තිරිංග නොගසා පල්ලම් බැස්ස ශ්‍රී ලංකා ආර්ථිකය

416

දශක කීපයක් මුළුල්ලේ අපගේ පාලකයන් රට පාලනය කළේ මූල්‍ය හා ආර්ථික සමතුලිතතාව ගැන කිසිදු තැකීමක් නොකරය. තම තමන්ගේ පැවැත්ම හා බලය ආරක්‍ෂා කර ගැනීම සඳහා වර්තමානය වෙනුවෙන් රටේ අනාගතය බිල්ලට දීම හා ජනතාව රැවට්ටීම මෑත යුගයේ පාලකයන්ගේ ක්‍රියාකලාපය විය. ඒ සෑම විටම රටේ දළ දේශීය නිෂ්පාදිතයේ අගය වැඩි ප්‍රතිශතයකින් ඉහළ නැංවූ බවට ඔවුන් උදම් ඇනීය. අදත් එය එසේම පවසයි. එහෙත් සිදුවූයේ වියදම් මත කාලීන සංවර්ධනය මැනීම මිස එයින් ලැබෙන ශුද්ධ නිෂ්පාදනයේ වර්තමාන අගය මත නොවේ. විශාල ණය කන්දරාවක් ලබාගෙන අනාගත ආර්ථික ප්‍රතිලාභයන් පිළිබඳව නිසි ලෙස සැකසූ ක්‍රියාත්මක සැලැස්මක් නොමැතිව ගොඩනැගූ රටට දරාගත නොහැකි හා පිරිවැය ප්‍රතිලාභයන්ට හා ණය සේවාකරණයට ඔරොත්තු නොදෙන යටිතල පහසුකම් නිසා පිම්බීමකට ලක්කර තිබූ ආර්ථිකය පුස්සක් බව ජනතාවට හෙළිවූයේ මෑතකදී ය. තමන් රවටා බලය ඩැහැගෙන ඇති බව දැන් ඔවුන් වටහාගෙන ඇති අතර රැවටූ ක්‍රමය සහ මුලින්ම ප්‍රතික්‍ෂේප කොට නව මාවතකට රට ගෙන යා යුතු බව ඔවුන් පවසයි. යමෙකු පාඩම් ඉගෙන ගන්නේ අත්දැකීම් තුළින්. මෙලෙස වටහාගෙන ඇති දෙය දැන්වත් ඔවුන්ට ලබාදීම සියලු පාලකයන්ගේ යුතුකමයි. එහෙත් මේ වන විට ආර්ථිකය ප්‍රපාතය කරා ළඟා වී හමාරය. එයින් ගොඩඒම සඳහා ක්‍ෂණික විසඳුම් සහිත කෙටිකාලීන යාන්ත්‍රණයක් සමස්තයට පිටින් අපට අවශ්‍යය. එසේ වන්නේ එය ආර්ථික හා මූල්‍ය අර්බුදයකට එහා ගිය දේශපාලන අර්බුදයක් බවට මේ වන විට පරිවර්තනය වී තිබීමය. මෙය දැන්වත් පාලකයන් නිසි ලෙස වටහා ගන්නේ නම් එය රටේ අනාගතයට වෙස්වලා පැමිණි ආශිර්වාදයක් බවට පරිවර්තනය කරගත හැකිය.

 ● විනිමය අර්බුදය

 ආර්ථික වශයෙන් විදේශ විනිමය අර්බුදය මත මූල්‍ය අස්ථාවරත්වය ද සහිතව රටේ ජන ජීවිතය අන්ත අසරණ තත්ත්වයකට පත් වී තිබේ. මෙම තත්ත්වයට රට මෙහෙය වූ පාලකයන්ට මෙහි වගකීමෙන් කිසිසේත් මිදිය නොහැකිය. ඔවුන් කළ යුතු වන්නේ දැන්වත් තම වරද පිළිගෙන වහාම එයට පිළියම් යෙදීමේ මාවතකට අවතීර්ණ වීමය. ප්‍රථමයෙන් ම කළ යුතු වන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි පාලනයක් ස්ථාපිත කිරීමය. පවතින අර්බුදය හමුවේ පාලකයන් අනිවාර්යයෙන් ම වෙනස් විය යුතුය. එසේම කෙටිකාලීනව දේශීය වශයෙන් ම මෙයට විසඳුම් ලබාගැනීම අසීරු නිසා බාහිර පාර්ශ්වයන්ගේ උපකාරය ලබා ගැනීමට ද අපට සිදු වේ. නමුත් එය කළ යුතු වන්නේ ප්‍රපාතයෙන් ක්‍ෂණිකව ගොඩ ඒමේ තරමට මිස ආර්ථික දියුණුව ඔවුන් මතම රඳා පවත්වා ගැනීමට නොවේ.

 දින වකවානු තීරණය කිරීම අපහසු වුවද මෙම පොළොවේ යථාර්ථයක් වන නිසි ආර්ථික වැඩපිළිවෙළක් හා විදේශ විනිමය අර්බුදයට කෙටි කාලීන විසඳුමක් සහිත සැලැස්මක් ඒ සඳහා අත්‍යවශ්‍යය. ණය මත පදනම් වූ හුදු දේශපාලන මෙහෙයුම් හා ආර්ථික කළමනාකරණය වෙනස් විය යුතු වුවද ඒ මත අතීතයෙන් උරුම වූ වගකීම පැහැර හැරීමට අපට නොහැකිය. විදේශ ණය ගෙවීම සඳහා විරාමයක් අවශ්‍ය වන්නේ එබැවිනි. අතිශයෙන් සීමිත වූ විදේශ විනිමය මෙම අවස්ථාවේ ණය සේවාකරණය සඳහා යෙදවීම උචිත වන්නේ නැත. අත්‍යවශ්‍ය සේවාවන් ජනතාවට සැපයීමට ප්‍රමුඛත්වය දීම සිදුවිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතනවල සහාය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ එබැවිනි. එහෙත් ජනතාව මෙය ද පිළිගන්නේ එසේ රඳවා ගන්නා විදේශ විනිමය ජන ජීවිතය පවත්වා ගැනීමට හා අතීතයේ කළ වැරදි යළි නොවන ලෙස මධ්‍යකාලීන වශයෙන් සුදුසු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් පමණි. කොරෝනා වසංගතය නිසා බිඳ වැටෙන ආර්ථිකය කෙටි, මධ්‍ය හා දිගුකාලීන වශයෙන් ගොඩගැනීම සඳහා සිදුකළ යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව අප දක්වා සිටි කරුණු මෙහිදී අදාළ වේ.

 ● අන්තර්වාර පාලනය

 ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් 60% කට වඩා වගකියන්නේ රාජ්‍ය අංශයයි. ඒ තුළ නිසි ආර්ථික හා මූල්‍ය කළමනාකරණය සිදුනොවන්නේ නම් මෙම ප්‍රපාතයෙන් ගොඩඒමට හා තිරසාර ලෙස සංවර්ධනයකට රට මෙහෙයවීමට කිසිවකුටත් නොහැකිය. කුමන පාලකයකු පත් වුවද මෙම යථාර්ථය තේරුම් ගත යුතුය. ඒ සඳහා මෙතෙක් අප සිර වී සිටින යල් පැනගිය හා ගතානුගතික ක්‍රමවේද, නීති රීති හා උපාය මාර්ගයන්ගෙන් අත්මිදීමට අපට සිදුවේ. ව්‍යවස්ථාමය ප්‍රතිසංවිධාන ද ඒ සඳහා අවශ්‍යය. රට අරාජිකත්වයෙන් මුදා ගෙන ප්‍රජාතන්ත්‍රවාදී නෛතික රාමුවක් හා විනයක් තුළ එය සිදුකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම ප්‍රථමයෙන් කළ යුතු කාර්යයක්ව පවතී. එසේ නොවී ගන්නා ක්‍රියාමාර්ගයන්ගේ පූර්වාදර්ශ රටේ ඉදිරි පැවැත්මට අහිතකර වේ. ඒ නිසා දැනට වහා කළ යුතු දෙය වන්නේ නීත්‍යනුකූලව පාර්ලිමේන්තුවට පත් වී සිටින සියලු දෙනා ජන හඬට එකඟව අවශ්‍ය නීති හා ව්‍යවස්ථා සම්පාදනය කිරීමයි. මෙම අවස්ථාවේ රටට ගැලපෙන වෙනසකට හා යාන්ත්‍රණයකට අත්‍යවශ්‍ය නීති සම්පාදනය කිරීම වැඩිකල් නොයවා ඉටුකර දීමේ වගකීම වර්තමාන පාර්ලිමේන්තුව සතු වේ. බිඳී ඇති ජනතා විශ්වාසය රැක ගත හැකි සුදුසු කණ්ඩායමකට අන්තර්වාර පාලනයක් භාරදීම සඳහා අවශ්‍ය නීතියක් 2/3 බලයෙන් ව්‍යවස්ථාගත කිරීම අපහසු කාරණයක් නොවේ. සියල්ල ධනාත්මකව රට ගැන සිතා කටයුතු කරන්නේ නම් මුළු පාර්ලිමේන්තුවම එකට රැස් වී මෙම කාර්යය කළ හැකිය. එසේ නොහැකි නම් සියලු පාර්ශ්වයන් එකතු වී තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන කැප කිරීමෙන් අන්ර්වාර පාලනයට සුදුසු කණ්ඩායමකට ඉඩ සලසා දීම කළ හැකිය. මෙහිදී මෙම පූර්වාදර්ශය ලබාදීමේ වගකීම ප්‍රථමයෙන් ආණ්ඩු පක්‍ෂය විසින් ඉටු කිරීම ජනතාව බලාපොරොත්තු වනු ඇත. ආගමික නායකයන් ඇතුළු සමස්ත ජනතාව ඉල්ලා සිටින මෙම වෙනස ඉටුකිරීමේ අත්හැරිය නොහැකි වගකීමක් නීත්‍යනුකූලව ජනතා ඡන්දයෙන් පත් වූ රජයකට පැවතිය යුතුය. ඒ සඳහා එකමුතු වී සිටින ජනතාව බලපෑම් කරනු ඇත. එය ජනතාවගේ පරමාධිපත්‍යයි.

