මහින්ද ප්‍රසාද් මස්ඉඹුල බොහෝ කාලයක් යනතුරුම බොහෝ දෙනෙක් දැනගෙන සිටියේ කවියකු ලෙසය. සෙංකොට්ටං නවකතාකරුවකු ලෙස ඔහු සාහිත්‍ය දිවියේ බෞතිස්ම කරන්නට සමත් විය. එතැන් පටන් සම්මානනීය, ජනප්‍රිය විදග්ධ සාහිත්‍යකරුවකු ලෙස බොහෝ ඇගැයීම් ලබන්නට ඔහු සමත් විය. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැයි මාර ග්‍රන්ථය මේ වනවිට සිනමාවට නැඟෙමින් තිබේ. මේ කතාබහ ඒ බොහෝ දේ ගැනය.

මේ ඔහු සමග සාහිත්‍ය හා ඔහුගේ ලේඛන ජීවිතයත්, නුදුරේදීම සිනමාවට නැගෙන මැයි මාර ප්‍රසංගය ගැනත් කළ කතාබහේ සංක්ෂිප්තයයි.

භාෂා ශෛලිය සහ තේමාවන් අනෙක් සමකාලීනයන් සමඟ සංසන්දනය කරන විට ප්‍රජාවට සමීප බවක් දක්වනවා. ඇයි එවැනි වෙනස් තේමාවන්ම තෝරාගන්නේ?

මගේ සියලුම නිර්මාණයන් තුළ මීට දශක කිහිපයකට පෙර සිදු වූ සිදුවීම්, ඇතැම් අවස්ථාවල මෑතකාලීන සිදුවීම්, ජීවත් වන පරිසරය හා එහි ජීවත් වන මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ආදරය, ආර්ථිකය, දේශපාලනය, ලිංගිකත්වය වැනි කාරණා තේමාවන් ඔස්සේ කතා කරන්න මම උත්සාහ කරලා තිබෙනවා. ඒ වගේම මම දකින්න අපේක්ෂා කරන මිනිස් චරිත මගේ නිර්මාණ හරහා මම අරගෙන එනවා. ඒ නිසා කෙනකුට ඒ විධියට හිතෙන්න පුළුවන් කියලා මම හිතනවා.

“හිරුත් හිම පියල්ලක” කියන්නේ ඔබේ පළමු නිර්මාණය. එම කාව්‍ය සංග්‍රහය සම්මාන රැසකට පාත්‍ර වුණා. ඒ පළමු අත්දැකීම ඔබට කොහොමද දැනෙන්නේ?

ඔව්. විශේෂයෙන්ම මගේ පළවෙනි පොත නිර්මාණය වන විට පුවත්පත්වල කවි ලියන කෙනෙක් විධියට යම්කිසි පිරිසක් මං ගැන දැනගෙන හිටියා. ඒ කාලේ මම හැම පත්තරයකටම වගේ කවි පිටුවට කවි ලිව්වා. කවි ලියන හැම කෙනෙක්ගේම හීනයක් පොතක් ජනගත කිරීම. මටත් ඒ හීනය තිබුණා. නමුත් කොහොමද කරන්නේ කියන දේ ගැන මට ලොකු දැනුමක් අවබෝධයක් තිබුණේ නැහැ. මම ඒ කවි ලියාගෙන විවිධ ප්‍රකාශකයන් ළඟට ගියත් ඒ දේ සිදු වුණේ නැහැ. මොකද ඒ කිසිවෙක් කැමති වුණේ නැහැ. එතනදි මම ම සල්ලි එකතු කරලා කර්තෘ ප්‍රකාශනයක් ලෙස හිරුත් හිම පියල්ලක ග්‍රන්ථය මුද්‍රණය කරලා ප්‍රකාශයට පත් කළා. සම්මාන ලැබීමට පෙරත් එය බොහෝ පාඨකයන්ගේ ආදරය, ආකර්ශනය දිනා ගැනීමට සමත් වුණා. මගේ පළවෙනි පොත “හිරුත් හිම පියල්ලක” ජීවිතේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සනිටුහන් කරන්න පුළුවන්. කවි ලියන බොහෝ දෙනා අතර එය කතාබහට ලක්වුණා. මගේ නම ජනගත වීමට දෙදහස් දහය වර්ෂයේ මුද්‍රණය වුණු “හිරුත් හිම පියල්ලක” ග්‍රන්ථය ඉවහල් වුණා.

“සෙංකොට්ටං” කියන්නේ ඔබේ පළමු නවකතාව. ඒත් සමගම “මාණික්කාවත”ත් නිර්මාණය වෙනවා. කුල භේදය පන්ති භේදය කියන්නේ සමාජය තුළ දැඩිව කතාබහට ලක්වන මාතෘකාවක්. අදටත් ඇතැම් ගම්මාන සහ වාසගම් අනුව මේ මේ අය කියලා වෙන් කරන අවස්ථා පවතිනවා. ඒ නිර්මාණ ද්විත්වය සහ මේ වස්තු බීජය ගැන අපි කතා කළොත්?

ඔව් ඇත්ත වශයෙන්ම මම ප්‍රථමයෙන්ම ප්‍රබන්ධයක් ලෙස නිර්මාණය කළ ග්‍රන්ථය “සෙන්කොට්ටං”. දෙවන නවකතාව “මාණික්කාවත”. මේ නිර්මාණ දෙක සඳහාම මම යොදා ගනිපු පරිසර පද්ධතිය සහ අත්දැකීම් සියල්ල මට සමීප, මම ජීවත් වන ප්‍රදේශයට සමීප කතන්දර ලෙස ඒ ප්‍රදේශයේම ඉතිහාසය හා ප්‍රජාව පිළිබඳ ගවේෂණය කරමින් ලියැවුණු කෘති ලෙස හඳුන්වන්න පුළුවන්.

“සෙංකොට්ටං” කියලා කියන්නේ අප සමාජය තුළ පවතින කුලය කියන බෙදීම හේතුවෙන් වරප්‍රසාද අහිමි වන ජන ප්‍රජාව පිළිබඳ ලියැවුණු කතාවක්. මේ නිර්මාණය බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණු නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

“මාණික්කාවත” කියන්නේ මගේ ප්‍රදේශයේ, මගේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසගත කතාවක්. එතනදි පාරම්පරික ගොවි තැන, එහි ආරම්භය, එහි ව්‍යාප්තිය හා අවසානයේ එයට අත්වන ඉරණම පිළිබඳව මම වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා.

මේ කෘති දෙකම තුළ සංකල්පීය ගුණය ඇති කරන්න මෙවැනි කුලය, ආගම, මනුෂ්‍යත්වය, ගොවිතැන වගේ තේමාවන් භාවිතා කළා. මිනිසා කියන සත්වයාට සන්තෝසයෙන් ජීවත් වීමට අවකාශය අවශ්‍යය නමුත් එම අවකාශයට මුදල්, පංති බේදය, බලය, ආගම ආදිය වැට බැඳීමක් සිදු කළත් මෙන්න මේ දේවල් නැතුව සෑම මනුෂ්‍යයෙක්ම මූලික වරප්‍රසාද සහිතව සන්තෝසයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය විය යුතුයි කියන කාරණය මම ඉස්මතු කරන්න උත්සාහ ගත්තා.

වර්තමානයේ ලාංකීය සාහිත්‍ය මුහුණ දී තිබෙන තත්ත්වය සහ අනාගතයේ සාහිත්‍ය ගමන් මග ඔබ දකින්නේ කවර ආකාරයට ද?

වර්තමානයේ නිර්මාණකරුවන් පෙරට වඩා නිර්මාණකරණයට පෙළඹවීමක් දක්නට ලැබෙනවා. එයට එක හේතුවක් ලෙස වර්තමානයේ විවිධ මාධ්‍ය ඔස්සේ සිය නිර්මාණ ප්‍රකාශයට පත් කළ හැකි වීම සහ බොහෝ ප්‍රකාශන ආයතන පැවතීම දැක්විය හැකිය. මේවා දීර්ඝකාලීනව පැවතිය යුතුයි. නිරන්තරයෙන් නිර්මාණ සිදු විය යුතුයි. එම නිර්මාණ පාඨකයන් කියවිය යුතුයි. මේ හරහායි සාහිත්‍යයේ ගමන් මග තීරණය වන්නේ. මේ වන විට ලංකාවේ මෙය ක්‍රියාත්මක වනවා. බොහෝ පිරිසක් නිර්මාණකරණයට යොමු වෙලා ඉන්නවා.

අනාගත ගමන් මාර්ගය සකසා ගන්න හොඳම යෝජනාවක් ලෙස මම දකින්නේ හොඳ නිර්මාණ අනෙක් භාෂාවන්ට විශේෂයෙන්ම ඉංග්‍රීසි ඇතුළු අනෙක් භාෂාවන්ට පරිවර්තනය වීමෙන් අපිට ලෝකය ජයගත හැකි නම් එය තමයි අනාගතයේ අපිට පවතින අපි ජය ගත යුතු අභියෝගය.

“මැයි මාර ප්‍රසංගය” පසුගිය පොත් ප්‍රදර්ශනය පැවති කාලයේ බොහෝ දෙනා කතා කරපු නමක්. මොකක්ද මේ “මැයි මාර ප්‍රසංගය”

“මැයි මාර ප්‍රසංගය” කියන්නේ පසුගිය වසරේ මම ප්‍රකාශයට පත් කරපු අලුත් නවකතාව. මගේ අනෙක් කතාවලට වඩා මෙය ටිකක් වෙනස්. අනෙක් කතා ශෛලීන්ට හාත්පසින්ම වෙනස් ආදර කතාවක් ලෙස මෙය නිර්මාණය වුණේ. ඒ කාලේ ඉඳලම මට උවමනාවක් තිබුණා ප්‍රේමය සම්බන්ධයෙන් වෙනස් විධියේ කතන්දරයක් ලියන්න. එම උත්සාහයේ පියවරක් ලෙස “මැයි මාර ප්‍රසංගය” හඳුන්වන්න පුළුවන්.

“සමිධ” කියන චරිතය මේ කියන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේම ජීවිත අත්දැකීමක්ද?

මම හිතනවා ඒක සෘජුවම එහෙම කියන්න අවශ්‍ය නැහැ කියලා. ඕනෑම නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරන විට අඩු වැඩි වශයෙන් යම් අත්දැකීම් ප්‍රමාණයක් බලපානවා. එලෙස මට බලපානු ලැබූ හෝ අන් අයගේ අත්දැකීම් මගේ හැම නිර්මාණයකටම සෘජුවම හෝ වක්‍රාකාරව පාදක වෙලා තිබෙනවා. එතනදි “සමිධ” කියන්නේ මගේ අනෙක් නවකතාවල පාඨකයන් ආදරය කළ චරිත වගේම මා විසින් ගොඩනඟන ලද චරිතයක්. ඒ චරිතය ගොඩනඟන්න මා සතු වූ කාරණා කිහිපයක් ඉවහල් වුණා. මම ඒ පිළිබඳව කියනවට වඩා “සමිධ” ගේ චරිතය පාඨකයන් කියවා ගැනීම ප්‍රමාණවත්.

වෙන්වීම හෝ අයිති කර ගැනීම හැරුණු කොට ප්‍රේමයේ වෙනත් පැති ගැන ලියවුණ නිර්මාණ අල්පයි. සාහිත්‍යයට ප්‍රේමය එකතු වුණාම හරිම ලස්සනයි. ඒක පාර්ශ්වීය ප්‍රේමයක සුන්දරත්වය හා වේදනාව හරි ලස්සනට ඔබ කතා කරනවා. ඔබ ඒ දකින සාහිත්‍ය හා ප්‍රේමය ගැන අපි කතා කළොත්?

ප්‍රේමය කියන දේ සම්බන්ධයෙන් මම දරන මතය සාහිත්‍යයේ නියැළෙන බොහෝ අයගේ මතයට සමානයි.

සමාජය නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ තරගකරුවෙක්. කුඩා කාලයේ සිටම අවසානය දක්වාම අධ්‍යාපන පද්ධතිය සකස් වී ඇත්තේ තරගයෙන් දිනන ජයග්‍රාහකයෙක් නිර්මාණය කිරීමක් ලෙසින්. එමගින් මූලික මානව ගුණධර්ම, පුරුදු කිහිපයක් අපෙන් ගිලිහී යනවා. සංවේදී මනුෂ්‍යයෙක්, වෙනස් විධියට හිතන නිර්මාණශීලී මනුස්සයෙක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව දැනට පවතින තත්ත්වය මත ගිලිහී යනවා.

එම සම්ප්‍රදායට එපිටින් හිතන චරිත මට මගේ ජීවිතය තුළ මුණගැසී තිබෙනවා. විශේෂයෙන් ම ආදරය සම්බන්ධයෙන් සාමාන්‍ය පොදු මතය නම් තමා ආදරය කරන කෙනා සමීප කර ගෙන එයාව ජය ගැනීම හෙවත් අත්පත් කර ගැනීම. එම අත්පත් කර ගැනීම පිළිබඳ පූර්ණ විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් නීතිමය වශයෙනුත් පිළිසරණක් පැතීමට මනුෂ්‍යයාට සිදුවී තිබෙනවා. බැඳෙනවා, එකතු වෙනවා සහ නීතිමය රැකවරණයත් ඔවුන්ගේ ජීවිතයට එකතු වෙනවා. එහෙම බැඳුනම හිතුමනාපෙට එහෙම දාලා යන්න බැහැ. එහෙම යනවනම් නැවතත් නීතිමය පිහිට අවශ්‍ය වෙනවා.

