තිසරලා ජයග්‍රහණයකින් එල්පීඑල් අරඹති

140

එල්පීඑල් තෙවන අදියරයේ සමාරම්භක ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හිමි විය.

පසුගිය වර ශූරයයෝ වූ ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ එවර අනුශූරයන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයන් ලකුණු 24කින් පරාජය කරමින් මෙම ජයග්‍රහණය ලබා ගත්හ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (06 වැනිදා ) පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 137ක් ලබා ගත්හ.

ඊට පිළිතුරු ඉනිම ඇරඹූ ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 113ක් පමණි.

ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වූයේය. තම ඉනිමේ පළමු පන්දුවාර 10 නිමා වනවිට මෙන්ඩිස් පන්දු 30 කදී නොදැවී ලකුණු 37ක් ලබා ගෙන සිටියේය.

ඔහු සිය සහායක ආරම්භක පිතිකරු සමග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බන්ධතාවයක් පැවැත්වූයේය.

එහිදී නුවනිදු ප්‍රනාන්දු ලකුණු 15කට දැවී ගිය අතර අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණි අසාම් ඛාන් ලකුණු 5කට දැවී ගියේය.

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 30 බැගින් ලබා ගැනීමට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ ෂොයිබ් මලික් දෙදෙනා සමත් වූහ.

ලකුණු 79 කට කඩුලු 5ක් බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ ඔවුහු ලකුණු 39ක සම්බන්ධතාවයක් 6 වැනි කඩුල්ල සඳහා ගොඩ නැගූහ. ඉනිමේ වැඩිම ලකුණු සම්බන්ධතාවය වූ එම සම්බන්ධතාවය ෂොයිබ් මලික් දැවී යාමෙන් පසුව නිමා වුවද වෙල්ලාලගේ අවසන් පිතිකරුවන් සමග එක්ව ඉනිම ගොඩනඟා ගෙන ගියේය.

පන්දු යැවීමේදී ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 බැගින් බිඳ දැමීමට වහබ් රියාස්, ඉමාඩ් වසීම්, නුවන් තුෂාර, නුවන් ප්‍රදීප් සහ ඉෆ්තිකාර් අහමඩ් සමත් වූහ.

ලකුණු 97දී ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් දැවී යෑමෙන් පසුව ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටීම ආරම්භ වූ අතර කුසල්ට පසුව වැඩිම ලකුණු ලබා ගැනීමට ඉමාඩ් වසීම් සමත් වූයේය.

ඔහු ලකුණු 17 ක් ද ලබා ගත් නමුදු ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නෝ සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට ක්‍රීඩාගාරයට හරවා යැවූහ.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු කඬලු 3ක්, විජයකාන්ත් කඩුලු 2ක්, දුනිත් වෙල්ලාලගේ, ජේම්ස් ෆුලර් සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment