෙක් දෙන්නෙක් මගදී මුණගැසුණොත් ඒ අයවත් සයිකලයට ගොඩකර ගන්න පුරුද්දක් අපි ළඟ තිබුණා. ඒ සරලකම 70 දශකයේ අග භාගය වෙද්දි ටිකෙන් ටික නැති වෙන්න ගත්තා. ඊට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නෙ විවෘත ආර්ථිකයෙන් පස්සෙ ඇතිවෙච්ච සමාජ පරිවර්තනයයි. ඉන් පස්සෙ ඉවක් බවක් නැතුව බඩු භාණ්ඩ ගෙන්වන වෙළෙඳපොළක් නිර්මාණය වෙන්න ගත්තා. මිනිස්සු ඒවා පස්සෙ නොනැවතී දුවන්න ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දේ වෙනස් වෙන්න ගත්තා. අන්තිමට මොකද වුණේ. පාපැදියෙන් රස්සාවට ගිය මනුස්සයා යතුරුපැදියට නැග්ගාා. යතුරුපැදියෙන් ගිය අය රෝද හතරේ වාහනයට මාරු වුණා. යාන වාහන කියන දෙය මිනිසුන්ගේ දියුණුව මනින සාධකයක් බවට පත් වුණා. එහෙම තත්ත්වයක් තුළ පාපැදිය කල්ඉකුත් වූ භාණ්ඩයක් ගානට දැම්මා. විවෘත ආර්ථිකය හඳුන්වල දීලා දැන් අවුරුදු 45ක් වෙනවා. ඒ කාලය තුළ රටක් ලෙස අපි දියුණුව කරා ළඟා වුණාද? එහෙම වුණා නම් අද රටට මෙහෙම වෙනවද? එහෙනම් දැන් මොකද අපට වෙලා තියෙන්නෙ. ආපසු අර පරණ හිටිය තැනටම යන්න වෙලා තිබෙනවා. මරණාසන්න රෝගියෙක් රෝහලකට ගෙනියන්න තෙල් ටිකක් නැති රටක් මේක. තරුණ ජීවිත ඉන්ධන පෝලිම්වල වයසට යනවා. ඒත් ඩීසල් ටික පෙට්‍රල් ටික ගන්න බෑ. ඒ පාර මේ අය මොකද කරන්නෙ. ඔන්න ආපහු අර පරණ පුරුදු පාපැදියට හුරුවෙන්න යනවා. මේ මොකද වෙන්නෙ. මේකට තමයි කියන්නෙ ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වෙනවා කියලා.

ගෙදර තිබුණ පාපැදිය පමණක් නොවෙයි. පොල්කටු ඉස්තිරික්කයක් තිබුණ නම් ඒකත් පරණ යකඩවලට විකුණූ නුතන පරම්පරාවට වැරදුණේ කොතැනද කියන එක ඒ අයවත් දන්නෙ නෑ….”

විශ්‍රාමික විදුහල්පතිවරයා විසින් කරන ලද හෙළිදරව්වට අනුව රට තුළ පාපැදි හිඟවීමට බලපාන ලද එක් කරුණක් බවට පත්වූවේ “පාපැදිය” පරණ යකඩ බඩු සඳහා විකිණීමට තරම් අප සාහසික වීමය. එහි ඇත්ත නැත්ත සොයා බැලීමේ අටියෙන් කොළඹ සහ ඒ අවට පරණ යකඩ බඩු එකතු කරන සුළු පරිමාණ ව්‍යාපාරිකයන් කීප දෙනකුගෙන් ඒ පිළිබඳව විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ මෙවැන්නක්ය.

“අපි රස්සාව විදිහට කරන්නෙ ගෙයක් ගෙයක් ගානේ ගිහින් පරණ බෝතල්, යකඩ ආදිය එකතු කරන එක. දැන් අවුරුදු විස්සක් විසිපහක් තිස්සෙ කරන රස්සාවක් මේක. නමුත් එදාට වඩා අද තත්ත්වය වෙනස්. ඒ කාලෙ හිටිය මිනිස්සු ලේසියකට දෙයක් දුන්නෙ නෑ. පරණ වානේ කෑල්ලක් තියෙනවා දැකලා ඉල්ලුවොත් ඒ අය කියනවා ඒක දීලා බෑ මන්නයක්, පිහියක් හදාගන්න ඒක තියා ගන්න ඕන කියලා. ඒත් දැන් අවුරුදු 10කට කලින් විතර මේ තත්ත්වය වෙනස් වුණා. පරණ ගෙවල් දොරවල් කඩල අලුත් ගෙවල් හදන එක විලාසිතාවක් බවට පත් වීමත් එක්ක ඒ ගෙවල් දොරවල්වල තිබුණ පරණ බඩුමුට්ටු ඒ අය දොට්ට දාන්න ගත්තා. පාපැදියටත් ඒ දෙයම සිද්ධ වුණා. අර අලුත් ගෙදර පරණ පාපැදියක්, පරණ රෙදි මහන මැෂිමක් විතරක් නොවෙයි සමහරු කැති උදලු පවා පරණ යකඩවලට විකුණන්න ගත්තා. ඒක සල්ලි නැතිකමට කරන වැඩක් නොවෙයි. ඒ දේවල් අද කාලෙට ගැළපෙන්නෙ නෑ කියලා හිතල තමයි එහෙම කරන්නෙ. මහත්තයල විශ්වාස කරන්න ඔය පරණ බයිසිකල්, රෙදි මහන මැෂින් ඊළඟට පොල්කටු අඟුරු ඉස්තරික්ක ගන්න අපි සල්ලි යට කරේ නැහැ. කොළඹින් අඩු ගානට ගන්න ප්ලාස්ටික් බේසම්, පුටු ටිකක් ලොරියෙ පටවගෙන ගෙයක් ගෙයක් ගානෙ යද්දි රුපියල් සීයක් එකසිය පනහක් විතර වටින බේසමකට, පුටුවකට පවා ගෙවල්වල තිබුණ පරණ බයිසිකල් ඇතුළු වටිනා කියන පරණ බඩු අපට දිපු ඕන තරම් අය හිටියා. බේසමකට, පුටුවකට හුවමාරු කරගත්ත බයිසිකල් දහය පහළොව ලොරිවල පටවගෙන ආව සමහර දවස් තිබුණා. දැන් ඒ අය තේරුම් අරන් තියෙනවා තමන් කර ගත්තෙ මහ අපරාධයක් කියලා. දැන් රටේ පවතින ඉන්ධන හිඟයත් එක්ක ඒ අයම ඇවිත් අපෙන් අහනවා පරණ බයිසිකල් නැද්ද කියලා. ඇත්තම කියනවා නම් පරණ බඩු එකතු කිරීමේ ව්‍යාපාරය දැන් රට පුරා මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙන්න එක හේතුවක් තමයි ගොඩක් මිනිස්සු දැන හෝ නොදැන පරණ දේ ඉවත් කරමින් අලුත් අලුත් දේ මිලදී ගන්න පෙලඹීම. අපි කිසි දෙයක් බලෙන් ගේන්නෙ නෑ. ලොකු බේසමක් දෙන්නම් නෝන මේ බයිසකලේ දෙනවද කියලා ඇහුවහම ඒ අය එකඟ නම් එච්චරයි. අපි ගන්නවා අපි කරන්නෙ රස්සාව. දෙන නොදෙන එක ඒ අය තීරණය කරන්න ඕන…”

කලක් මෙරට ජනතාවට නැතුවම බැරි දෙයක් බවට පත්ව තිබූ පාපැදියේ නූතන කතාව පෙළ ගැසෙන්නේ ඒ ආකාරයෙන්ය. පාපැදිය හා මෙරට ජන ජීවිතය අතර පැවති සමීප සබඳතාවය හෙළිදරව් කරන කලා නිර්මාණ පවා බිහි වූ යුගයක් විය. මෙරට සිනමාව සහ ගීත සාහිත්‍ය පිරික්සීමේදී ඒ බව සොයාගත හැක. එමෙන්ම තමන්ට සුපුරුදු ගමන්බිමන් පිණිස පරණ පුරුදු පාපැදිය භාවිතා කරන්නන් ද තවමත් අප අතර ඇත. ඔවුන්ට ඉන්ධන පිළිබඳ ප්‍රශ්න නැත. දෙපයේ වාරුවෙන් තවමත් ඔවුන් ගමනක්බිමනක් පමණක් නොව රැකියාව පිණිස ද නිවසින් පිටව යන්නේ සුපුරුදු පාපැදියෙන්ය. රැකියාව පිණිස වඩුවැඩ කරන පුද්ගලයෙකු තම ගමන් සගයා ගැන පවසා සිටියේ මේ ආකාරයෙන්ය.

“දැන් අවුරුදු විස්සකට අධික කාලයක් මම රස්සාව කරනවා. එදත් අදත් මම පදින්නෙ පාපැදියක්. ඉගෙනගෙන රස්සාව කරන දරුවෝ මටත් ඉන්නවා. තාත්තා පුෂ් සයිකලෙන් යනවට ඒ අය කැමති නෑ. ඒ අය හිතන්නෙ ඒක තමන්ට මදිකමක් කියලා. නමුත් මට එහෙම දෙයක් දැනෙන්නෙ නෑ. මගේ ගමන මම අදත් යනවා. නමුත් අර වගේ අදහසක හිටපු මගේ දරුවෝ අද තෙල් පෝලිම්වල දවස් ගානක් රස්තියාදු වෙනවා. මම මේ දැනුත් ඉන්නෙ කොල්ලො දෙන්නට දවල්ට කන්න බත් පාර්සල් දෙකක් ගිහින් දිලා එන ගමන්. දැන් හැදෙන පරම්පරාවට අඩි දහයක් පහළොවක් පයින් යන්නත් බැරි තත්ත්වයක් තියෙන්නෙ. හැමදේම පහසුවෙන් ලෙහෙසියෙන් කර ගන්න මානසික තත්ත්වයක තමයි ඒ අය ඉන්නෙ. එහෙම එකේ එවුන් අපි වගේ දුක් මහන්සියෙන් තමන්ගෙ වැඩක් කරගන්න හිතන්නෙවත් නෑ. දැන් ඔය පේනවනෙ. ඒවටත් එක්ක තෙල් පෝලිම්වල ලගින හැටි…”

රටක් ලෙස ලෝකයක් හමුවේ අප හිඟමනට වැටී අවසන්ය. රට තුළ තෙල් අර්බුදයක් නිර්මාණය වන්නේ එහිම දිගුවක් ලෙසය. තත්ත්වය යහපත් අයුරින් නිමා වන බවක් පෙනෙන තෙක් මානයක නැත. රටක ජීවමය බව පවත්වා ගැනීම පිණිස ඉන්ධන යනු වැදගත් සාධකයක්ය. නමුත් එය ප්‍රමාණවත්ව නොලැබී යෑම හේතුවෙන් මාස ගණනාවක් තිස්සේ රට අවතැන්ව ඇත. එවැනි අලකලංචි මැද මේ වනවිට නැවත වරක් පාපැදියට හොඳ කලක් පැමිණ ඇතත් දැන් දැන් රට තුළ උග්‍ර පාපැදි හිඟයක් ද හිස ඔසවමින් ඇත. ඉතිහාසය හැකි ඉක්මනින් කුණු කූඩයට දක්කන ජාතියක් අප ගැනම කම්පා විය යුතු කාලය පැමිණ ඇත. චීන සංවර්ධන ව්‍යාපෘතිත් මෙරට පැළ කිරීමට දත කන අපට චීනය විසින් කියා නොදුන් පාඩම් බොහෝ ඇත. ඉන් එකක් නම් මේ වනවිට පාපැදි නිපදවීම අතින් සහ පාපැදි භාවිතයෙන් ලොව පළමු ස්ථානයට පත්ව ඇත්තේ තමන් බව මේ වන තෙක් චීනය විසින් අපට කියා දී නැත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment