තියෙන නීති ප්‍රමාණවත් නම් අපි අලුත් නීති ගේන්නේ නෑ !

124

අධිකරණ බන්ධනාගාර හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

අපේ රටේ චිරාත් කාලයක් තිස්සේ පැවත එන අල්ලස් නීතිය, අල්ලස් පනත හා වත්කම් බැරකම් නීතිය යන නීතිමය ප්‍රතිපාදන තුනක් වෙනුවට “දූෂණ විරෝධී පනත” යනුවෙන් එක නීතියක් රටට හඳුන්වා දෙන්නට වත්මන් රජය කටයුතු කරමින් තිබේ. අද මේ පිළිබඳ රටේ ලොකු සංවාදයක් නිර්මාණය වී ඇත. රටේ දූෂණ අක්‍රමිකතා වැඩි වී ඇත්තේ නීතියේ අඩුපාඩුවක් නිසා නොව, නීතිය තුළට දේශපාලනයේ බලපෑම වැඩි වී තිබෙන නිසා යැයි විපක්ෂය තර්ක කරති. අද අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මුණ ගැසුණෙමු. එහිදී අප ඇසූ ප්‍රශ්න හා ඔහු ඒවාට දුන් පිළිතුරු මේ ලිපියේ ඇතුළත් ය…

ප්‍රශ්නය – දූෂණ විරෝධී පනත අපට පේන්නේ අපට අවශ්‍ය දේකට වඩා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අප මත පැටවූ පනතක් හැටියටයි. මොකක්ද මේ පනත. ඇයි එහෙම එකක් ගේන්න කියලා ජාත්‍යන්තරය අපට බල කරන්නේ..?

පිළිතුර – දූෂණය කියන එක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් පිටු දකින්න ඕන කියන යෝජනාව අද ඊයේ ආපු එකක් නෙමෙයි. ආරම්භයේ පටන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ගැන කතා කළා. ඒ අනුව තමයි ඔවුන් ලෝකෙටම දූෂණ විරෝධී ප්‍රඥප්තිය හඳුන්වා දුන්නේ. 2004 වසරේදී අපිත් රටක් හැටියට මේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අත්සන් කරලා එහි පාර්ශ්වකාරයෙක් වුණා.

අනිත් එක තමයි එදා අපි 2015දී යහපාලන ආණ්ඩුව ආරම්භ කරනකොට අපි දීපු එක පොරොන්දුවක් තමයි මේ රටෙන් අල්ලස, දූෂණය, හොරකම, නාස්තිය පිටු දකිනවා කියන එක. මොකද මේ රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් දිගින් දිගටම හොර පාරේ හොරපාරෙන් විවිධ අයගේ සාක්කුවලට ගියාය කියන එක රහසක් නෙවෙයි. ඕනෑම රටක දූෂණය පවතිනවා නම් ඒ රටේ ආර්ථිකය යහපත් වර්ධනයකට ගෙන යන්න බෑ. ජනතාවට සාධාරණය ඉටුවන්නේ නෑ. අපි මේ ගැන දීපු පොරොන්දු මත ජනතාව අපිට 2015දී ලොකු බලයක් දුන්නා. පොරොන්දු වුණා වගේම ඒ රජය දූෂණ විරෝධී පනත කෙටුම්පත් කිරීමේ කාර්යභාරය පටන් අරන් එහි වගකීම මට පැවරුවා.

ප්‍රශ්නය – නමුත් ඔබට එහි අවසානයක් දකින්න බැරි වුණා. ඔබ ආණ්ඩුවෙන් ගියා..?

පිළිතුර – හරියට කියන්නකො… මම ගියා නෙවෙ යි. එවකට රටේ පැවැති දේශපාලන සංස්කෘතික තත්ත්වය මත ආණ්ඩුව මාව ඇමැතිකමෙන් ඉවත් කළා. මේක විතරක් නෙවෙයි තව ඉතා හොඳ පනත් ගණනාවක් අතරමග නතර වුණා.