 දෙවනුව ඔවුන්ගෙන් සැදුම්ලත් අන්තර්වාර කැබිනෙට්ටුව තුළ දුර දක්නා නමුත් කෙටිකාලීන ප්‍රතිඵල ගෙන දෙන ආර්ථික හා මූල්‍ය සැලැස්මක් සහිත අය – වැයක් ඉදිරිපත් කළ හැකි අතර පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය මේ සඳහා ලබාදීමේ වගකීම පක්‍ෂ නායකයන් විසින් දැරිය යුතුය. වසරක කාලයක් හෝ අවශ්‍ය නම් එයට වැඩි කාලයක් තුළ රට යථා තත්ත්වයට පත්වීමෙන් පසුව සුදුස්සන් තෝරා ගැනීමේ සුදුසු ඡන්ද ක්‍රමයක් පැවැත්විය හැකිය. එතෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද සීමා කිරීම් ආදී සදාචාරාත්මක යෝජනාවන්ට එම නියෝජිතයන්ට එකඟ වීමට සිදුවන අතර රාජ්‍ය යාන්ත්‍රණය උපරිම කාර්යක්‍ෂමතාවයෙන් ක්‍රියාත්මක වීම ද රටවැසියන් අපේක්‍ෂා කරයි. එසේම පාර්ලිමේන්තුවට හා කැබිනෙට්ටුවට එනම් අන්තර්වාර පාලක මණ්ඩලයට උපරිම බලය පැවරෙන පරිදි විශ්වාසය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාගේ බලතල අඩුවන ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය සුදුසු වෙනස්කම් සහිතව නැවත බලාත්මක කිරීමට හැකියාව ඇත.

 මෙම වෙනස්කම් පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය රට ගැන සැලකිල්ල යොමුකරන ජනතා පරමාධිපත්‍ය තුළ අන්‍යොන්‍ය වශයෙන් පවතින සදාචාරාත්මක ක්‍රියාවන් ලෙස සැලකිව යුතු වේ. මෙය සාර්ථක වන්නේ නම් එය මෙවන් අවස්ථාවක අනුගමනය කළ හැකි ලොව පිළිගත් පරමාදර්ශී මොඩලයක් බිහිකිරීමේ කීර්තිය ලක්මවට ලැබෙනු ඇත.

