තිරුක්කෝවිල් සිද්ධිය – (තුවක්කුව කියන කතාව)

1505

තිරුක්කෝවිල් පොලිසියේ ආබාධිත අවිවාහක සාජන්වරයකු විසින් පොලිස් පරිශ‍්‍රය තුළදී කරන ලද වෙඩි තැබීම අත්‍යන්තයෙන්ම ඛේදවාචකයකි. මේ පොලිස් සරයන්වරයා විසින් කරන ලද පාපොච්චාරණයෙහි සඳහන් වන්නේ සෙසු පොලිස් නිලධාරීන්ගේ සමච්චලයට සහ හිංසාකාරී වචන වලට තමා නිරන්තරයෙන් ගොදුරු වූ බවය. තිරුක්කෝවිල් පොලිසියේ සෙසු පොලිස් අප්පුහාමිලා සමග සංසන්දනය කරන විට වෙඩි තැබීම සිදුකළ සරයන්වරයා සුවිශේෂ පුද්ගලයෙකි. පළමුකොට ඔහු රණ විරුවෙකි. විශේෂ කාර්ය බළකායේ සෙබළකු ලෙස වර්ගවාදී යුද්ධයට පොදු ජනතාවගේ පැත්තෙන් සක‍්‍රීය දායකත්වයක් ඔහු දක්වා තිබේ. ඔහු ආබාධිත වී ඇත්තේ කොටියකු තබන ලද වෙඩිල්ලකිනි. එයින් පසු ඔහුට හරියාකාරව ඇවිද ගැනීමට නොහැකි විය. ඊළඟට සක‍්‍රීය සේවයෙන් ඉවත් වීමටත් පොලිසියේ සරල රාජකාරියකට අනුයුක්ත වීමටත් ඔහුට සිදුවිය. අවිවාහකයකු වූ ඔහුට විශාල බලාපොරොත්තු ද නොතිබෙන්නට ඇත. කෙනෙක් ආබාධිතයකු වූ කල්හි ජීවිතය පිළිබඳ අපේක්ෂා වලින් 50 % ක් අහිමි වෙයි. ඉන්පසු ඒ ආබාධිතයා මුහුණ දෙන සමාජ ප‍්‍රශ්න වලදී ඉතුරු 50 % න් තවත් 25 ක් වාෂ්ප වෙයි. ඒ අනුව ආබාධිතයාගේ ජීවිතයෙන් තුන් කාලක්ම ඔහුට අහිමි වෙලාය. ඉතුරු වූ 25 % න් ජීවන සංග‍්‍රාමය ජය ගැනීමට නම් අවට සමාජයෙන් ඔහුට 75 % ක සහයෝගයක් ලබාදිය යුතුය. එහෙත් දැනගන්නට ඇති පරිදි තිරුක්කෝවිල් පොලිසියේ කාකි ඇඳුම් අඳින මී හරක් රැුළ ඔහුගේ ආත්ම ධෛර්යය නැංවීම සඳහා කිසිදු යමක් කර නැත. සැකකාර සරයන්වරයාගේ පාපොච්චාරණයේ කියවෙන පරිදි පොලිසියේ ඇතැමුන් පිං පඩිකාරයා යනුවෙන් ඔහුට අපහාස කර තිබේ. ඔහු සක‍්‍රීය සේවයෙන් ඉවත්වීම සඳහා පගා දුන් බවද පෙර කී මී හරක් රැුළ උම්බෑ ගාමින් කියා ඇත. සාමාන්‍යයෙන් දියුණු රටවල සක‍්‍රීය සේවයේදී ආබාධිත බවට පත්වන සෙබළුන්ට මහත් ගෞරවයෙන් සලකනු ලැබේ. දියුණු රටවල් පැත්තකින් තැබුවද ඉන්දියාව පාකිස්තානය සහ නේපාලය යන රටවල ආබාධිත සෙබළු සිවිල් සමාජය තුළ ඉතා වැදගත් මිනිසුන් ලෙස පිළිගැනීමකට ලක්වෙති. අවුරුදු 2500 ක සංස්කෘතියක් සහ ඉතිහාසයක් ද ලෝකයේ ඇති ඉහළම සාක්ෂරතාවකින් යුත් රටවලින් එකක් වූද ශ‍්‍රී ලංකාවේ තත්ත්වය, එම රටවල් සමග සංසන්දනාත්මකව බැලීමේදී ඉතා පහළය. මෙයට අවුරුදු 20 ට පෙර යුද්ධයේ නපුරුම තැනක මේ රට පවතින විටදී යුද හමුදා රෝහලේ සිටි අත පය අහිමි වූ ආබාධිත සෙබළුන්ට ආහාර සපයන ලද්දේ අන්තිම නීච ලෙසය. පණුවන් ගැසූ වම්බොටු ද කුණු වූ හරක් මස් සහ මාළුද බාගෙට තම්බා ලාභ සහලින් පිසූ බත් සමග ඔවුන්ට බලහත්කාරයෙන් ගිල්ලවන ලදී. අත පය හතර පමණක් නොව වැඩි සිහියක් පවා නැති ඒ අසරණ ආබාධිත සෙබළු ඒ කෑම ගිල දමා වචනයක්වත් කතා නොකර ඇඳවල් මත වැතිර සිටියහ. එවකට යුද හමුදා රෝහලේ සිටි ඇතැම් චෞර නිලධාරීන් හොඳ එළවළු සහ මස් මාළු මිලට ගැනීම සඳහා රජයෙන් මුදල් ලබාගෙන එයින් සෑහෙන කොටසක් ගසා කා ඉතිරි මුදලින් පණුවන් ගැසූ ආහාර මිලට ගත් බව පසුව හෙළිවිය. එවකට පැවති ආණ්ඩුව ඒ වංචනික නිලධාරීන්ට දැඩි දඬුවම් දුන් බව අප සඳහන් කරන්නේ ඉමහත් ගෞරවයෙනි.

 සේවා ස්ථානයේදී, පාසලේදී, විශ්වවිද්‍යාලයේදී හෝ තමන් ජීවත්වන නිවස තුළදී නිරන්තර විහිළුවට හෝ අපහාසයට ලක්වීම Bulling ලෙස හඳුන්වනු ලැබේ. මෙසේ වාචික හෝ ශාරීරිකව නිරන්තර හිංසනයට ලක් කිරීමට යොදන Bulling යන වචනය 1700 යේ පැවතී මධ්‍යකාලීන යුගයේදීත් භාවිත විය. මධ්‍යකාලීන යුගය යනු ඒ තරම් හොඳ කාලයක් නොවේ. මේ කියන කාලයේදී ලංකාවේ අපරාධකරුවන් උල තැබීම, ඇතකු ලවා පාගවා මැරවීම, දෙතිස් වධයට ලක් කිරීම, හිස ගසා දැමීම වැනි ප‍්‍රාථමික දඬුවම් වලට ලක්කරන ලදී. ඇතැම් යුරෝපීය රටවල නඩු වලින් වරදකරුවන් වන අය කියත් වලින් දෙකට ඉරන ලදී. එපමණ අඳුරු සහ ප‍්‍රාථමික වූ යුගයකදී පවා Bulling නමැති හිරිහැර කිරීමේ ක‍්‍රියාවලිය සමාජ ප‍්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබීම ඉතා වැදගත්ය. දිගින් දිගටම මේ ආකාරයෙන් හිරිහැරයට ලක්වන කෙනෙක් ආතතියෙන් පෙළීමටත් විෂාදයෙන් දුක් විඳීමටත් පටන් ගනී. එහිදී එක් අවස්ථාවක සමාජය සමග ඉමහත් වූ වෛරයක් ඇතිකර ගන්නා තැනට අදාළ පුද්ගලයා පත්වෙයි. මෙහි අවසන් ප‍්‍රතිඵලය වශයෙන් එක්කෝ ඔහු සෙස්සන් මරයි. නොඑසේ නම් මරාගෙන මැරෙයි. වෙනත් රටවලදී මෙබඳු වෙඩි තැබීම් සිදුකරන අය අවසන් වෙඩිල්ල තබා ගන්නේ තමාටය. එය ඉතා අවාසිදායක තත්ත්වයකි. අදාළ පුද්ගලයා සෙස්සන් මරන්නේ කුමකටද යන්න දැනගැනීමටත් සමාජය වෙතින් ලබන තාඩන පීඩන ගැන හෙළිකිරීමටත් එම විත්තිකරු ජීවතුන් අතර සිටිය යුතුමය. තිරුක්කෝවිල් සිද්ධියේ විත්තිකාර සරයන්වරයා ජීවතුන් අතර සිටීම ඉමහත් වාසියකි. තිරුක්කෝවිල් පොලිසිය තුළදී තමාට පිං පඩිකාරයා යැයි කී අය, පගා දී සක‍්‍රීය සේවයෙන් ඉවත් වූවා යැයි කී අය ගැන ස්වකීය අපරාධ උච්චාරණයේදී හෙළි කිරීමට මේ නිසා හැකියාව ලැබෙන්නේය. කෙනකු වාචිකව හෝ ශාරීරිකව හිංසනයට ලක් කිරීමට තවත් කෙනකු තුළ නිතර අදහසක් පහළ වන්නේ නම් ඒ තැනැත්තා මානසික රෝගියෙකි. හිට්ලර් වරකදී පැවසුවේ සනීප කරන්නට බැරි සියලූ පිස්සන් වෙඩි තබා මැරිය යුතු බවය. ඔවුන්ට බෙහෙත් දීම සඳහා මහජන මුදල් වැය කිරීම අපරාධයක් බව හිට්ලර් කීවේය. හිට්ලර් ගේ මතයට අප ගරු නොකරමු. හෙතෙම බූරුවෙකි. අප නිතර ප‍්‍රාර්ථනය කරන්නේ තුවක්කු, කඩු, කැති, මන්නා, කිනිසි යනාදිය මනුෂ්‍ය ඝාතනය සඳහා යොදා නොගන්නා සමාජයකි. රණවිරුවා විසින් කළ වෙඩි තැබීම කිසිසේත්ම අපි අනුමත නොකරමු. එහෙත් එම වෙඩි තැබීම සිදුකළ හිතක් පපුවක් නැති තුවක්කුවට කතා කරන්නට හැකිනම් ඒ තුවක්කුව කියන කතාව හිට්ලර් ගේ අදහසට පර්යාය වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එසේම මේ ආබාධිත තරුණයා මුලදීම විශ‍්‍රාම ගන්වන ලද්දේ නම් මිනිස් ජීවිත හතරක් බේරෙන බවද අප මතක තබා ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment