තිස්ස විහාරය සුරකිමු – බුදු පුදට එරෙහි කොටි නාටක

685

යාපනයේ තායියිඩි හි දෙමළ ඉඩම් හිමියන් කන්කසන්තුරේ තිස්ස විහාරය ඉවත් කර ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ආපසු ලබාදෙන ලෙස කරන ඉල්ලීම් උත්සන්න කර ඇති අතර ඉදිරියේදී ප්‍රබල විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බවත් පසුගිය සතියේ කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. ඉකුත් සිකුරාදා යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉඩම් හිමි සරුජන් සුකුමාරි පවසා තිබුණේ පන්සල ඉඩම නැවත ලබාගැනීමට සියලු පාර්ශවයන් එක්සත් විය යුතු බවයි. “තායියිඩි හි පන්සල පිහිටා ඇති ඉඩම අපගේ පාරම්පරික ඉඩමයි. ඔවුන් එහි නීති විරෝධී ලෙස පන්සලක් ඉදිකර ඇති අතර දැන් ඒ වටා තවත් ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ කරනවා මෙයට ඉඩ දිය නොහැක,” සුකුමාරි පැවසුවාය. “මේක අපේ පාරම්පරික ඉඩමක් බව ඔප්පු කරන සියලුම ලියකියවිලි අපි ළඟ තියෙනවා. නමුත් දැන් බෞද්ධ පාර්ශවය කියා සිටින්නේ දේවානම්පියතිස්ස රජුගේ ගේ කාලයේ සිට එය පන්සලක් බවයි. ඒක ඇත්ත නම්, එයාලගේ ලියකියවිලි පෙන්නන්න,” ඇය ඉල්ලා සිටියාය. පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයට ගිය විට පවා නිලධාරීන් මේ සම්බන්ධයෙන් නිහඬව සිටි බව සුකුමාරි සඳහන් කරයි. “ජනාධිපතිවරයා, දිස්ත්‍රික් ලේකම්වරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නීති විරෝධී කෝවිල ගැන කතා කළත් ජනපති නිහඬව සිටියා,” ඇය පවසා තිබිණි.

පෝය දිනයක් ළඟාවෙත්ම යාපනයේ කොටි හිතවාදීන්ට කන්කසන්තුරේ තිස්ස විහාරය මතක් වේ. පසුගිය පොහෝ දිනයේ මේ විහාරය ඉදිරිපිටට පැමිණ විරෝධතා දැක්වූ පිරිස අතර කුඩා දරුවන් ද විය. මේ කණ්ඩායම මහා පිරිසක් නොවීය. පසුගිය 09 වැනිදා තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් පවසා තිබුණේ ආණ්ඩුව මෙම විහාරය ඉවත් නොකළහොත් තමන් ඉඩම් අයිතිකරුවන් සමග එක්වී මේ ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. එය උග්‍ර ජාතිවාදී බෞද්ධ විරෝධී ප්‍රකාශයකි. නමුත් මේ ගැන බොහෝ දෙනා නිහඬය. බොදු බලසේනාවට නොයෙකුත් විවේචන එල්ල කළ පිරිස ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් තිස්ස විහාරය ඉදිරිපිට කළු කොඩි වන විට නිහඬව සිටී. ඇත්තෙන්ම කන්කසන්තුරේ තිස්ස විහාරයට එරෙහි වන අන්තවාදී තක්කඩි දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතු නොවේද? එස්. ශ්‍රීධරන්ගේ හා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ බෞද්ධ විරෝධී නාටක පිළිබඳව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් තබා තිබිණි. “මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස සිටියදී මෙම කාරණය බොහෝ දුරට සමථයකට පත් විය.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ ඉවසීම පරීක්ෂා නොකරන ලෙස මම ඔහුට සහ ගජන් පොන්නම්බලම්ට සහ ආධාරකරුවන්ට අනතුරු අඟවමි. ඇති ඇති!”