 ● ආර්ථික වැඩපිළිවෙළ

 ආර්ථික හා මූල්‍ය කළමනාකරණය වැඩපිළිවෙළ තුළ පැවතිය යුත්තේ ගතානුගතික සංකල්පයන්ගෙන් බැහැර වූ වෘත්තීය සැලසුම් හා කළමනාකාරිත්වයන්ගෙන් යුක්ත පුළුල් පරාසයක් තුළ ප්‍රමුඛතා පදනමක් මත සකස් කරන ලද රාජ්‍ය මූල්‍ය සංස්ථාපනයකි. ජනතාවගේ සුභ සිද්ධිය සඳහා අත්‍යවශ්‍ය වියදම්, ගෙවීම් හැකියාවන් මත පදනම් වූ බදු ආදායම් හා සමතුලිත වූ අත්‍යවශ්‍ය විදේශ විනිමය සම්පාදනය මෙම කෙටිකාලීන වැඩපිළිවෙළ තුළ පිළිබිඹු විය යුතුය. නිසි ලෙස හෙළිදරව් වන අක්‍රමවත් ලෙස හා අනිත්‍යානුකූලව උපයන ලද ධනය ආපසු ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරදීමේ වගකීම ජනතාව සෑහීමට පත්වන ලෙස පාර්ලිමේන්තුව භාරගත යුතුය. ඒ මගින් අයකර ගන්නා මුදල් මේ සැලැස්මේ අන්තර්ගත කළ හැකිය. කෙටිකාලීන ආදායම් උත්පාදනය නොකරන ආයෝජන ඇතුළත් නොකිරීම, කෙටි කාලීනව විදේශ විනිමය උපයන අවස්ථා දිරිගැන්වීම හා විදේශ විනිමය පිටතට ඇදී යන නමුත් මෙරටේ ඇතිකළ හැකි සේවා හා නිෂ්පාදනය හැකිතාක් දිරිගැන්වීම හා ඒ සඳහා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පළාත් හා ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය පළාත් පාලන ආයතනවල සහභාගිත්වය ලබාගැනීම හා ඒ සඳහා මූල්‍ය සම්පාදනයේ වගකීම එම ආයතනවලට පැවරීම මේ සැලසුම්වලට අන්තර්ගත කළ හැකිය.

 ● කෙටිකාලීන සැලසුම්

 දැනට රටේ පවතින සම්පත් හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කෙටිකාලීන සැලසුම් සකස් කළ හැකිය. උදාහරණ වශයෙන් අධ්‍යාපනය හා සේවා සම්පාදනය සඳහා මෙරටේ සම්පත්වල අතිරික්තයක් ඇත. ඒවායින් ප්‍රයෝජන නොගෙන විදේශයන්ට විනිමය ප්‍රේෂණය කරන අවස්ථා සඳහා විකල්ප යෝජනා සැලසුම් විය යුතුය. වෛi විiාල ඇතුළු ඉල්ලුමක් ඇති අධ්‍යාපන සේවා ආයතන බිහි කිරීමෙන් විනිමය ඉතිරි කර ගැනීම මෙන්ම විනිමය උත්පාදනය ද ඇති කළ හැකිය. මෙවැනි උපාය මාර්ග ඔස්සේ විදේශ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම ද දිරිමත් කළ හැකිය. විදේශ ශිෂ්‍යයන්ට සිය පවුල් පිටින් මෙරටේ රැඳී අධ්‍යාපනය ලැබීමට අවස්ථාව දීමෙන් විශාල විදේශ විනිමයක් අපට උපයා ගත හැකිය. එසේම විදේශ රටවල සංචිතව ඇති මුදල් නිත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමෝපායන් දිරිමත් කළ හැකිය. මෙරටේදී ගෙවිය යුතු බදු මුදල් ඩොලර් වලින් ගෙවීමේ පදනම මත වාහන ගෙන්වීමට අවසර දීම මෙවැනි උපක්‍රමයක් වේ.

 කෘෂි නිෂ්පාදන හා පරිභෝජන ආදේශකයන් දිරිගන්වා ඒ සඳහා පිටතට ඇදී යන විනිමය ආරක්‍ෂා කර ගැනීමේ කෙටිකාලීන වැඩපිළිවෙළක් ද ඇති කළ හැකිය. ඒ සමඟම රට තුළ ඵලදායී ලෙස කෘෂි ද්‍රව්‍ය බෙදාහැරීමේ හා පරිභෝජනය කිරීමේ වැඩසටහන් සක්‍රිය කළ යුතුය. මේ සඳහා පළාත් පරිපාලනය හා පළාත් පාලන ආයතන හා සමුපකාර වැනි ස්වෙච්ඡා ආයතනවල දායකත්වය ලබා ගත හැකිය. තිරසාර සංවර්ධනය සඳහා සියලුදෙනා එකමුතුව වැඩ කිරීමේ සංකල්පය රෙගුලාසිගත කිරීමෙන් රාජ්‍ය සේවකයන් ද ඒ සඳහා සහභාගි කර ගත යුතුය. මේ සඳහා ස්ථාපිත කළ හැකි පළාත් තොරතුරු මධ්‍යස්ථාන පරිපාලනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකිය. ඒ මගින් නිසිකලට වගා කිරීම, අවශ්‍ය ප්‍රමාණයට අස්වනු නෙලීම හා බෙදාහැරීම සඳහා ගොවි ජනතාව දැනුවත් කිරීම මෙන්ම ඒ සමඟම ඇති කළ හැකි සැපයුම් හා ප්‍රවාහන ජාලා සම්බන්ධීකරණය ඉටුකර දීම ද කළ හැකිය. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න මේ මගින් මඟහැරෙන අතර, නිකරුනේ විනාශ වන හා අපතේ යන කෘෂි භෝග පරිභෝජනයට යොමු කිරීම මගින් ආහාර හිඟතාවයද මගහරවා ගත හැකිය.

 ● අය – වැය

 මෙතෙක් පාලකයන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග වූයේ අත්‍යවශ්‍ය වන හා නොවන සියලුම වියදම් මාර්ග ප්‍රමුඛතා පදනමකින් තොරව හඳුනාගෙන ඒවා සඳහා මුදල් ලබාගැනීමේ අවිනිශ්චිත මාර්ග අය – වැය ගත කොට හිඟය පියවා ගැනීමට ණය මාර්ග යෝජනා කිරීමයි. මෙම අදූරදර්ශී පිළිවෙත තවදුරටත් නොකළ යුතුය. අය අනුව වැය සකස් කිරීමේ පිළිවෙතට අප අවතීර්ණ විය යුතුය. අත්‍යවශ්‍ය වියදමට ප්‍රමුඛත්වය දීමත්, අනවශ්‍ය වියදම් කපා හැරීමත් හැකියාව ඇති ස්ථාන හා පුද්ගලයන් ඉලක්ක කොට බදු ක්‍රමය සංශෝධනය කිරීමත්, රාජ්‍ය මූල්‍ය උපක්‍රම විය යුතුය. වාර්ෂිකව අය කළ හැකි ධන බද්ධ යළි පැනවීම, ද්‍රවශීලිත අවශ්‍යතාවය කල් දැමිය හැකි හා සේවා නියුක්තිකයන්ගේ කැමැත්ත ඇතිව අනිවාර්ය ඉතිරිකිරීම්, අර්ථ සාධක අරමුදල් දායකත්ව යෝජනා ක්‍රම දිරිගැන්වීම් වැනි උපක්‍රම රාජ්‍ය සේවකයන් අතර ද ප්‍රචලිත කළ යුතුය. අනාගත ප්‍රතිලාභ වැඩි කිරීමෙන් මේ සඳහා දිරිගැන්වීම් කළ හැකිය. දියවර නිකුත් කිරීමට පෙර සිඳී ගිය තටාකයක් පිරවීමේ අභියෝගයට අන්තර්වාර පාලකයන්ට මුහුණදීමට සිදුවේ. මෙම දුෂ්කර අවස්ථාවේ හැකියාවන් ඇති ජනතාව කැපකිරීම් කිරීමට සූදානම්ව සිටිනු ඇත. ඒ සඳහා සත්‍ය තොරතුරු ලබාදීමත් විනිවිදභාවයෙන් යුතුව පාලකයන් ක්‍රියාකරන බවට ජනතා විශ්වාසය ගොඩනැගීමත් අත්‍යවශ්‍ය කරුණක් වේ.

 අභිමත වැඩපිළිවෙළ මත හිඟ සම්පත් වන විනිමය හා මුදල් වලින් උපරිම ප්‍රයෝජනය ජනතාවට ලබා දෙන බවට සෑහීමකට පත්වන්නේ නම් බදු ප්‍රමාණය ඉහළ දැමීම පිළිබඳව ජනතාව අකමැති නොවනු ඇත. දුෂ්කර අවස්ථාවේ මෙම ආදායම් මාර්ගය විචක්‍ෂණව හැසිරවීම පාලකයන්ගේ යුතුකමයි.

 ආනන්ද අමරවංශ
 මූල්‍ය හා ආර්ථික විශ්ලේෂක

advertistmentadvertistment
advertistmentadvertistment