මෙන්න මේක ඇතුළෙ මම කවමදාවත් ආදරය කියන දේ දකින්නේ නැහැ. සමාජ ක්‍රමය තුළ ගනුදෙනුවක් බවට පත් වෙනවා. මෙන්න පොදු ප්‍රවාහයට පිටින් හිතන මිනිසුන් සමග මම කතා කරලා, සාකච්ඡා කරලා, සංවාද කරලා තිබෙනවා. ඒගොල්ලෝ කියපු සමහර දේවල් මගේ ජීවිතයට ලොකු පුදුමයක් එකතු කරලා තිබෙනවා. ජීවිතය කියන්නේ මෙන්න මේකයි කියන සුන්දර පාඩම මම ඒගොල්ලන්ගෙන් ඉගෙනගෙන තිබෙනවා.

මෙම පොත තුළින් කියන්න උත්සාහ කරන චරිත තුළ පවතින ආකල්ප ගත් විට හැසිරෙන්නේ අත්පත් කර ගැනීමට ලොකු සටනක් නොකරන නමුත් ආදරයට එය බාධාවක් කර නොගත් ප්‍රබන්ධ කතාවක් විලසටය. ප්‍රබන්ධය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජීවිතයම නොවූවත් ප්‍රබන්ධ කතා තුළින් එල්ල කරන ඒ ආලෝකය ඔවුන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කරාවි කියලා මම හිතනවා.

ඔබ හරි ලස්සන කතාවක් කියනවා “ඔයා මගේ කරගන්නවා කියන එක දේශපාලනිකයි. ඔයා කොහේ හරි සතුටින් ඉන්නවා කියන එක විශ්වීයයි.” කියලා. පසුගිය කාලයේ ආදරය, ප්‍රේමය නිසා සිදුවූ මරාගැනීම්, ගැටුම් බොහොමයක් අපිට අසන්නට ලැබුණා. ඒ ප්‍රකාශය ආත්මාර්ථකාමී ප්‍රේමවන්තයන්ට පරාර්ථකාමී කතාවක් කියනවද?

ඔව් එය යම්කිසි සංකල්පයක් සපයනවා. ප්‍රේමය සම්බන්ධයෙන් කල්පනා කරන විට මම විශ්වාස කරන දේට අනුව ආදරය කියන්නේ එයට. මගේ විශ්වාසය පූර්ණ වශයෙන් ම මුළු ලෝකයේම විශ්වාසය බවට පත් වෙන්නේ නැහැ. නමුත් මම උත්සාහ කරනවා මගේ පාඨක ප්‍රජාව අතරේ හෝ එම සංකල්පය ඇති කරන්න. එම සංකල්පය ජීවිතය තුළ ඇතිකර ගැනීමෙන් තමාටත් අනෙකාටත් කිසිම හානියක් සිදුවන්නේ නැහැ. ජීවිතයේ අපි ඉන්නවට වඩා සුන්දර ආලෝකමත් තැනකට යන්න කරන ආරාධනයක් තමයි එතන තිබෙන්නේ. මම විශ්වාස කරනවා මගේ පාඨකයන් එය තේරුම් ගනීවි කියලා.

තමන් ආදරය කරන කෙනා කොහේ හෝ කොතැනක හෝ හොඳින් ඉන්නවා කියන විශ්වාසය ආදරය කියලා මම දැඩිව විශ්වාස කරනවා. ඒ නිසා තමයි මම එතනදී එහෙම කියන්න උත්සාහ කරලා තිබෙන්නේ.

තිරය මත දිග හැරෙන මැයි මාර ප්‍රසංගය

“මැයි මාර ප්‍රසංගය” ඔබේම අධ්‍යක්ෂණයෙන් නුදුරේදීම සිනමාවට නැගීමට නියමිතයි. ඇයි මේ නිර්මාණය චිත්‍රපටියක් කරන්න හිතුනේ සහ එම වැඩ කටයුතු ගැන අපි කතා කළොත්?

ඔව් මගේ සාහිත්‍ය නිර්මාණ මීට පෙරත් රූපවාහිනි නිර්මාණ බවට පත්වෙලා තිබෙනවා.

“සෙංකොට්ටං” නවකතාව ආපු කාලයේම එය සිනමාවක් බවට පත්වීමට වැඩකටයුතු සැලසුනත් යම් යම් හේතු මත එය ප්‍රමාද වී තිබෙනවා.

“මැයි මාර ප්‍රසංගය” ත් බොහෝ අධ්‍යක්ෂවරුන් චිත්‍රපටයක් බවට පත්කිරීමට ඉල්ලුවත් මම කල්පනා කරා එය මම ම අධ්‍යක්ෂණය කළ යුතුයි කියලා. සිනමාව සම්බන්ධයෙන් සහ රූපවාහිනි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජීවිත කාලය පුරා මට බොහෝ අත්දැකීම් තිබෙන නිසා මට හිතුණා මම ම ඒ දේ කරන්න ඕන කියලා. එහෙම සිටින විට පාඨකයෙක් වශයෙන් මගේ පොත කියවූ ඇමරිකාවේ වාසය කරන කුමාරි පණ්ඩිතරත්න මහත්මිය පැවසුවා “වැඩ කටයුතු පටන් ගන්න. මම මේ චිත්‍රපටයේ නිෂ්පාදන කාර්ය සිදු කරනවා.” කියලා. ඇගේ ඒ වචනයත් සමග මේ වන විට චිත්‍රපටයේ මූලික කටයුතු අපි ආරම්භ කරලා තිබෙනවා.

පොතක් ලියලා, මුද්‍රණය කරලා, ජනගත කරනවට වඩා සිනමා පටයක් නිර්මාණය කිරීම ප්‍රායෝගිකව අමාරු කාර්යයක්. විශාල පිරිවැයක් ඒ සඳහා වැය වෙනවා. එය තමයි පළවෙනිම අභියෝගය බවට පත්වෙන්නේ. ඇගේ ඒ නිෂ්පාදන කාර්ය නිසා මට ඒ පළවෙනි අභියෝගය මේ වනවිට ජයගැනීමට හැකිවී තිබෙනවා. ඒ නිසා මගේ ඉන්න අනිත් පිරිසත් සමග කතාබහ කරලා, සැලසුම් කරලා තීරණය කරා මෙය සිනමා පටයක් බවට පත්කරන්න.

මෙමගින් මම ප්‍රේමය පිළිබඳ ගෙන එන සංකල්පය එක තැනක ලඝු වූ එකක් නොවන බවට මට තදබල විශ්වාසයක් පවතිනවා. ඒ නිසා එම පණිවිඩය යම්කිසි විශ්වීය ස්වරූපයක් ගනු ඇතැයි මා තුළ විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා මම කල්පනා කරනවා මෙය සිනමාපටයක් ලෙස නිර්මාණය කරලා ලෝකයට මුදා හරින්න.

ඔබ සිතන පරිදි සාහිත්‍ය හා කලාවේ උන්නතියට නූතන පරපුරට ලැබිය යුතු සහයෝගය කවරාකාරද?

දැනට පවතින ගැටලුව නම් තමා විසින් විශාල පරිශ්‍රමයක් යොදමින් නිර්මාණකරුවන් සාහිත්‍ය කටයුතු කරගෙන යෑම. ප්‍රායෝගිකව සහ මූල්‍යමය කටයුතුවලින් විශාල අභියෝගයක් නිර්මාණකරුවන්ට පවතිනවා. දියුණුවට පත්වෙන රටක නම් නිර්මාණකරුවන් එලෙස මහත් පීඩාවකින් නිර්මාණකරණයේ යෙදීම අවශ්‍ය නැහැ කියලා මට සිතෙනවා. ඒ දේ එසේ නොවන්න නම් රටක් දියුණු තත්ත්වයට පත්විය යුතුයි. රටක් දියුණු වීම යනු සංකීර්ණ කාර්යයක්. භෞතික වශයෙන් මෙන්ම මානවයන්ට වඩාත් පහසු විදියේ ජීවන රටාවක් නිර්මාණය වූ පසු එම රට දියුණු රටක් ලෙස හඳුන්වන්න පුළුවන්.

එම හේතූන් නිසා මේ වන විට විශාල පරිශ්‍රමයක් දරමින් නිර්මාණකරුවන්ට නිර්මාණකරණයේ යෙදෙන්න සිදුවෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරියේදී අපේ රට දියුණු රටක් බවට පත් වුවහොත් නිර්මාණකරුවන්ට මීට වඩා පහසුවක් වේවි තමන්ගේ නිර්මාණ සිය ප්‍රජාවට සහ එතනින් එහාට සමස්ත ලෝකයට ගෙන යන්නට.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment