තිරසාර සංවර්ධන මිනුම් දඬු අනුව මිරිඟුවක් වූ රටේ සංවර්ධනය

122

රජයක් විසින් ගනු ලබන සංවර්ධන මූලෝපායන් රටේ සමස්ත ස්ථායිතාව සඳහා ඉමහත් බලපෑමක් ඇති කරවයි. නිසිලෙස සැකසූ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම තුළින් පාරසරික, සමාජයීය, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් රටකට ළඟා කරගත හැකිය. සංවර්ධනයේ මූලික හරය වන්නේ ඒ සඳහා කරනු ලබන ආයෝජනයට අනාගතයේ වැඩි අගයක් මුර්ත වශයෙන් ලබා දීමය. එය වත්කමක් වශයෙන් හෝ අගයක් ඇති සේවාවක් වශයෙන් විය හැකිය. විශේෂයෙන් ණය මත සංවර්ධනයක් කරන්නේ නම් ණය ගෙවූ පසුවත් ශුද්ධ අගයක් රටට ඉතුරු විය යුතුය. එනම් බැඳුනු වගකීමට වඩා වැඩි යමක් ලැබිය යුතුය. ජාතික ධනයේ හෝ සේවාවේ වර්ධන හරය මෙය වන අතර එය ඉටු නොවන්නේ නම් සංවර්ධන උපාය මාර්ගයක් තිරසාර වන්නේ ද නැත. මෙම ක්‍රියාවලියේ නියාමකයා මෙන්ම ප්‍රධාන ක්‍රියාකරු ලෙස රජයක් එම උපායන්ගේ ශක්‍යතාවන්, ප්‍රමුඛතාවන් හා ප්‍රතිඵල නොසලකා කටයුතු කරන්නේ නම් මෙම ඉලක්ක සපුරා ගත නොහැකි වන අතර ඒ මගින් රට අගාධයට තල්ලුවීම ද වැළැක්විය නොහැකිය.

රට බංකොලොත් කිරීම

ආයතනයක් සතු වත්කම් වලින් බාහිර පුද්ගලයන්ට හෝ බැංකුවලට ගෙවීමට ඇති ණය පියවීමට හැකියාවක් නොමැතිවීම එම ආයතනය බංකොලොත් වීමේ මූලික ලක්ෂණයකි. වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය නොකිරීම මෙයට හේතුව වේ. මෙය කිසියම් රටකට ද පොදුවූ සංසිද්ධියකි. වත්කම් හා වගකීම් සමාලෝචනයට ලක්වෙන තොරතුරු වලින් සමන්විත ජාතික ශේෂ පත්‍රයක් නොමැති කල අවම වශයෙන් එහි මූලධර්ම භාවිතයෙන් ලබා ගන්නා තොරතුරු මත හෝ තීරණයන් නොගන්නා රටක් අගාධයට තල්ලු වෙමින් බංකොලොත්භාවයට පත්වීමේ අවදානම අධිකය. නිදහසින් පසු සංවර්ධනය මුවාවෙන් අසීමිතව ණය ගනිමින් ශ්‍රී ලංකාව ගමන් ගත්තේ මෙම අවදානම සහිතවය. එහි උච්චතම අවස්ථාවට මුහුණ දෙමින් අද අපගේ රට බංකොලොත්භාවයට පත්ව ඇත.

බංකොලොත්භාවයක් ප්‍රකාශවීම දේශීය වශයෙන් සිදුවූ විට එහි ප්‍රතිඵල විඳ දරා ගැනීමට රටකට පහසු විය හැකිවුව ද එය ජාත්‍යන්තර වශයෙන් සිදුවීම ආර්ථික වශයෙන් හානිදායකය. ස්වයංපෝෂිත නොවන විදේශ වෙළඳපොළ මත යැපෙන රටකට මෙය ආර්ථික සුනාමියකි. ජාත්‍යන්තර වශයෙන් බංකොලොත්භාවයක් ප්‍රකාශ වන්නේ රටකට බාහිර ණය ගෙවීමට නොහැකි වූ විටය. මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදුවූ සීමිත රටවල් අතරට අප රට ද අද පත්ව තිබීම ඛේදජනකය. මෙයට වගකිව යුත්තෝ කවරහු ද?

වගකිව යුත්තෝ

නිදහසින් පසුව වියදමට නිසි අගයක් ලැබෙන සැලැස්මක් නොමැතිව විශේෂයෙන් මංමාවත් හා ඉදිකිරීම් වැනි යටිතල පහසුකම්වලට හා ප්‍රතිඵල අරමුණු කර නොගත් ප්‍රතිසංවිධාන හා ධාරිතා සංවර්ධනය වැනි ව්‍යාපෘති වලට ලබා ගත් බොහෝ විදේශ ණය, සැලසුම් සහගත තිරසාර සංවර්ධනයක් සඳහා යොදා ගෙන ඇති බවක් පැවසිය නොහැකිය. විදේශ ණය ගෙවීම සාක්ෂාත් කිරීම අරමුණු කොටගෙන ශඛ්‍යතා අධ්‍යයනයන් නොකොට අවිචාරවත් ලෙස වියදම මත තත්වර්ෂයේ සංවර්ධනයට වන දායකත්වය පමණක් සලකා කටයුතු කිරීම තුළ සිදුව ඇති හානියේ ප්‍රතිවිපාක භුක්ති විඳීමට අප රටේ ජනතාවට අද සිදුව ඇත. රටේ සමහර පාලකයන් තමන් කළ සංවර්ධනය ගැන උදම් ඇනුවේ තම කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉනි පෙත්තටම නඟා සිටවූ බවටය. එයින් රට වැසියා රැවටීමකට ලක් වූ අතර මවා පෑ සංවර්ධනය පුස්සක් බව අද ඔවුන් අවබෝධ කරගෙන සිටී.

මෙයට දශකයකට පමණ පෙර විදේශ ණය මත ගොඩනැගූ සමහර ව්‍යාපෘති වලින් මේ වන විට කිසිදු ආදායමක් නොලැබුව ද ඒවා නඩත්තුවට විශාල මුදලක් වැය කරමින් සිටී. ප්‍රමුඛතාව හෝ ආර්ථික ඵලදායිතාව නොසලකා ගොඩනැගූ මංමාවත් නිසා ගමනාගමනයට පහසුකම් ඇතිවුවද ආර්ථිකයට ඒවායින් ලැබූ ශුද්ධ ඵලදාව ඉතා සීමිතය. ඒකාබද්ධ ආර්ථික සැලසුම් ඒ සඳහා නොමැතිවීම එයට හේතුවයි. සංවර්ධන මිනුම් දඬු අනුව කිසියම් කාලයකට පසුව ලබන ආදායමේ වර්තමාන අගයක් නොමැති අතර එයින් මෙපිට ඒවායින් ශුද්ධ ආදායමක් ලැබේනම් පමණක් එයින් වාසියක් ලැබේ. කිසිදු ආදායමක් නොලැබුවත් අධික නඩත්තු වියදමක් දරන ව්‍යාපෘති සඳහා ණය සේවාකරණය සඳහා ගෙවීමට ඇති විදේශ විනිමය ගැන බැලූවිට එම ව්‍යාපෘතිවල ආර්ථිකමය අගය ශුන්‍ය බව පාලකයන් තවම සිතන්නේ නැත. ඔවුන් පවසන කාලයේ ආර්ථිකයට දායාද කළ ජාතික නිෂ්පාදනයේ අගය ධනාත්මක නොව ශුන්‍ය ද පසුකොට ඍණාත්මක වී ඇති බව සිතිය යුතුය. ව්‍යාපෘති බිහිකළ කාලයේ අදූරදර්ශීව ගත් තීරණ නිසා අද රට බංකොලොත්භාවයට පත්වී ඇති බව ඔවුන් පිළිගත යුතුය.

විදේශ ණය ප්‍රත්‍යුත්පාදන කාර්යයන්හි නොයෙදුවූ අයත් ඒ සඳහා තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු නිසි ලෙස ලබා නොදුන් අයත් ජාතික නිෂ්පාදිතයේ වර්ධනය තත්වාකාරයෙන් පෙන්වාදීමට කටයුතු නොකළ අය මෙන්ම අධික වියදම් දැරූ ව්‍යාපෘති සමස්ත සැලසුම් තුළ ඒකාබද්ධ නොකළ අයත් මේ සඳහා ජනතාවට වගකිව යුතුය.

වැරදුනු තැන

සමස්ත සැලසුම්වලදී මූලික වශයෙන් පවත්නා වත්කම් හා වගකීම් සම්බන්ධව අවබෝධයක් තිබිය යුතුය. ඒ සඳහා ප්‍රමාණවත් තොරතුරු ලබා ගත හැකි පරිදි සැකසූ මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම හා වගකීම් සහිත ජාතික ශේෂ පත්‍රයක් සැකසීමේ ක්‍රියාවලියක් අප රට තුළ නැත. මෙවැන්නක් සැකසීම දුෂ්කර වුව ද එය ජය ගැනීමට තාක්ෂණික ලෝකය දොරටු විවර කොට ඇති අතර අප එහි ඵල නෙළා ගත යුතුය.

මෙම සංකල්ප පිළිගෙන අවම වශයෙන් හෝ කාලීනව බාහිර ලෝකයට පවතින වගකීම් හා ඒ සඳහා පැවතිය යුතු වත්කම් පිළිබඳ හැඟීමක් පාලකයන්ට ඇති වන ලෙස තොරතුරු සම්පාදනයක් රට තුළ ස්ථාපිත විය යුතුය. මේවා මූල්‍ය කළමනාකරණ පද්ධතීන් තුළ කළ යුතු වෙනස්කම් වේ. ණය කළමනාකරණය යනු ණයට ගත් මුදල් යෙදවීම් කළමනාකරණය පමණක් නොව ඒ තුළින් බිහිවන වත්කම් මගින් එම ණය පියවීම ගැන ද නිසි ලෙස සොයා බලා කටයුතු කිරීමයි. කිසියම් ක්‍රියාවකින් වගකීමක් ජනිතවේ නම් ඒ හා සමාන වත්කමක් හෝ අගය ඇති සේවාවක් වර්තමානයේ හෝ අනාගතයේදී රටට ලැබෙන බවට තහවුරුවක් තිබිය යුතුය. ණය යෙදවීමෙන් කරන කාර්ය තුළින් බිහිවන වත්කමින් ණය ගෙවීම සඳහා ආදායමක් ජනිත කිරීමේ සැලැස්මක් රට තුළ සමගාමීව සැලසුම් කිරීම ඉතා වැදගත් වේ.

අවදානම සමනය කිරීම

සම්ප්‍රදායික රාජ්‍ය මූල්‍ය සංස්ථාපනය තුළ ණය වගකීම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සැලකිල්ලට භාජන කරයි. ණය ගෙවීම සඳහා කාලීනව අවශ්‍ය වන ද්‍රවශීලතා වත්කම් දළ දේශීය නිෂ්පාදිතයේ පිළිබිඹු නොකරයි. එය ණය සහිත වත්කම් මත තිරසාර සංවර්ධන මිම්මක් නොවේ. විදේශ ණය සඳහා දේශීය මුදල් වගකීම, පාවෙන විදේශ විනිමය අනුපාත ක්‍රමය යටතේ දින දින ඉහළ යයි. ඒ හා සමානව ද්‍රවශීලතා වත්කම් දේශීය නිෂ්පාදිතය තුළ ඉහළ යන්නේ නැත. කිසියම් රජයක් ආපසු ගෙවිය යුතු ණය වගකීම හා සමානවන ආකාරයේ වත්කමක් වර්තමානයේ බිහිකරන බවට තහවුරු කරන ලෙස අනාගත ආදායම් ඍජුව මූල්‍ය වශයෙන් හෝ වක්‍රව ආර්ථික වශයෙන් ලැබෙන සැලසුමක් සමගාමීව සැලසුම් නොකරන්නේ නම් වගකීම පිළිබඳව අනාගත අවදානම හට ගනී. උපකල්පන මත කරන ශක්‍යතා අධ්‍යන මේ සඳහා යථාර්ථයක් වන්නේ නැත. අවදානම සමනය කිරීමට නිසි ණය කළමනාකරණයක් තිබිය යුතු අතර ණය හා බැඳි සංස්ථාපිත ආදායම් හෝ සමකාලීන ඍජු හෝ වක්‍ර ප්‍රතිලාභ සැලසුම් ද ඒ සඳහා තිබිය යුතුය. නමුත් අප රට තුළ මෙතෙක් කර ඇත්තේ ණය ගැනීම කළමනාකරණය කිරීමට සැලසුම් සකස් කිරීම මිස ණය ගෙවීම කළමනාකරණය කිරීමට සැලසුම් සකස් කිරීම නොවේ. මේ දෙකම එකසේ වැදගත් බව අප අමතක කර ඇත.

නිසි තොරතුරු හා ඉලක්ක

කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද ණය මත ගොඩනැගූ වත්කම් හා එයින් ලැබෙන සත්‍ය ප්‍රතිලාභයන්ගේ මූල්‍ය හා ආර්ථික වටිනාකම්, නිසි විග්‍රහයක් තුළ මෙතෙක් සලකා බලා නැත. තීරණයන් සඳහා නිසි තොරතුරු නොමැතිව සැලසුම් සකස් කිරීමට සිදුව ඇත්තේ ඒ ගැන පාලකයන් සැලකිල්ලක් නොදැක්වීම නිසාය. වත්කම් වගකීම් හා මූල්‍ය ප්‍රවාහ හා එහි මුර්ත අගයන් හඳුනාගත හැකි වාර්තාකරණයක් හෝ ක්‍රමවේදයක් සමස්ත රාජ්‍ය අංශය තුළ මේ දක්වා බිහිකර නැත. ඒ අනුව විශේෂයෙන් යටිතල පහසුකම් ව්‍යාපෘති තුළින් බිහිකළ වත්කමේ අනාගත වගකීම් මුදාහැරීමේදී ඒ මගින් ලැබෙන ආදායමේ හෝ ප්‍රතිලාභවල වර්තමාන වටිනාකම් හඳුනා ගැනීමද සිදු වන්නේ නැත. ශඛ්‍යතා අධ්‍යයනයන්හිදී උපකල්පන මත කරන පුරෝකථන නොමග යවන සුළු වන අතර ණය ගෙවීමේදී අවාසි සහගත විනිමය අනුපාත මත හට ගන්නා අමතර වගකීම ගැනද ප්‍රමාණවත් සැලකිල්ලක් යොමු නොකරයි. මේ අනුව නිසි තොරතුරු හා ඉලක්කගත සැලසුම් නොමැතිව ගන්නා තීරණ නිසා රට අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්ව ඇත.

රාජ්‍ය ණය බොහෝ දුරට සමුච්චය වී ඇත්තේ මහා පරිමාණ යටිතල පහසුකම් සඳහා ලබාගත් විදේශ ණය මගිනි. විදේශ ණය සම්පාදකයන් ප්‍රතිපත්තියක් වශයෙන් ක්ෂණිකව ආදායම් ජනිත කරන ව්‍යාපෘති සඳහා කෙටි කාලීන ණය ලබා නොදෙයි. ඒවා දෙපාර්ශ්වයම එකඟ වන සහනදායි ආපසු ගෙවීමේ කාලයක්ද සහිතව ලබා දෙන දීර්ඝ කාලීන ණය වන අතර එහි කාල ක්ෂිතිජය ඈතට දිව යයි. මෙය වාසි සහගත බවට හුවා දැක්වුවද ණය ගෙවීම් මුදලට සාපේක්ෂව දේශීය මුදල් වටිනාකම් පහළ යෑමේ ප්‍රවනතාව හා රට මුහුණදී ඇති තත්ත්වය මත, ව්‍යාපෘතිය විදේශ විනිමය උපයන වත්කමක් නොවන්නේ නම්, එය අනාගතයට ඉතා අනතුරුදායකය. අනාගතය කැපකොට ව්‍යාපෘතියේ වර්තමාන පිරිවැය මත දියුණුව මැන බැලීම තිරසාර සංවර්ධනයක මිනුම් දණ්ඩක් නොවේ. රට අගාධයට යන බව පාලකයන්ට නොවැටහුනේ මේවා ගැන සැලකිල්ලක් නොදැක්වූ නිසාය.

තිරසාර සංවර්ධන ව්‍යාපෘති

කිසියම් ව්‍යාපෘතියක් විදේශ ණය මත රඳා පවතින්නේ නම් හා එම ව්‍යාපෘතියෙන් බිහිකරන වත්කම් මගින් එම ණය ආපසු ගෙවීම සඳහා ද්‍රවශීලි වත්කම් බිහිකරන නිශ්චිත සැලැස්මක් ඒ ආශ්‍රිතව පවතින්නේ නම් පමණක් එය තිරසාර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සැලකිව හැකිය. එම සැලැස්ම විදේශ විනිමය උපයන කාර්යයක් නොවන්නේ නම් ආපසු ගෙවිය යුතු විනිමය ප්‍රමාණයට සරිලන දේශීය මුදල් එහි නඩත්තු වියදමට අමතරව ඉපයිය යුතුය. ආරථික පසු බෑමකදී දේශීය මුදල් අවප්‍රමාණ වීම ද සාමාන්‍ය දෙයක් වන නිසා විදේශ ණය මත කරගෙන යන දීර්ඝ කාලීන ව්‍යාපෘතිවල අනාගත අවදානම මෙයින් පැහැදිලි වේ.

ඒ අනුව තිරසාර සංවර්ධනය සඳහා ණය ගැනීම වඩාත් යෝග්‍ය වන්නේ නිශ්චිත සැලසුම් සහිත ඉපැයීම ප්‍රතිමූල්‍යණය කළ හැකි කෙටි කාලීන ව්‍යාපෘති සඳහා හා විදේශ විනිමය ඉපැයිය හැකි දීර්ඝ කාලීන ව්‍යාපෘති සඳහාය.

රාජ්‍ය මූල්‍ය සංස්ථාපන ගතිකයන් වන ණය හා දළ දේශීය නිෂ්පාදිත අනුපාතය ගැන පමණක් සලකා බලා හෝ ණය මත ව්‍යාපෘතියක් පූරණය කළ පිරිවැය ගැන සලකා බලා සංවර්ධනය මැනීම යථාර්ථවත් නොවේ. නිෂ්පාදිතය මැනීම අනාගත මූල්‍ය හා ප්‍රතිලාභ ඉපැයීම් වල වර්තමාන අගය මත ද ණය පිරිවැය තත් කාලයේ —ආගනිත විනිමය අනුපාත මත ගෙවීමට සිදුවන මුදල් ගැන ද සැලකිල්ල යොමු කරමින් විශ්ලේෂණය විය යුතුය. සංවර්ධනය සඳහා මෙම ව්‍යාපෘතිවල දායකත්වය මෙම දත්ත මත පදනම් වන්නේ නම් වාර්තා කරන සංවර්ධන වේගය මත ජනතාව නොමඟ නොයන අතර පාලකයන්ට අනාගත අවදානම ද වැටහී යනු ඇත.

කෙසේවෙතත්, රාජ්‍ය මූල්‍ය සංස්ථාපානයේ දී විදේශ ණය මත සැලසුම් කරන සියලුම ව්‍යාපෘති නතර විය යුතු බවක් මෙයින් අදහස් නොවේ. ශඛ්‍යතාව ඇති ආදායම ප්‍රතිනිර්මාණය කළ හැකි හා කෙටිකාලීන ආදායම් චක්‍රයක් ඇති දේශීය ණය මත පදනම් වූ ව්‍යාපෘති ද , ව්‍යාපෘතිය අවසන් කළ වහාම විදේශ විනිමය ඉපැයිය හැකි විදේශ ණය මත පදනම් වන ව්‍යාපෘති ද අවදානම් රහිත ප්‍රමුඛත්වය දිය හැකි ඒවා වශයෙන් සැලකිය හැකිය.

සම්පතක් වන මෙරටේ ජනතාව තුළ ඇති දැනුම, කුසලතා හා සේවාවන් විකුණා කෙටි කාලීනව විනිමය ඉපයිය හැකි අවස්ථා බොහෝය. විදේශිකයන්ට වෛද්‍ය, ඉංජිනේරු ආදී වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන ආයතන පුළුල් කොට දේශීය මෙන්ම විදේශිකයන්ට ඉගැනුමට අවස්ථා ලබාදීම මගින් විනිමය ඉපැයීමක් මෙන්ම ඉතිරියක් ද ඇති කර ගත හැකිය. ඉගෙනුම ලබන්නන් පවුල් පිටින් මෙරටේ නැවතී එය ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දීමෙන් මෙය තවදුරටත් වර්ධනය කර ගත හැකිය.

රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට මෙවැනි කෙටි කාලීන ව්‍යාපෘති වහාම සැලසුම් කළ යුතුය. රජය මෙවැනි සැලසුම් ගැන සිතා ඇති බවක් තවමත් නොපෙනේ.

දීර්ඝ කාලීන ව්‍යාපෘති සලකා බැලිය යුත්තේ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුව ආදායම් හෝ ආර්ථික ප්‍රතිලාභ නිශ්චිතව ලබාදෙන සැලැස්මක් ඇතිනම් හා විදේශ ණය හා පොලී ගෙවීමේදී දැරීමට සිදුවන විදේශ විනිමය ද සැලකිල්ලට ගෙන ගණන් බැලූ අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය අනුව ශක්‍යතාවයක් ඇති නම් පමණි. මේ අනුව වරාය සංවර්ධනය, ගුවන්තොටුපළ සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය වැනි ව්‍යාපෘති වලදී අප ගත යුත්තේ කුමන තීරණ ද යන්න සාමාන්‍ය ජනතාවට වූව ද වටහා ගැනීම අපහසු නොවනු ඇත.

ආර්ථික සංවර්ධනයේ දී වැරදුන තැන හැඳිනගෙන වැටුණු වළෙන් ගොඩ ඒම සඳහා කෙටි, මධ්‍ය හා දිගු කාලීනව කළ යුතු කාර්යයන් පිළිබඳ ඵලදායි කතිකාවත් ගැන පාලකයන් තවමත් නිහඬය. මෙය ජනතාව දනිති. මෙවන් පාලකයන්ගෙන් වැඩක් නැති බව ඔවුන් පවසන්නේ මේ නිසාය.

වී. මු. ආනන්ද අමරවංශ
මූල්‍ය හා ආර්ථික විශ්ලේෂක

advertistmentadvertistment
advertistmentadvertistment