පුන් පොහෝ දිනය යනු බෞද්ධ ජනතාවට වැදගත් ආගමික දිනයකි. එකී දිනයන්හි ඔවුහු විහාරස්ථානවලට ගොස් තම ආගමික වතාවත්හි යෙදෙති. එහෙත් කිසියම් පිරිසක් බෞද්ධයන්ට තම විහාරස්ථානවලට පිවිසෙන්නට බාධා පැමිණවීම සාහසික ක්‍රියාවකි. එය නිරන්තරව කන්කසන්තුරේ තිස්ස විහාරය වඳින්න යන බෞද්ධයින්ට මුහුණ දීමට සිදුවේ. කොටි හිතවාදීන් මරහඬ තලන විට තිස්ස විහාරයට මල් පුදන්නට අපේ බෞද්ධයින්ට සිදුව ඇත. එය කනගාටුවකි. මේ ඊනියා විරෝධතා සම්බන්ධව තිස්ස විහාරාධිපති ගිංතොට නන්දාරාම හිමියන් පසුගිය දිනක මෙලෙස අදහස් දක්වා තිබිණි.“ඇත්තටම මේ වැඩවලට සාමාන්‍ය දෙමළ ජනතාව සම්බන්ධ නැහැ. ඔවුන් ඉතා යහපත්. මේක අවුස්සන්නේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිවරයා. මොකද ඔහුගේ ඡන්ද පදනම දැන් අඩුවෙලා. මේ විරෝධතා දක්වන අයත් පිටින් ගේන අය. ඇත්තටම ගමේ දෙමළ මිනිස්සුවත් ඔවුන්ව ගණන් ගන්නේ නැහැ. විහාරයට දානය පූජා කරන දෙමළ ජනතාව ඉන්නවා. සමහර අය බෝධි පූජාවලටත් සහභාගි වෙනවා. අපිත් එම ජනතාවට උපකාර කරනවා. වෛද්‍ය සායන පවත්වනවා. දරුවන්ට පාසල් උපකරණ ලබාදෙනවා. ගැබිනි කාන්තාවන්ට අවශ්‍ය දේවල් සපයනවා. ඉතින් ගමේ දෙමළ ජනතාව සහ තිස්ස විහාරස්ථානය අතර කිසිම ගැටලුවක් නැහැ. අනික අධිකරණ නියෝගයක් පවා තියෙනවා මෙම බාධා කිරීම්වලට එරෙහිව. කොහොම වුණත් සාමාන්‍ය දෙමළ ජනතාවට ප්‍රශ්නයක් නැහැ. ඒ අය සම්පූර්ණ සහයෝගයෙන් අපි සමඟ කටයුතු කරනවා. අනෙක මේ තිස්ස විහාරය කියන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේව සංඝමිත්තා තෙරණින් වහන්සේ අනුරාධපුරය දක්වා වැඩම කරවීමේදී වඩා හිඳුවන ලද පූජනීය ස්ථානයක්.

ඉතිහාසය ගැන හැරී බැලීමේදී මහාවංශයේ නාග දිවයිනේ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද විහාරස්ථාන 3 ක් ගැන සඳහන් වන අතර නාග දිවයින සමස්තයක් ලෙස යාපනය අර්ධද්වීපයට භාවිතා වන නාමයක් ලෙස සැලකේ. දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) විසින් නාගදීපයේ දඹකොළ වෙහෙර ද එම පටුනෙහි (දූපතෙහි) තිස්ස මහා විහාරය, පාවීනාරාමය කරවූ බවට සඳහන් මහාවංසයෙහි 20 පරිච්ඡේදයේ 25-26 යන ගාථාවල අන්තර්ගත වේ. තිස්ස මහා විහාරය, දඹකොළ විහාරයට නැගෙනහිරින් පිහිටා ඇති අතර එය පිහිටා තිබුණේ කන්කසන්තුරේ හි වලිකාමම් උතුර (තෙලිප්පලෙයි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්කසන්තුරේ ජේ 250 තෛයිඩ්ඩි දකුණ ග්‍රාම නිලධාරි වසමෙහිය. බොහෝ බෞද්ධයින්ට අමතකව තිබූ මෙම විහාරස්ථානය නැවත පුනර්ජීවනය ලැබුවේ 1940 දශකයේදීය. කළුතර උතුරේ ශීලාධාර හිමියන් සහ කළුතර පඤ්ඤානන්ද හිමියන් යාපනය අර්ධද්වීපයට ගොස් දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද තිස්ස විහාරයේ පුරාණ බෝධිය සහිත නටබුන් අනාවරණය කරගත් පසු විහාර භූමියේ කුටියක දුෂ්කරව වැඩ හිඳිමින් නැවත තිස්ස මහා විහාරය ගොඩනැංවීමට ක්‍රියා කළහ. 1946 දී ඒබ්‍රහම් පෙරේරා නම් සැදැහැවතෙකු මෙම විහාරයට යාබද ඉඩමක් පරිත්‍යාග කර ඇති අතර එම ඔප්පුවේ තිස්ස විහාරය යන නාමය පැහැදිලිව පෙන්නුම් කරයි. 1953 වර්ෂයේ දී මෙම විහාරයට සියක් නමක් (100) වැඩමවා කඨින පිංකම් සිදු කළ බවට ද වාර්තා තිබේ. එසේම සල්පිල් ආදී විවිධ පිංකම් සිදුකර ඇත. බෞද්ධ දහම් පාසලක් පවත්වා සිංහල හා දෙමළ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමට ක්‍රියාකර තිබිණි. මේ අනුව පෙනී යන්නේ මේ විහාරයට එරෙහිවීම කොටි හිතවාදීන්ගේ වියරුවක් මිස අන් කිසිවක් නොවන බවයි. මේ විරෝධයට කිසිම පදනමක් නැත. දකුණේ ද ඕනෑ තරම් කෝවිල්, පල්ලි, ඉදිවී ඇත. දකුණේ සිංහලයන් කිසිවකු ඒවා ඉවත් කරන්නට යැයි කියන්නේ ද නැත. එසේ නම් උතුරු පළාත වෙනම රටක් නොවේ. දෙමළ ජාතිවාදී දේශපාලකයන්ට අවශ්‍ය පරිදි දැඟලීමට ඉඩදීම වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තියද යන්න අපට පැහැදිලි නැත. නමුත් බහුතරය නිහඬව බලා සිටින බව නම් කිව යුතුය. සියල්ල හැරෙන්නට යන්නේ සුළු මොහොතක් පමණි.

උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශයන්හි පවතින සියලුම බෞද්ධ පුරාවස්තුවල ත්‍රිශූල සවි කරමින් කෝවිල් ඉදි කරන්නට උත්සාහ කරන පිරිසක් වේ. මේ මතවාදය ලබාදෙන්නේ යාපන විශ්වවිද්‍යාලයේ සිටින ඇතැම් ජාතිවාදී ආචාර්යවරුන්ය. කුරුන්දි විහාරයේ කැණීම් සිදු කරන විට බොහෝ විරෝධතා මතුවිය. නමුත් කුරුන්දි විහාරයෙන් උතුරුකරයේ බෞද්ධ උරුමය ලොවටම පැහැදිලි විය. 1936 යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රාදේශිකයට අයත් වල්ලිපුරම් ග්‍රාමයෙන් හමු වූ සුප්‍රකට වල්ලිපුරම් රන් සන්නස මගින් ක්‍රිස්තු වර්ෂ 2 සියවසේ දී යාපනය අර්ධද්වීපයට අනුරාධපුර රජතුමාගේ නියමය පිට පරිපාලන බලතල සහිත ඇමැතිවරයෙකු විසින් පාලනය ගෙන ගොස් ඇති බවත් කියා තිබේ. වල්ලිපුරම් රන්පත හමු වූ දේවාලයට යාර 50ක් ඈතින් රන්පත හමුවීමට පෙර බුදුපිළිමයක්ද හමුව තිබේ. රන්පත හමුවූ පරිශ්‍රයත් බුදුපිළිමය හමු වූ ප්‍රදේශයත් සලකා බලද්දී මෙහි බෞද්ධ විහාර සංකීර්ණයක් පැවැති බවට සාධක මතු කරයි. වල්ලිපුරමෙන් හමු වූ බුදුපිළිමයත් රුවන්වැලිසෑයෙන් හමු වූ බුදුපිළිමවලට සමානකම් දක්වයි. මේ පිළිම අමරාවතී බුදුපිළිම සම්ප්‍රදායට නෑකම් කියයි. වල්ලිපුරම් බුදුපිළිමය 1916 එවක ලංකාවේ සිටි බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ හෙන්රි බ්ලේක් විසින් යාපනයේ උද්‍යානයේ තිබියදී එය සියම් රටේ එවක රජ කළ හතරවැනි රාම රජුට පරිත්‍යාග කරන ලදී. මෙම පිළිමය නිල් පැහැති දිදුලන කිරිගරුඬ පාෂාණයකින් කරවා ඇත. දැනට එය තායිලන්තයේ බැංකොක් නගරයේ ගරු`ඪ පාෂාණ විහාරයේ තැන්පත් කර ඇත. උතුරු පළාතට අයත් දිස්ත්‍රික්ක අතරින් යාපනය හා මුලතිව් යනු බෞද්ධ වෙහෙර විහාරයන්හි නටබුන් විශාල වශයෙන් විසිර ඇති භූමියන්ය. එයින් පැරණි සිංහල බෞද්ධ ඉතිහාසය කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. නමුත් අපට වර්තමානයේ බෞද්ධ විරෝධී කොටි බහුරු කෝලම් දකින්නට සිදුව ඇත්තේ ඊනියා කවුරුන් නිසාද?

චතුර පමුණුව


advertistmentadvertistment