අරගලයෙන් පස්සෙ අපේ ජනාධිපතිතුමා මේ රටේ සහ ජනතාවගේ වගකීම භාරගෙන රට ගොඩනඟන වෙලාවේ දූෂණ විරෝධී පනත නැවත ගෙන ඒමේ වගකීම මා වෙත භාර කළා.

මම ඔබේ ප්‍රශ්නෙ නිවැරදි කරන්න ඕන. මේ දූෂණ විරෝධී පනත අපි ගෙනාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට බල කළ නිසා නෙවෙයි. මොකද 2015දී අපි මේ වැඩේ පටන් ගන්න කොට 2022 දී අයි එම් එෆ් එකට යන්න වෙයි කියලා අපි දැනන් හිටියෙ නෑනෙ. ඒක නිසා ඔබ අපිට ඒ චෝදනාව කරන එක වැරදියි. මේක අපි අයිඑම්එෆ් එකට යනවද නැද්ද කියන එක තීරණය කරන්න කලින් හදපු පනතක්.

ඒ වගේම තමයි මෙවර අපි අයිඑම්එෆ් එකට යද්දි ඔවුන් අපි ගැන අධ්‍යයනය කර තිබුණා. ඒ වෙලාවේ ඔවුන් අපට කිව්වා ඔබගේ රටේ දූෂණයට හොරකමට එරෙහිව තියන නීති රීති ශක්තිමත් මදි. ඒ ගැන පියවරක් ගන්න කියලා. කිව්වත් නැතත් ඒ වන විට අපි ඒ පනත හදලා ඉවරයි.

ප්‍රශ්නය – කොහොම කිව්වත් ඇමැතිතුමා මේක කොන්දේසියක් නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවා නම් ඉටුකළ යුතුයි කියන කොන්දේසි අතරේ තියෙන ප්‍රධාන එකක් තමයි දූෂණ මර්දන පනත ගේන්න ඕන කියන එක..?

පිළිතුර – ඉතින් ඔවුන් එහෙම කියන එක අසාධාරණද. ඒක ඒගොල්ලන්ගේ පැත්තෙන් බලනවට වඩා අපේ රටේ ජනතාවගේ පැත්තෙන් බලනකොට ඉතාම සාධාරණ යෝජනාවක්. මොකද අපි දාසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. ඔවුන් දුන්න මුදල් හරියට භාවිතා කරලා මේ රට ගොඩ ගන්නේ නැතුව අපි 17 වතාවටත් එතෙන්ට යනවා. ඉතින් ඔවුන් එහෙම කොන්දේසියක් දැනිය යුතුයි. අපි ඒක සලකන්නෙ වදයක් කරදරයක් නෙවෙයි, ජනතාවට වාසිදායක ඒ වගේම අපි කරන්න හිටපු දෙයක් හැටියට.

ප්‍රශ්නය – අපි දැක්කා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව පැවැති විවාදය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ලොකු විවේචනයක් එල්ල කළා. ඔහු කිව්වා මේ රටේ අල්ලස දූෂණය නැති කරන්න අවංක උවමනාවක් තියෙනවා නම් ඒ සඳහා දැනට තිබෙන අල්ලස් නීතිය, පොදු දේපළ නීතිය, මුදල් විශුද්ධිකරණ නීතිය හා අපරාධ නීතිය යන නීති හතර හොඳටම ප්‍රමාණවත් බව. ඔබ හිතන්නේ මොකක්ද. ඇත්තටම ඒවා ප්‍රමාණවත් මදිද..?

පිළිතුර – පවතින නීති ප්‍රමාණවත් නම් අපි කිසිසේත්ම අලුත් නීතියක් ගේන්නේ නෑ. රටක නීතියක් විතරක් තිබිලා මදි නේ. ඒ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන අභිලාෂයකුත් තිබිය යුතුයි. ඔය කියන ජවිපෙ නායකයා කිව්වේ නීති ඕනෙ නෑ, දේශපාලන සංස්කෘතියෙන් මේක හදන්න පුළුවන් කියලනේ. ඒකනේ කිව්වේ. එහෙම නං ඉතින් පාර්ලිමේන්තුව වැඩකුත් නෑ. දේශපාලන සංස්කෘතිය වෙනස් කරල ඒකෙන් ඔක්කොම කරන්න පුළුවන් නම්.

දූෂණයට බලපාන අනිත් කාරණය තමයි දූෂිතයො පාර්ලිමේන්තුවට පැමිණීම. දූෂිතයන්ට වුණත් පුළුවන් ඕන තරම් වියදම් කරලා තෑගිබෝග දීල වරදාන වරප්‍රසාද ජනතාවට දීලා ඔවුන්ගේ කැමැත්ත අරන් පාර්ලිමේන්තුවට එන්න. බලන්න මැතිවරණවලින් කවුද දිනන්නෙ කියලා. වැඩියෙන්ම මුදල් වියදම් කරන්න පුළුවන් මිනිහා. වැඩියෙන්ම අරක්කු බොන්න දෙන්න පුළුවන් මිනිහා. වැඩියෙන්ම ඡන්දදායකයන් තෑගිබෝග දෙන්න පුළුවන් මිනිහා. වැඩියෙන්ම ප්‍රචාරක මාධ්‍ය සල්ලිවලට පාවිච්චි කරන්න පුළුවන් මිනිහා. මේගොල්ලෝ දූෂිතයො බව ජනතාව දැන දැනත් ඔවුන්ව පාර්ලිමේන්තුවට එවනවා. එවලා එදා ඉඳලම ආපස්සට කෑගහනවා පාර්ලිමේන්තුවේ දූෂිතයො ඉන්නව කියලා. ඔන්න ඕක වළක්වන්න තමයි අපි ගෙනාවේ මැතිවරණ වියදම් නියාමන පනත.

ප්‍රශ්නය – කොහේද දැන් ඕක තියෙන්නේ…?

පිළිතුර – ඒක ගැන සම්මතයි. ක්‍රියාත්මක වෙනවා. 2023 ජනවාරි මාසේ සම්මත වුණ ඒකට තමයි කියන්නේ 2023 අංක 3 දරන පනත කියලා. හැබැයි ඉතින් ඔය නමක් කිව්වනේ දූෂණයට විරුද්ධව කතා කළා කියලා. අන්න ඒ මන්ත්‍රීතුමාත් ඔය පනතට විරුද්ධවයි ඡන්දෙ දුන්නෙ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ඔක්කොම ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. පුදුම පරස්පරයක් නේ. දූෂණයටත් විරුද්ධයි. දූෂණය නවත්වන්න ඕන කියලාත් කියනවා. ඒ සඳහා නීතියක් ගේනකොට ඒකටත් විරුද්ධ වෙනවා. මොකක්ද ඒ ගොල්ලන්ගේ ඒ ප්‍රතිපත්තිය.

ප්‍රශ්නය – පොදුවේ චෝදනාවක් තියෙනවා නේ. දේශපාලනඥයෝ නිලධාරීන් ව්‍යාපාරිකයෝ හා ඔවුන්ගේ ගජ මිත්‍රයෝ හොරකම් කරනවා. දැන් මේ හොරකම් කරපු ධනය රටෙන් පිට පන්නල තියෙනවා. අන්න එහෙම රටෙන් පිට හංගගෙන ඉන්න ධනය ආපහු රටට ගේන්න මේ නීතිය තුළ ප්‍රතිපාදන තියෙනවාද..?

පිළිතුර – ඕකනේ මම කිව්වේ ඕවා ගැන විවේචන කරන මිනිස්සු හරියට පනත කියවලා නැහැ කියලා. පනතේ පැහැදිලිවම තියෙනවා නීති විරෝධී ලෙස උපයාගත් ධනය තියෙනවනම්, ඒවා කොහේ හෝ සඟවා තබාගෙන ඉන්නවනම් අධිකරණ නියෝගයක් ලබා ගෙන ඒ ධනය අත්පත් කරගන්න සහ ඒවා ගෙන්න ගන්න පුළුවන්. පනත හරියට කියෙව්වා නම් අහු වෙනවා.

ප්‍රශ්නය – මහ බැංකු හොරකම කියන්නේ අපේ රටේ ආණ්ඩු හොල්ලපු සිදුවීමක් නේ. ආණ්ඩු පෙරළපු හොරකමක්. එම හොරකමට වගකිවයුත්තා ලෙස සලකන අර්ජුන් මහේන්ද්‍ර නැමැති පුද්ගලයාව නැවත ලංකාවට ගේන්න පවා මේ පනතට හැකිද..?

පිළිතුර – මට පුද්ගලිකව සතුටක් තියනවා ඔහුගේ නම එදා මහ බැංකු අධිපතිකමට යෝජනා වෙද්දී ඊට විරුද්ධ වීම පිළිබඳව. එතන ඔබ කියූ ගැටලුව මතු වෙනවා. ඒ වගේ අයව අපට ආපහු ගේන්න නම් ඔහු ජීවත්වන රටත් අපිත් අතර ඒ සඳහා එකඟතාවයක් තිබිය යුතුයි. ඒ කියන්නේ පුද්ගලයන් ගෙන්වා ගැනීමට. එහෙම ගිවිසුමක් අප අතර නැති නිසා ඔතන ප්‍රශ්නයක් තියෙන බව මම පිළිගන්නවා. ඒ සඳහා පනතෙන් කළ හැකි දෙයක් නෑ.

ප්‍රශ්නය – විශ්වාසනීයත්වය පිළිබඳව ගැටලුවක් තියෙනවානෙ ඇමැතිතුමා. එදා මහ බැංකු අධිපතිකම ට අර්ජුන්ව පත් කළ අගමැති අද වෙන විට රටේ ජනාධිපති. එදා අර්ජුන්ගෙ පත්වීමට විරුද්ධ වුණ අධිකරණ ඇමැති අදත් අපේ රටේ අධිකරණ ඇමැති. පොඩි ලැජ්ජාවකුත් තියෙනවා වගේ නේද.. කොහොමද මේ ගැටලුව ලිහා ගන්නේ…?

පිළිතුර – ගැටලුව ලිහා ගන්න තමයි මම මේ අධිකරණ ඇමැතිකම භාර ගත්තේ. එදා වරදක් වුණා. එහෙමයි කියලා අපි ඒ වරද දිගටම වෙන්න ඇරලා බලා ඉන්නවද නැත්නම් එවන් වැරදි සිදු නොවන විදිහට නීති රීති සකස් කරනවද. ජනාධිපතිතුමා මේ සිද්ධියේදී එදා කළුයි කියමුකො. ඉතින් එතුමා අදත් කළුයි ද. අපි එතුමාට නිවැරදි වෙන්න වෙලාවක් දෙන්නැද්ද. වරද තේරුම් අරගෙන එතුමා මට අවස්ථාව දීලා තියෙනවා නැවත ඒ වගේ දේවල් නොවෙන්න නීතිමය ප්‍රතිපාදන ශක්තිමත් කරලා හදන්න. අපි ඒක කරනවා.

ප්‍රශ්නය – හොඳයි අපි අවසාන ප්‍රශ්නය ගමු. දූෂණ විරෝධී පනත දෙවැනි වර කියවලා පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ අවශ්‍ය නම් එදා හවසම සංශෝධන ඉදිරිපත් කරලත් සම්මත කරන්න තිබුණා. එහෙම නේ බෙදීමක් නැති පනත් වලදී වෙන්නේ. හැබැයි එදා ඒ සම්මත කිරීම වුණේ නෑ. නැවත දහනව වැනි දාට කල් ගියා. ඇයි එහෙම වෙන්න දුන්නේ..?

පිළිතුර – පාර්ලිමේන්තුවේ කටයුතුවලදී තීන්දු ගන්නේ මම නෙවෙයිනේ. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ කතාබහ කරලා තමයි න්‍යායපත්‍රය හදන්නෙ තීන්දු ගන්නෙ. එදා ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි කතා කරලා තීන්දුවක් ගත්තා එදිනට දෙවන වර කියවීම විතරක් සම්මත කරලා 19 වෙනිදාට කාරක සභා අවස්ථා අරගෙන සංශෝධන ඉදිරිපත් කරලා සම්මත කරන්න. එච්චරයි.

සාකච්ඡා කළේ
බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment